ගුණරත්න ඒකනායකගේ පොත් ශතකය සහ ‘නුවර කලාවියේ අලුත් නෑයෝ’ | සිළුමිණ

ගුණරත්න ඒකනායකගේ පොත් ශතකය සහ ‘නුවර කලාවියේ අලුත් නෑයෝ’

අතීත උරුමයන් සොයා යන ගුණරත්න ඒකනායකයන් ‘නුවර කලාවියේ අලුත් නෑයෝ’ නව කතාව සඳහා පාදක කරගෙන ඇත්තේ කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසීන් විසින් කූඨ ලේඛන සකසා තම ආධිපත්‍යයට නතු කර ගැනීමත් සමඟ ඊට එරෙහි වන ජනයා කන්ද උඩරට සිට නුවර කලාවියට සංක්‍රමණය වූ කතා පුවතකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ සිරකරුවකු වීමත් සමඟ කන්ද උඩරට ධවල අාධිපත්‍යට නතු වීම නොඉවසන උඩරට ජනකොටසක් අනුරාධපුරයේ නටබුන් වූ ග්‍රාමයකට පැමිණීමෙන් මෙම කෘතිය ආරම්භ වේ.

ක්‍රමයෙන් මෙම ජනයා නව සංස්කෘතියක ජීවිතයකට මුල පුරන අතර, නටබුන් වූ ග්‍රාමයේ අතහැර දැමූ පැරණි වැවක් ගොවිතැන් සඳහා පිළිසකර කරගනී. අතැර දැමූ මෙම ග්‍රාමයේ තිබී නටබුන් වූ පංසලක් ද ඔවුන්ට හමුවන අතර, එය නැවත ගොඩනඟමින් නව ආධ්‍යාත්මික, සංස්කෘතික පිබිඳීමකට මුල පුරයි. එම ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් නව සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිවන අතර ඒ සමඟ අනෙකුත් අවශේෂ ජනයාද නව නිදහස් සංස්කෘතික ජිවිතය සමඟ එකතු වේ. පසුව කෙමෙන් කෙමෙන් බත බුලතින් සරු වී කාර්මික කරණය දක්වා විකාශනය වන ඔවුන් පරම්පරා ගණනාවක් ඔස්සේ දිව යයි.

1972 වසරේදී 22 හැවිරිදි තරුණයකු ලෙස ‘දහසක් පැතුම් පතලා’ නවකතා තුළින් ලේඛන දිවියට පිවිසෙන ගුණරත්න ඒකනායකගේ 35 වැනි නවකතාව ‘නුවර කලාවියේ අලුත් නෑයෝ’කෘතියයි.

ගුණරත්න ගොමගොඩ මහ විදුහල සහ තෙල්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. සම්මානනීය කෘති රචනයට අමතරව වේදිකා නාට්‍ය කිහිපයක්, වාර්තා චිත්‍රපට සහ ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කිහිපයක්ද නිපදවා ඇති ගුණරත්න ඒකනායක කලා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂතාවය පෙන්නුම් කර ඇත. මෙම කෘතිය ජනගත කිරීම 24 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමි පරිශ්‍රයේ නිපුන පොත් මැදුරේදී සිදු කෙරේ.

 රසික කොටුදුරගේ

Comments