රූපලාවණ්‍ය සත්කාරක ක්‍රමවේද අතර ඕනෑම කෙනකුට ඉක්මනින් හා පහසුවෙන් කර ගත හැකි සත්කාරයක් ලෙස ශීට් මාස්ක් හැඳින්විය හැකියි. මෙය තවමත් ලංකාවට තරමක් නුහුරු වූවත් ලොව පුරා නම් දැන් දැන් ජනප්‍රිය රූපලාවණ්‍ය සත්කාරක ක්රමයකි. ශීට් මාස්ක් කියන්නේ සම පිරිසුදු කිරීමට හෝ මැරුණ සෛල ඉවත් කිරීමට යොදා ගන්නා මාස්ක් එකක් නොව සම පෝෂණය කිරීමට භාවිත කරන්නකි.
එදිනෙදා හිරු රශ්මියට නිරාවරණය වීමෙන්, කෘත්‍රිම ආහාර පානවලින්, පාරේ තොටේ ගමන් කරද්දි සමට ඇලෙන දුවිලි සහ අපිරිසුදු දුමාරයෙන් ඇතුළු වැඩි වේලාවක් AC එකේ සිටිමෙන් සමට වන හානියෙන් සම යථා තත්ත්වයට පත් කර දීප්තිමත් සමක්, පැහැපත් බවක් එක් කිරීම සේම සම වයසට යාම පාලනය කිරීමට යොදා ගන්නා පහසු සත්කාරයකි. නමුත් කුරුලෑ සහිත මුහුණකට නම් ෆේස් ශීට් මාස්ක් යෙදීම සුදුසු නැත.
බොහෝ දෙනා සමට පෝෂක සත්කාරකයක් ලෙස විවිධ ක්‍රීම් වර්ග යොදා ගත්ත ද ක්‍රීම් ආලේපනයෙන් පසු වැඩි කොටසක් වාෂ්පීකරණය වන බව නොදැන සිටි කරුණකි. එයින් සමට ලැබිය යුතු පෝෂණය සම්පූර්ණයෙන්ම නොලැබේ. නමුත් සිරම් වර්ගයකින් පෙඟවූ ශීට් මාස්ක් එකකින් සීරම් එකේ තිබෙන පෝෂණ ද්‍රව්‍ය සමට හොඳින් සම්බන්ධ කර වාෂ්පීකරණ ක්‍රියාවලිය නැවැත්වීමට සමත් වෙයි.
ශීට් මාස්ක් සාදන්නේ Non-woven fiber, Cottons, Hydrogel සහ Bio Cellulose වලින්. නමුත් රූපලාවණ්‍යය ශිල්පීන් භාවිතයට සුදුසු යැයි නිර්දේශ කරන්නේ Bio Cellulose වලින් සෑදූ ශීට් මාස්ක්ය. ඒ, ස්වාභාවික සහ සමට හොඳින් සම්බන්ධ වෙන නිසා විය හැකියි. ශීට් මාස්ක් භාවිතයට සීරම් වර්ගයක් අවශ්‍යය වෙයි. සීරම් යනු ශීට් මාස්ක් එකේ තිබෙන පෝෂණය කැටි වුණු දියරයකි. සිරම් සාදන්නේ ශාකසාර සහ සමට අත්‍යවශ්‍ය විටමින් වර්ග යොදා ගනිමිනි.
ශීට් මාස්ක් භාවිතයට පෙර සමට උචිත ෆේස් වොෂ් වර්ගයක් භාවිත කර මුහුණ සෝදා තෙත මාත්තු කර ගත යුතුය. තෝරා ගත් සීරම් වර්ගය පොඩි බඳුනකට දමා ෆෙස් මාස්ක් එක එයට දමා මාස්ක් එකට එම ද්‍රාවණය හොඳින් උරා ගන්නා තුරු තැබිය යුතුය. ද්‍රාවණය හොඳින් උරා ගත් පසු ශිට් එක මුහුෙණ් අලවා ගත හැකිය. එය සමට සම්බන්ධ වී සුළු මොහොතකින් සමේ බාහිර උෂ්ණත්වය ඉහළ යන හෙයින් ඔබේ රෝම කූප විවෘතව සමේ ගැඹුරටම ද්‍රාවණයේ පෝෂණ උරා ගනියි. මෙසේ තබා විනාඩි 15 කින් පමණ මාස්ක් එක ඉවත් කර ගත හැකිය. මුහුණේ සීරම් රැඳී තිබෙනවා නම් පිසදැමීමට හෝ ඒවා මුහුණට කා වදින තුරු තබා ගැනීමට පුළුවන.
ශීට් මාස්ක් පෙර කියූ පරිදිම ඉතා පහසු සත්කාරයක් සේම ගෙදරදීම ශීට් එක දමාගෙන වෙනත් වැඩක වුවද නිරත විය හැකිය. මේ සත්කාරය සතියට දෙවරක් කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකි සේම මතක තබා ගත යුතු කරුණ වන්නේ වරක් භාවිත කළ ශීට් මාස්ක් නැවත නැවත භාවිත කිරීමට නොහැකි බවයි.