යළි උපදින අගනුවර පාවෙන වෙළෙඳ ‍තොටුපළ | සිළුමිණ

යළි උපදින අගනුවර පාවෙන වෙළෙඳ ‍තොටුපළ

බේරේ වැව කේන්ද්‍රකර ගනිමින් මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය නිර්මාණය කරන ලද්දේ මහින්ද චින්තන වැඩසටහන ඔස්සේ ය. පුරාතන සුන්දරත්වය හා නූතන තාක්ෂණය අපූරුවට මුසු කරමින් බේරේ වැවේ වෙළෙඳ තොටුපළ සකස් කර මෙය මහජනතාව සඳහා මුලින් ම විවෘත කර ජනතාවට විවෘත කළේ 2014 අගෝස්තු මාසයේදීය.

පාවෙන වෙළෙඳපළ සමස්ත ජනතාවට ම තිළිණ කළත් යහපාලන ආණ්ඩුවේ පස් වසර තුළ එය අත්හැර දැම්මේය. බේරේ වැවේ වෙළෙඳ තොටුපළට හිමි වූයේ කුඩම්මාගේ සැලකිලි ය. අවසානයේ දී එය නොසලකා හැර අභාවයට යන මට්ටමට පත් වුණේ ය.

එමනිසා මෙහි කඩවලින් 80% පමණ මේ වනවිට, වසා දමා ඇත්තේය. වෙළෙඳ තොටුපළ සෑම අංශයකින් ම අභාවයට ගොස් ඇති ආකාරය ශෝචනීයය.

පාවෙන වෙළෙඳසැලේ වත්මන් තතු විමසීම පිණිස අපි පසුගියදා එහි පිය නැගුවෙමු. පිටකොටුව පාවෙන වෙළෙඳ තොටමුණ මැනින් වෙළෙඳපළ පිටුපස සීමාවේ සිට කැලෑපොළ සීමාව දක්වා දිවයයි. එය අක්කර 2 ½ - 3 පමණ වපසරියකි. පාවෙන වෙළෙඳ පොළට ළඟාවීම සඳහා ප්‍රධාන පාරවල් දෙක පිහිටා ඇත්තේ වැවේ දෙපසිනි. එක් පාලමක් මැනින් වෙළෙඳසල පිටිපස්සට වන්නට ඉදිකර ඇති අතර අනෙක් වෙ‍ළඳසල් මාවත කැලෑ මාකට් අසලිනි.

වෙනදා ජනයාගෙන් පිරී ගත් පාවෙන වෙළෙඳසල අද පාළුවට ගොසිනි. මේ ගැන අපි කඩහිමියන් කීපදෙනෙකුගෙන් විමසුවෙමු. කෑම කඩයක් පවත්වාගෙන යන ජේ. එම්. ලාල් මෙසේ කීය. “මුලදී කඩ 150 විතර තිබුණා. කෑම කඩ, රෙදි කඩ, පලතුරු වර්ග, බීම වර්ග, විසිතුරු බඩු හැම කඩයක්ම වගේ මෙහි තිබුණා.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි. යහපාලන ආණ්ඩුවෙන් දැල් ගහලා පාරවල් වැහුවා. බස් ස්ටෑන්ඩ් එක පැත්තේ වාහන නරතර කරන්න දුන්නේ නෑ. පොදු වැසිකිළිය කොළඹ ගෙදරට ගත්තා. මේ හේතු නිසා පිරිස පැමිණෙන එක අඩු වුණා.

අඩු ගානේ පෙම්වතුන්වත් එන්නෙ නැහැ. නාගරික සංවර්ධන අධිකාරියට මාසෙකට කඩකුලිය රු. 11000 ගෙවනවා. කොරෝනා කාලේ නම් කඩ ඇරියේ නෑ. ඉස්සර දවසට රයිස් විසිපහක් පණහක් විතර විකුණනවා. දැන් නම් 5 – 6ක් විකුණ ගන්න බැහැ. අනික රෑ වෙද්දී ලයිට් නෑ. බිල් ගෙවලා නැති කඩවල ලයිට් කපලා.

Rishi King නමින් කෑම කඩයක් පවත්වාගෙන යන නදීකා කැටිපේආරච්චි (43) මෙසේ කීවාය.

“මගේ ගම ගාල්ල ඇල්පිටිය. මම ළඟදී තමයි මේ කෑම කඩය ඇරඹුවේ. මාසෙකට අත්තිකාරම් 30000 ගෙවනවා.රු‍.10,000 ක් හොයාගන්න බැරි වෙලාවල් තියනවා. රෑ 6 වෙද්දී වහලා යනවා ලයිට් නැති නිසා. එහා පැත්තෙ ඉඳලා මෙහා පැත්තට එන්න පාලමක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ කඩවල ලක්ෂ ගණනින් විදුලි බිල ගෙවලා නැහැ.මේ බේරේ වැව අපිරිසිදුවෙලා ගඳයි.

සංගීත භාණ්ඩ අලෙවිහලක් පවත්වාගෙන යන දුමිඳු වික්‍රමාරච්චි (29) ‘සිළුමිණ’ ට පැවසුවේ මෙවැන්නකි. මම පටන් අරන් අවුරුදු 5 ක්. සාමාන්‍ය බිස්නස් එකක් තියනවා. මෙතන පහසුකම් අඩුයි. වැවත් අපිරිසිදුයි. තිබුණු පාකින් පවා ඉවත් කළා. කලින් ඒක කොළඹ ව්‍යාපාරික සංගමයට භාරදීලා තිබුණේ. එයාලා හැම festival එකකටම කුමක් හෝ ඉවෙන්ට් එකක් සූදානම් කළා. දැන් ඒ මුකුත් නැහැ. හුඟාක් කඩ ඉබි යතුරු දාලා වහලා. මහ පාළු තැනක් දැන් මෙතන.”

කඩවත මහගමගේ මාලනී පවසන්නේ මෙවැනි කතාවකි. “මම විසිතුරු භාණ්ඩ අලෙවි කරන්නේ. මම අවු. 16 ඉඳලා බිස්නස් කරන්නේ. මගේ ෂොප් එකේ භාණ්ඩ වැඩි හරියක් ඉලක්ක කරන්නෙ ටුවරිස්ට්ලට. දැන් සංචාරකයෝ එන්නේ නැති නිසා අපට හරිම පාඩුයි. බඩු විකිණෙන්නේ නැහැ. මට පුතාලා 06 ක් ඉන්නවා. එයාලා යුරෝපයේ. මට යැපෙන්න මා උපයා ගන්නවා. ලයිට් බිල් ගෙවා ගන්න බැරි වුණොත් පුතාලා සල්ලි දෙනවා.”

රෙදි කඩයක් පවත්වාගෙන යන ඩී.එස්. විජේසුන්දර මෙසේ කීය. “මේ කඩයට අයිතිකාරයෙක් ඉන්නවා. මම අලෙවිකරු පමණයි. මාස 6 ක් විතර වෙනවා විවෘත කරලා. සාමාන්‍ය වෙළෙඳාමක් තමයි තියෙන්නේ. ඔය ටෙස්ටා බේක් හවුස් කොච්චර බිස්නස් තිබුණු කඩයක්ද? අද වහලා දාලා. මාර්කට් එක අභාවයට ගිහින්. ඔහු ඈතින් බේරේවැව මැද තියන ටෙස්ටා බේක් හවුස් පෙන්වීය.

කෑම කඩයක් පවත්වාගෙන යන කඩවත ඩබ්.සී. විමලරත්න මෙසේ අදහස් දැක්වීය.

මම කඩේ කරගෙන යන්නේ 2014 සැප් 28 ඉඳලා. මුලින් අපේ කඩවල් තිබුණේ වෙන තැනක‍. දහසක් පොරොන්දු දීලා මේක දුන්නේ. මුල් කාලේ හොඳට පවත්වාගෙන ගියා. ඉස්සර මගේ ළඟ සේව‍කයෝ 25 වැඩ කළා. දැන් මටත් වැඩ කරන්න වෙලා.

බොහෝ දෙනෙකුගේ අදහස වූයේ බේරේ වැව හරහා පාලමක් හෝ දෙකක් ඉදිකිරීමෙන් වැඩි පිරිසක් මෙතෙන්ට ගෙන්වා ගත යුතු බවයි.

කොළඹ කොටුව, පාවෙන වෙළෙඳ සංකීර්ණය පිළිසකර කිරීමට මේ වනවිට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රථම රාජකාරිය ලෙස යොදාගෙන ඇත. පසුගියදා එම අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ප්‍රධාන පිරිසක් පාවෙන වෙළෙඳ සංකීර්ණයට පැමිණ තොරතුරු සොයා බැලුවේය.

වෙනදාටත් වඩා ලස්සන පාවෙන වෙළෙඳ තොටුපළක් දැකීම මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවය.

 

Comments