2020 බෞද්ධ සාහිත්‍ය උලෙළේ සොයිලියස් මෙන්දිස් සම්මානය ශාන්ත කේ. හේරත්ට | සිළුමිණ

2020 බෞද්ධ සාහිත්‍ය උලෙළේ සොයිලියස් මෙන්දිස් සම්මානය ශාන්ත කේ. හේරත්ට

සිතුවම් කලාව සරස්වතියගෙන් තිළිණ වන්නේ මේ ලොව අපූර්ව ලෙස විඳින්නට පමණක් නොව, අන් අයට පහදන්නට තවත් ඇසක් කලාකරුවාට උරුම කරමිනි. මේ අපූර්ව කලාව ලක්ෂ සංඛ්‍යාත පුද්ගලයන්ගෙන් එක් අයකුට පිහිටන්නේ ඒ නිසාය. ශාන්ත කේ. හේරත් තමාට ව්‍යුත්පත්තියෙන් හිමි වූ ඒ අපූර්ව කලාව සතතාභ්‍යාසයෙන් ඔපමට්ටම් කර ගත්තේ සිය දීර්ඝකාලීන අත්දැකීම් ද ඊට මුසු කරමිනි. අත්දැකීම් පිපාසිතයකු වීම තරම් කලාකරුවකුට වෙන සරසවියක් නොමැත්තේය. සිත පිළිබඳ අස්සක් මුල්ලක් නෑර පර්යේෂණ කරන සිග්මන් ෆොයිඩ්ට පවා නිර්මාණකරණයේ සූත්‍රය හමු නොවූයේ එබැවිනි. එය සම්මත පර්යේෂණ විධික්‍රම වලින් ඔබ්බට ගිය අපූර්වත්වයකි. ශාන්ත කේ. හේරත් සරල රේඛාවට කෙතරම් සුඛනම්‍ය නිර්මාණශීලි නිමාවක් දෙන්නේ ද යන්න පාඨක ලොවට අරුම පුදුම නොවන්නේ ඒ නිසාය.

ඔහුගේ නිර්මාණශීලිත්වය අගය කරමින් නොබෝදා සම්මානිත වීමට නියමිත බව සඳහන් සුබ පුවතක් අප අබියස වේ. ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනය බුද්ධ ශාසන අමාත්‍යාංශ හා එක්ව සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්සවයේදී සොයිලියස් මෙන්දිස් විශේෂ සම්මානයෙන් ශාන්ත කේ. හේරත් සම්මානිත වීමට නියමිතය. පැරණි චිරන්තන සිතුවම් කලාව හා නවීන සිතුවම් කලාව සම්මිශ්‍රණය කරමින් සිතුවමේ ලාංකේය අන්‍යතාව සටහන් කළ නිර්මාණකරුවන් අතර සොයිලියස් මෙන්දිස් නිර්මාණකරුවා සිටින්නේ අද්විතීය තැනකය. ලාංකේය බෞද්ධ සිතුවම් කලාවේ නොමැකෙන නාමයක් වන එතුමාගේ සිතුවම් ගැන අවධානය යොමු කරන්නකුට කැලණි විහාර බිතුසිතුවම් කලාව පමණක් වුව ප්‍රමාණවත්ය. සොයිලියස් මෙන්දිස් අද්විතීය නාමයෙන් පිදෙන මේ සම්මානයේ බර ගැන අප සඳහන් කිරීමට සිතුවේ එහි වටිනාකම ගැන ඔබ සවිඥානික බව දන්නා නිසාය. ශාන්ත කේ. හේරත් සිතුවම්කරුවා මේ සම්මානයට අත්‍යන්තයෙන් ම සුදුසුකම් ඇත්තකු බවට ඔහු එතෙක් මෙතෙක් කළ මෙහෙය ප්‍රමාණවත් බව සහතිකය. මේ සම්මාන උලෙළ මේ මස 15 දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ප්‍රධාන ශාලාවේදී පස්වරු 2.30 ට පුරාවිද්‍යා චක්‍රවර්තී අචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය හා මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. මෙහිදී බෞද්ධ සාහිත්‍ය කෘති 12කට වැඩි ප්‍රමාණයක් හා ඒවායේ කතුවරුන් ඇගයීමට නියමිත අතර, විශේෂ සම්මාන 3ක් ද පිරිනැමේ. ශාන්ත කේ. හේරත් කලාකරුවා පිදෙන්නේ මේ විශේෂ සම්මාන ත්‍රිත්වයෙන් එකක් වන සොයිලියස් මෙන්දිස් සම්මානයෙනි. ශාන්ත කේ. හේරත්ට අමතරව ගුණපාල මලලසේකර විශේෂ සම්මානයෙන් මහාචාර්ය අසංග තිලකරත්න හා පුරාවිද්‍යාවට කළ සේවය වෙනුවෙන් මහාචාර්ය මාලනී ඩයස් ද මෙකී විශේෂ සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට නියමිතය.

මහනුවර හාරිස්පත්තුවේ මැදවෙල උපත ලද ශාන්ත සිය කුඩා අවදියේ පටන්ම බෞද්ධ සිතුවම් කලාවට පෙම් බැන්දෙකි. මහනුවර යුගයේ පහතරට චිත්‍ර කලාව පිළිබඳ ව සුවිශේෂී අධ්‍යයන පරාසයකින් යුත් ශාන්ත, බටහිර චිත්‍ර කලාවේ ගති ස්වභාව ගැන ද එකසේ අධ්‍යයනයකින් යුතු වූවෙකි. මේ සුසංයෝගී අර්ථපතීත්වය ඔහුගේ මූර්ති කලාව ඔස්සේ ද විශද වේ. ඔහුගේ තෙලිතුඬින් නිමැවූ බෞද්ධ පොත් කවර රාශියකි; දින දර්ශන, පුවත්පත් කලා සිතුවම් ආදී නේක ප්‍රවේශ රාශියකි. සිළුමිණ මුල් පිටුවේ පොකට් කාටූනය මෙන්ම ප්‍රධාන කාටූනය නිර්මාණය වන්නේ ද මේ අපූරු සිතුවම්කරුවාගේ තෙලිතුඬිනි. සිය ජීවිත කාලය පුරා සිතුවම්කරණය වෙනුවෙන් ම කැප වූ හේ එනිසාම දුෂ්කර කාලපරිච්ඡේද ගෙවූවෙකි.

දුෂ්කර අභ්‍යාසයෙන්ම ප්‍රාගුණ්‍ය කරා ගිය මේ අපූර්ව කලාකරුවාට මෙවර පිදෙන සොයිලියෙස් මෙන්දිස් විශේෂ සම්මානය වෙනුවෙන් සිළුමිණ සුබාශිංසන ගෙන එන්නේ මෙකී සියලු කරුණු පෙරමුණේ තබාගනිමිනි.

Comments