සම්මා­නිත කෙටි නාට්‍යය තුන­කින් ප්‍රේක්ෂා හැඩ කරන යෞව­නයෝ | සිළුමිණ

සම්මා­නිත කෙටි නාට්‍යය තුන­කින් ප්‍රේක්ෂා හැඩ කරන යෞව­නයෝ

අපේ රටේ යෞවන සම්මාන නාට්‍ය උලෙළේ වගේම රාජ්‍ය නාට්‍ය උලෙළේ තුළ කෙටි නාට්‍ය අංශයේ හොඳම නාට්‍ය  විදි­හට ඇග­යීම් සම්මාන ලැබූ තරුණ නාට්‍ය­ක­රු­වන් තිදෙ­නෙ­කුගේ කෙටි නාට්‍ය තුනක්  මෙවර "ප්‍රේක්ෂා රංග කලා මහෝ­ත්ස­වයෙ දි “ ප්‍රේක්ෂ­ක­යන්ට ළං කර­න්නට සූදා­නම්. 

එක් නලීන් ලූසේනා. ඔහු කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත්ව නාට්‍ය හා රංග කලාව පිළි­බඳ විශේ­ෂ­වේදී උපා­ධි­යක් හදාරා   නාට්‍ය හා රංග කලාව පිළි­බ­ඳව කථි­කා­චා­ර්ය­ව­ර­යෙක් විදි­හට කට­යුතු කර­නවා. දෙවැන්නා ඉන්දික සඳ­රු­වන්. ටවර් හෝල් රංග කලා පාඨ­මා­ලාව හදා­රන්න කොළ­ඹට එන ඔහු මේ වන විට කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පුස්ත­කාල විද්‍යාව පිළි­බ­ඳව බාහිර උපා­ධිය හදා­ර­නවා.

අනෙක් තරු­ණයා සඳුන් ලක්ෂාන. ඔහු ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පාඨ­මා­ලාව සහ ටවර් හෝල් නාට්‍ය පාසලේ නාට්‍ය හා රංග කලාව හදා­ර­නවා.  අධ්‍යා­ප­න­වේදී උපා­ධිය දෙවන වසර සම්පූර්ණ කර­මින් ඉන්නවා . 

මේ තරු­ණ­යන් තිදෙ­නා­ගේම  නිර්මාණ  ජාතික තලයේ ඇග­යී­මට ලක් වුණා. ඒ නිර්මා­ණ­යන් නැවත ජන­තාව අත­රට රැගෙන යන්න ‍ප්‍රේක්ෂා රංග කලා උලෙළේදී හැකි වුණා. ඒ බලා­පො­රොත්තු සහ­ගත නිර්මාණ ගැන එම නිර්මා­ණ­ක­රු­වන් සමඟ කතා කරන්න අප උත්සාහ කරන්නේ ඒ නිමි­ති­කර ගෙනයි. මුලින්ම අපි සංවා­ද­යට එක් වෙන්නෙ   රාජ්‍ය සම්මාන කෙටි නාට්‍ය  උලෙළේ හොඳම නාට්‍ය ලෙස සම්මාන ලැබූ "නොකියා හිටපු දෙයක්" කතාව අධ්‍ය­ක්ෂ­ණය නලීන් ලුසේනා සමඟ කළා.  

"තාරුණ්‍ය තුළ ආද­රය පුළුල් තේමා­වක්. පවුල, කුටු­ම්භය කියන අර්ථ­යෙන් ගත්ත­හම වර්ත­මා­නයේ පුද්ග­ල­යන්  එකි­නෙ­කාට දක්වන ගෞර­වය, ආද­රය පිළි­බ­ඳ වන වග­කීම මේ  නාට්‍ය­යෙන් ප්‍රශ්න කර­නවා. වර්ත­මාන සමාජ ක්‍රමය තුළ සංස්කෘ­තිය කියන කාර­ණාව ජීවි­ත­යත් එක්ක කරන හැල­හැ­ප්පීම පිළි­බ­ඳයි නාට්‍ය තුළ අන්ත­ර්ගත වන තේමාව වන්නේ. විශේ­ෂ­යෙන් මේ නාට්‍ය මා අතින් ලිය­වෙන්නේ අද සමා­ජයෙ සිදු­වීම් එක්ක මට ඇති වුණ කම්ප­නය. 

ඉන්දික සඳ­රු­වන් අතින් නිර්මා­ණය වන කෙටි නාට්‍ය "ලෙටර්"... එය  රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළේ දෙවන ස්ථානය දිනා ගන්නවා. "මේ නාට්‍ය­යයේ තේමාව යොවුන් ප්‍රේමය.  නාට්‍ය එක්තරා ආකා­ර­යක පරී­ක්ෂ­ණා­ත්මක අත්හදා බැලී­මක්.  නාට්‍ය නිර්මා­ණය වන්නේ ඔස්ට්‍රේ­ලි­යානූ කෙටි­කතා කරු­වකු වන මාර්ක් වෝකර්ගේ "පෙම් හසුන"  කෙටි­ක­තාව ආශ්‍ර­යෙන්.

මෙයට මම මූලාශ්‍ර කර ගන්නේ යුනෙස්කෝ සංවි­ධා­නය කළ එක්තරා කෙටි­කතා කෘති­යක්. මං කැම­තියි මේ නාට්‍යය නර­ඹ­ලම ප්‍රේක්ෂ­ක­යන් ඔවුන්ගේ ප්‍රති­චාර අපිත් සමඟ බෙදා හදා ගන්නවා නම්." සඳුන් ලක්ෂාන්  අධ්‍ය­ක්ෂ­ණය  "නයිට් ඩියුටි" රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළේ තෙවැනි ස්ථානය දිනා­ගන්නවා.

"මෙහි තේමාව එක්තරා තරු­ණ­ය­කුගේ විරැ­කි­යාව පිළි­බ­ඳ අත්දැ­කී­මක්. අද පව­තින ආර්ථි­කය තුළ සිය­ලුම සමාජ අර්ථ මුද­ලට විකි­ණෙ­මින් තිය­නවා. මෙහි නාට්‍ය පෙළ රචනා වන්නේ සුරේෂ් මධු­ෂාන් අතින්". 

ඔබට කිසි­යම් ආකා­ර­යක කුකු­සක් දැන­ට­මත් ඇති. ලබන 16 වෙනිදා  මෙම කෙටි නාට්‍ය තුන  එක පෙළට 3.30 සහ 6.30 දර්ශ­න­වා­ර­වල ප්‍රද­ර්ශ­නය වෙනවා.     අපේ රටේ නිර්මා­ණ­ශීලී තරු­ණ­යන්ට එක්තරා පණි­වි­ඩ­යක් මින් ලැබෙ­නවා.

සමා­ජයේ  තරුණ පිරි­සක් එක් අනන්තය­කට ගිහින්   සමාජ විරෝධී ව්‍යස­න­යන්ට අවා­ස­නා­වන්ත ලෙස ගොදුරු වෙද්දී, මෙවැනි  තරු­ණ­යන් තමන්ගේ නිර්මාණ හරහා මේ ව්‍යස­න­කාරී සමා­ජය දෙස බලන්න උත්සාහ කර­නවා. ඒ උත්සා­හය පවා අප්‍ර­මාණ ඇග­යී­මට ලක් කළ යුතුයි. පසු­ගිය කාලේ කොරෝනා තත්ත්ව­යත් එක්ක අපේ තරු­ණ­ය­නුත් එක්තරා ආකා­ර­යට ඉච්ඡා­භං­ග­ත්ව­යට පත් වුණා.  "ප්‍රේක්ෂා රංග කලා මහෝ­ත්ස­වය" ඔවුන්ට නැවත හොඳ උත්තේ­ජ­න­යක්.

නලීන් ලුසේනා ඒ ගැන පළ කළේ මෙහෙම අද­හ­සක්...  "තරු­ණ­යන් විදි­හට අපි නොහි­තපු පිය­ව­රක් මේක. ඇත්ත­ටම අපි කල්පනා කර­මින් හිටිය කොහො­මද ආයිත් ලංකාවේ නාට්‍යය පෙන්වන්න පටන් ගන්නෙ කියලා.  රඟ­හ­ලට කොරෝනා හැදුනේ මීට බොහෝ කල­කට පෙරදී.  ටවර් හෝල් රඟ­හල පද­නම මේ ගත්ත තීර­ණය සාධ­නී­යයි.  

ඒ වගේම කෙටි නාට්‍ය කරු­වන් අම­තක නොකි­රී­මත් එහිදී ඉතා­මත් වැද­ගත්. ජන­තාව වෙන­දා­ටත් වඩා උන­න්දු­වෙන් නාට්‍ය එක්ක එකතු වෙනවා. ටවර් හෝල් පද­නමේ අධ්‍යක්ෂ ජන­රාල් ඩග්ලස්  සිරි­ව­ර්ධන මහ­ත්මාට සහ සිය­ලුම කාර්ය මණ්ඩ­ල­යට මා ස්තූති­වන්ත වෙනවා." ඉන්දි­කගේ අද­හස ටිකක් වෙනස්,

"ලංකාවේ නාට්‍ය ප්‍රේක්ෂා­ගා­රය වෙත ගියාම අපි දකින දෙයක් තමයි ජන­ප්‍රිය නළු නිළි­යන් සිටින නාට්‍ය­ව­ලට හොඳ ප්‍රේක්ෂක පිරි­සක්  ඉන්නවා.  අලුත් පර­ම්ප­රාවේ නාට්‍ය කරු­වන්ගේ නිර්මාණ වලට මෙවැනි ඉඩ­ක­ඩක් නිර්මාණ වෙනවා අඩුයි. ආරා­ධනා කර­නවා තරුණ නාට්‍ය කරු­වන්ගේ නිර්මා­ණත් නර­ඹා ප්‍රති­චාර දක්වන්න කියලා."

අන­තු­රුව සදුන් ලක්ෂාන් පළ කළේ මෙවැනි අද­හ­සක්. අද නාට්‍ය මාර්කට් කරන සුළු  පිරි­සක් ඉන්නවා.  නාට්‍ය­කින් මිනි­ස්සුන්ට පුළුල්  වින්ද­න­යක් ලබා දෙන්නට පුළු­වන්. එවන් පසු­බි­මක   සතු­ටුයි මේ අව­ස්ථාව ලැබීම ගැන. මේ ලැබුණු අව­ස්ථාව සම්බ­න්ධ­යෙන් මා බෙහෙ­වින්ම ස්තුති­වන්ත වෙනවා. 

 

Comments