මුස්ලිම් අන්තවාදීන්ට පරාජය ගෙනා ඇමරිකාව හෙල්ලූ ප්‍රහාරයට වසර 19යි | සිළුමිණ

මුස්ලිම් අන්තවාදීන්ට පරාජය ගෙනා ඇමරිකාව හෙල්ලූ ප්‍රහාරයට වසර 19යි

ජීවිත තුන්දහසක් පමණ බිලිගත් ත්‍රස්ත ප්‍රහාර වලින් දෙසතියකට පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති තත්වය සියැසින් දැකගැනීම අවස්ථාව මේ ලියුම්කරුට උදාවුයේ අහම්බෙන්ය. එරට පදිංචි වී සිටින ඥාතීන් බැලීම සඳහා මා එරටට යාමට අදහස් කළේ. වසර 2001 සැප්තැම්බර් දෙවැනි සතියේය. ඒ සඳහා සැප්තැම්බර් 11 දා උදේ මට කොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් වීසා ලැබිණ. (ඇමෙරිකා වේලාවෙන් 10 වැනි දා සවස). ඒ දිනවල ලේක්හවුස් ඩේලිනිව්ස් පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කරමින් සිටි මා ඇතුළු සෙස්සන් 11දා රාත්‍රී කාර්යාලයේ රූපවාහිනියෙන් දුටුවේ ගුවන් යානා දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට (World Trade Center) කඩා වදින අයුරුය. ඒ ඇමෙරිකා වේලාවෙන් 11 වැනි දා උදේ වරුවය. ඒ අවස්ථාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට තරමක් ඇතින් පිහිටි වෙළඳ ආයතනයක සේවය කළ මගේ ඥාති පුත්‍රයෙක්ද ඉන් එක් යානයක් කඩාවදින අයුරු සියැසින් දිටීය. සෞදි අරාබි ජාතික ඔසාමා බින් ලාඩන් ගේ නායකත්වයෙන් යුත් අල්කයිඩා නම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් එල්ල කළ මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට (ගුවන් යානා මගීන් ඇතුළු) සහ ගිනි නිවන හමුදා භටයන්ට අමතරව මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 19 දෙනෙක්ද මිය ගියහ.

එදිනම ලොව පුරා පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල සියල්ලක්ම වසා දමන ලද අතර එරටට යාමට තිබු ගුවන් ගමන් සියල්ලම තාවකාලිකව අත්හිටුවන ලදී. මේ නිසා දහස් ගණන් මගීහු ලොව නොයෙකුත් ගුවන් තොටුපළවල අතරමං වුහ. එයින් මගේ ගමන ද ප්‍රමාද වූ නමුත් කලින් දා ඇමෙරිකාව බලා ගුවන් ගත වූ මෙරට මගේ ඥාති පිරිසක් ඒ වන විටත් එරටට ළඟා වෙමින් සිටියහ. එහෙත් ඔවුන් රැගත් ගුවන් යානය ඇමෙරිකාවට ගොඩබැස්සවීමට ඉඩ නොදෙන ලදින් එය බැස්ස වීමට ඉඩ ලැබුණේ යාබද කැනඩාවේ ගුවන් තොටුපළකටය. එතැන් සිට එම යානාවේ මගීන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට සිදු වුයේ ගොඩබිම් මාර්ගයෙනි. ඇමෙරිකාව බලා ගිය තවත් මගී ගුවන් යානා බස්සවන ලද්දේ මෙක්සිකෝවටය.

ඇමෙරිකාව බලා පිටත් වීමට මට ඊට අවස්ථාව ලැබුණේ සැප්තැම්බර් 28 වනදාය. කටුනායක සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මැලේසියාවේ ක්වාලම්පූර් ගුවන්තොටුපළට ගිය මා එතැන් සිට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් බලා ගියේ මැලේසියන් ගුවන් සේවයේ යානයකිනි.

දහනව වන සියවසේ ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් පසු දැවැන්ත සතුරු ප්‍රහාර වලට කිසිදා මුහුණ නුදුන් එරට සාමාන්‍ය ජනතාව මේ ප්‍රහාර නිසා කෙතරම් බියට පත්වී ද යන්න මා දුටුවේ එදාය. ඇමෙරිකාව ලෝක යුද්ධ දෙකකට සහ ඉන්පසු වෙනත් යුද්ධ වලටද සම්බන්ධ වුවද ඒ කිසිම අවධියකදීවත් එරට ප්‍රධාන භූමියට (mainland) එවන් සතුරු ප්‍රහාර එල්ල නොවිණ. මා ලොස් ඇන්ජලිස් නුවරට ගොඩබසින විට ගුවන් තොටුපළේ සහ ඒ අවට එරට ජාතික ආරක්ෂක හමුදාවේ (National Guard) භටයෝ රැකවලෙහි යෙදී සිටියහ. ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රහාරක සහ හෙලිකොප්ටර් යානා සහ හෙලිකොප්ටර් මඟින් ගුවනේ මුර සංචාරද ක්‍රියාත්මක විය. ජෙට් යානා අහසේ ඉහළින් පියාසර කළ බැවින් ඇසුණේ ඒවායේ හඬ පමණි. එතෙක් ඉතා නිදහසේ ගමන් බිමන් යාමට පුරුදුව සිටි ඇමෙරිකන් වැසියන්ට මෙම තත්වයය ජනිත කළේ බිය මුසු සිතුවිලිය.

ලොස් ඇන්ජලිස් සිට මට ගුවනින් යාමට අවශ්‍ය වුයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරටය. වෙනත් විශාල රටවල මෙන් අමෙරිකාවේද බොහෝ විට කාලය ඉතිරි කරගැනීම සඳහා නගරාන්තර ගමන් කෙරෙන්නේද ගුවන් මඟිනි. ලොස් ඇන්ජලිස් සහ සැන් ෆ්රැන්සිස්කෝ යන දෙනුවරම පිහිටියේ එරට කැලිෆෝනියා ප්‍රාන්තයේය. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ තුන්වැනි විශාලතම ප්‍රාන්ත රාජ්‍යයයි.

එහෙත් මා පැමිණි දින මේ අභ්‍යන්තර ගුවන් ගමන්වල වෙනසක් සිදුවී තිබිණ. ඊට හේතු වුයේ ත්‍රස්ත ප්‍රහාරයන් සඳහා යොදාගනු ලැබුවේ නගරාන්තර සේවාවල යෙදුනු පැහැරගත් ගුවන් යානා සතරක් වීමය. සැප්තැම්බර් 11 වනදා ඇමෙරිකාවේ ලෝගන්, ඩලස් (ජාත්‍යන්තර) සහ නෙවාක් ගුවන් තොටුපලවල සිට කැලිෆෝනියා ප්‍රාන්තය වෙත ගමන් කරමින් තිබු මඟීන් රැගත් සිවිල් ගුවන් යානා සතරක් පැහැරගත් ත්‍රස්තවාදීහු ඒවා සිය ප්‍රහාරයන් සඳහා යොදා ගත්හ. ඒ සෑම ගුවන් යානයකටම ගමන්වාර සඳහා ඉන්ධන ලීටර් අනූ එක්දහසක් බැගින් සපයා දී තිබිණ. ගුවන් යානා සතර පැහැරගත් ත්‍රස්තයින් පිරිසට පුහුණු ගුවන් නියමුවෙකු බැගින් ඇතුළත්විය. පැහැර ගනු ලැබූ ගුවන් යානා අයත් වුයේ ඇමෙරිකන් එයා ලයින්ස් (American Airlines) සහ යුනයිටඩ් එයා ලයින්ස් (United Airlines) සේවාවලටය. පැහැර ගනු ලැබූ යානා වලින් දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු ගොඩනැගිලිවලට කඩා වැදුණු අතර තවත් යානයක් වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන ඇමෙරිකන් යුද මධ්‍යස්ථානය වන පෙන්ටගනයට කඩා වැදිණ. අනෙක් යානය පෙන්සිල්වෙනියවෙදී බිමට කඩා වැටිණි. ඒ යානයේ පාලනය සියතට ගැනීමට එය පැහැරගත් ත්‍රස්තයින් සහ එහි මගීන් අතර වූ පොර බැදීමක් නිසාය.

එහි ප්‍රතිපලයක් වශයෙන් ඒ දිනවල බොහෝ ඇමෙරිකානුවෝ නගරාන්තර ගුවන් යානා වලින් ගමන් යාමට බිය වූහ. මේ හේතුවෙන් ලොස් ඇන්ජලිස් සිට සැන් ෆ්රැන්සිස්කෝ දක්වා මා ගමන් කළ යානයේ සිටියේ මගීන් ඉතා ටික දෙනෙකි. සමහරු හිස් ආසන ඇඳන් මෙන් යොදා ගනිමින් නිදා ගෙන ගමන් කළහ. නගර දෙකේදීම ගුවන් මගීන් ඉතාමත්ම දැඩි පරීක්ෂා වලට ලක් කෙරිණ. (එදායින් පටන් ගත් මෙම ගුවන් තොටුපළ පිරික්සුම් අද ලොව සෑම රටකම ක්‍රියාත්මකය).

සැන් ෆ්රැන්සිස්කෝ සිට සැතපුම් තිහක් පමණ ඈතින් වූ ෆ්රීමොන්ට් නුවර ඥාති නිවසක සති කිහිපයක් නැවතී සිටි මට ඉන්පසු නැගෙනහිර ඇමෙරිකාවේ නිව්යෝක් නුවර යාමට හැකි විය. ත්‍රස්ත ප්‍රහාරයෙන් බිඳ වැටුණු නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය බැලීමට මා ගිය නමුත් එය බලන්නට සිදු වුයේ ඈතින් සිටගෙනය. ඒ අසලට යාමට මහජනයාට තහනම් කර තිබිණ. කෙසේ වෙතත් ඈතින් සිටගෙන වුවද වැඩි වෙලා එතැන සිටගෙන සිටිය නොහැකි වුයේ සුන්බුන් අතරින් මතු වූ දූවිල්ල නිසාය. දෙසතියක් තිස්සෙම එම දූවිලි තට්ටුව ඒ අවට රැදී තිබුණි. ඒ දූවිල්ල ආඝ්‍රාණය කිරීමෙන් පෙනහලු රෝගියකු මියගිය බවද අසන්නට ලැබුණි. ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇද වැටෙන විට ඊට යටින් පිහිටි උමං දුම්රිය ස්ථානයක්ද විනාශ විය. ඇමෙරිකන් Associated Press පුවත් සේවයේ වාර්තාවන්ට අනුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ අයගේ මළ සිරුරු එක්දහස් හයසියයකට වැඩි ගණනක් හඳුනාගත හැකි වූ නමුත් එකොළොස්දහසක් පමණ හඳුනාගත හැකි වුයේ නැත.

වෙනදා මහජනයාට වොෂිංටන් අගනුවර ධවල මන්දිරය නැරඹීම සඳහා එහි ඇතුළට යාමට අවසර තිබු නමුත් මා එහි යනවිට එම ගොඩනැගිල්ල පිහිටි බිමට ඇතුළු වීම පවා තහනම් විය. එය ඉදිරිපිටින් වාහන යා නොහැකි වන පරිදි මාර්ග දමා අවහිර කර තිබිණ.

මේ පහරදීම් වලින් බියපත් වී සිටි තව ඇමෙරිකන් පිරිසක් වුයේ ඉස්ලාම් භක්තිකයන් වූ ඇෆ්ඝන් සහ මැද පෙරදිග අරාබි සම්භවයක් ඇති එරට පුරවැසියන්ය. ත්‍රස්ත ප්‍රහාරයන්ට ඔවුන්ගේ කිසි සම්බන්ධයක් නොවූ නමුත් ඔවුන්ද ඉස්ලාම් භක්තිකයන් වූ බැවින් ඔවුන්ද කුපිත වූ ඇතැම් ඇමෙරිකානුවන්ගේ පහරදීම් වලට ලක්වේදෝ යන බලවත් සැකයක් ඔවුන් තුළ ඇතිවිය. එබැවින් ඔවුන් බොහෝ දෙනෙක් සිය නිවෙස් වල, ව්‍යාපාරික ස්ථානවල සහ වාහන වල ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ධජය කැපී පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කර තිබෙනු දුටිමි. එපමණක් නොව ඔසාමා බින් ලාඩන් ගේ රුව මතුපිට තමන් ඔහු ප්‍රතික්ෂේප කරන බව හඟවන ලකුණු ඇඳ තිබුණි. එසේ වුවද 'එක හරකෙක් වැට බින්ද විට සියලුම හරකුන් හසු වන්නේ' යයි කියමනක් ඇත. මෙහිදී සිදුවූ අවාසනාවන්ත සිද්ධියක් වුයේ හැඟීම් වලින් ඇවිස්සුනු නුගත් ඇමෙරිකානුවෙක් නිසා එරට පදිංචි අහිංසක සික් ජාතිකයකු පිහිය ඇනුම් කා මිය යාමයි. හිස බැඳී ජටාව සහ යටි රැවුල නිසා ඝාතකයාට ඔහු පෙනුනේ අරාබි මුස්ලිමෙකු ලෙසයි.

මෙවැනි සිද්ධීන් වලදී බොහෝ රටවල (ලංකාව ඇතුළු) සිදුවන්නාක් මෙන් ඇමෙරිකාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ටද නොයෙකුත් දේශපාලන කණ්ඩායම් සිය න්‍යායපත්‍රවලට අනුව විවිධ පරස්පර විරෝධී අර්ථකතන දෙනු මේ ලියුම්කරුට එරට සිටියදී අසන්නට, කියවන්නට ලැබිණ. ලෙබනන්හි එක් රූපවාහිනී සේවාවක් සිය වෙබ් අඩවියේ පලකළ කතාවක් වුයේ මේ ප්‍රහාර වලට සැබවින්ම සම්බන්ධ ඊශ්‍රායලය බවත් එය සිදු වූ දා (සැප්. 11) යුදෙව්වන් හාරදහසක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ රැකියාව සඳහා වාර්තා නොකළ බවයි. (මේ හා සමාන කටකතා කොටි ත්‍රස්තයින් කොළඹ බෝම්බ පුපුරවද්දීද අපට අසන්නට ලැබිණ) කෙසේ වෙතත් ලෙබනන් වාර්තාව පදනම් විරහිත වුවක් බව ඔප්පු වුයේ වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් ඇමෙරිකාවේ පදිංචි යුදෙව්වන් රැසක්ද ඊශ්‍රායල යුදෙව්වන් සතර දෙනෙක්ද මියයාමෙනි.

පදනම් විරහිත අනෙක් කතාව වුයේ වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරය බින් ලාඩන් සහ අල්කයිඩා සංවිධානයේ වැඩක් නොව ඊශ්‍රායෙල් පාක්ෂික කුමන්ත්‍රණ කරුවන් විසින් එම ගොඩනැගිලි ඇතුළතින් පිපිරවීමෙන් එය කරන ලද බවයි. එහෙත් සින්ටෙෆ් (SINTEF) නම් නෝවීජියානු පර්යේෂනායතනයේ විද්‍යාඥයකු වූ ක්රිස්ටන් සිමෙන්සන් විද්‍යානුකූල සාක්ෂි මඟින් එම චෝදනාව නිෂ්ප්‍රභ කළේය.

ඔහු පැවසු අන්දමට ජෙට් ගුවන් යානයක් එවැනි තට්ටු ගොඩනැගිල්ලක් තුළට කඩා වැදී සිරවන විට එහි බිත්ති රඳා සිටින ඇතුළතින් ඇති ඝන වානේ කම්බි වලට යානයේ ඉන්ධන ටැංකි සිදුරුවීමෙන් ඉන්ධන පිටතට ගලායාම නිසා ඇතිවන ඌෂණත්වයෙන් (සෙල්සියස් අංශක 660 සිට 850 පමණ දක්වා) යානයේ ඇලුමිනියම් තහඩු ඇතුළු ගොඩනැගිල්ලේ වානේ කොටස් සමග උණුවී ඉන්ධන සමඟ ගිනි ඇවිලී ගොඩනැගිලි දෙදරා කඩාවැටීමට හේතුවෙයි. ගොඩනැගිල්ලේ නටබුන් දිහා බලන විට එය පැහැදිලිය. ගොඩනැගිල්ල ඇතුළතින් පිපුරුවේ නම් එය පහළ සිට පටන් ගතයුතුය - උඩ සිට නොවේ. ඇමෙරිකන් යුද හමුදාවේ විශ්‍රාමික භටයෙකු වන මගේ ඥාති සොහොයුරෙකුද ඒ බව තහවුරු කළේය. ඇමෙරිකාවේ මෙන්ම වෙනත් දියුණු රටවලත් පාවිච්චිය අතහැර දමන ලද අනවශ්‍ය පැරණි උස ගොඩනැගිලි බිඳ දමන්නේද අවට නිවෙස් සහ ගොඩනැගිලි වලට හානි නොවන පරිදි බිම සිට ක්‍රමානුකූලව පුපුරවා හැරීමෙනි.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ප්‍රහාර වලින් ගිනිගන්නා විට ඉන් බේරීම සඳහා ඉහළ මහල් වල සිට දෙසීයක් පමණ දෙනා බිමට පැන්න නමුත් ඉන් කිසිවෙකුත් දිවි ගලවා ගත්තේ නැත. ඉන් සමහරෙකු ඉහළ මහල් වල සිට පනින විට ගන්නා ලද සේයාරුවක් හැර මියගිය අයගේ සිරුරු පෙන්වන කිසිදු රූපයක් මාධ්‍ය වල පළ නොකෙරුණි. ඒ වෙනුවට පළවුයේ ගුවන් යානා දෙකක් වෙළෙඳ මධ්‍යස්ථානයට කඩාවදින අයුරු, ගොඩනැගිලි ගිනි ගන්නා සැටි, සහ ජනයා දිවි ගැලවා ගැනීමට දිව යන අයුරු දැක්වෙන සෙයාරූ සහ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් පෙන්වන සේයා රූ සහ වීඩියෝ දසුන් පමණි. එම සේයා රූ සහ වීඩියෝ දසුන් කොටි ත්‍රස්තයින් 1996 දී කොළඹ මහ බැංකුවට පහර දීමෙන් පසු එය ගිනිගන්නා අයුරු සහ බියපත් ජනයා පලායන දසුන් සිහිගන්වයි.

ඔසාමා බින් ලාඩන් පැවතගෙන ආ පවුල සෞදි අරාබියේ ධනවත්ම පවුල් වලින් එකකි. ඇමෙරිකන් සහ යුරෝපීය බුද්ධි අංශ වාර්තාකරන අන්දමට ඔවුන්ගේ මුළු ඥාතීන් ගණන හයසියයක් පමණ වෙතැයි සැලකේ. එහෙත් වසර 1991 කෙරුණු ගල්ෆ් යුද්ධයේදී ඇමෙරිකන් හමුදා සෞදියේ රැඳවීමට අවසර දීම ගැන සෞදි රජයට ප්‍රසිද්ධියේ විරෝධය පලකිරීම නිසා ඔසාමාගේ ඥාතීහු ඔහු පවුලෙන් ඉවත් කළ අතර සෞදි රජය ඔහුගේ ගමන් බලපත්‍රය අවලංගු කර සෞදි පුරවැසි භාවයද ඔහුට අහිමි කළේය.

ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාර එල්ලවී දෙවසරක් ඇතුළත එරට සුප්‍රසිද්ධ සමාජ ක්‍රියා ක්‍රියාකාරිකයකු, වාර්තා චිත්‍රපට කරුවෙකු සහ ලේඛකයෙකු වන මයිකල් මුව (Michael Moore) ප්‍රහාර පිළිබඳ නියමාකාරයෙන් පරීක්ෂණ නොපවත්වා සත්‍ය යටපත් කිරීමට තැත් කරන්නේයැයි එවකට එරට ජනපතිව සිටි ජෝජ් බුෂ් (කනිෂ්ට) ට චෝදනා කළේය. ඊට සාධක වශයෙන් මුව පෙන්වාදුන්නේ බුෂ් සහ ඔහුගේ පියා බින් ලාඩන් පවුල සමඟ පැවැත්වූ සංකීර්ණ සම්බන්ධතාවන්ය. මේ කාරණය පදනම් කරගෙන මුව Fahrenheit 9/11 නම් වාර්තා චිත්‍පටයක්ද අධ්‍යක්ෂණය කළේය. (එය අදත් අන්තර්ජාලයේ ඇත). එහිදී මුව බුෂ් පරිපාලනයේ නිලධාරීන් සෞදි රජ පවුල සහ සැප්තැම්බර් 11 ප්‍රහාර ක්‍රියාත්මක කළවුන් සමඟ පැවැත්වුයේ යයි කියන සම්බන්ධතා ගවේෂණය කරයි. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නැවතී සිටි ධනවත් තරුණ සෞදි යුවලක් තමන්ට අත්ව තිබු මෝටරිය තුනක් සහ වෙනත් දේපල සියල්ලම පාහේ හැර දමා ප්‍රහාර එල්ලවීමට සතියකට පමණ කලින් අමෙරිකාවෙන් පලා යාමද මෙහිදී අවධානයට ලක්වී ඇත. ඉන් මතුවන සැකය නම් ඔසාමා බින් ලාඩන් ඔහුගේ පවුලෙන් සහ සෞදියෙන් පන්නා දැමුවද ඔහුගේ අරමුණු ඉටු කරන්නට සූදානමින් සිටි හිතවතුන් ඇමෙරිකාවේ පදිංචිව සිටි බවයි.

ප්‍රහාරයෙන් වසරකට පසු 2002 නොවැම්බර් මසදී අල් කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් විසින් නිකුත් කරන ලදැයි කියන ලියවිල්ලක ප්‍රහාරයන්ට හේතු නවයක් දක්වන ලදී. ඒ අතර එක්සත් ජනපදය ඊශ්‍රාලයට සහාය දීම, සෞදි අරාබියේ ඇමෙරිකන් හමුදා රඳවා තැබීම සහ එවකට සදාම් හුසේන් ගේ පාලනය යටතේ පවතී ඉරාකයට සම්බාධක පැනවීමද විය. මේ කරුණු මෙසේ වුවද අල් කයිඩා ප්‍රහාර වල එක් පැහැදිලි යථාර්ථායක් නම් එම සිද්ධිය ඇතුළු දශක කිහිපයක් තිස්සේ පැනනැගී තවත් ගෝලීය වියවුල් රැසකටම ආක්‍රමණ කාරී සහ කුමන්ත්‍රණකාරී ‘ලෝක පොලිස්කාර’ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියම වගකිව යුතු බවයි.

මෙම ඛේදවාචකයේ හාස්‍ය ජනක සිද්ධිය වුයේ එවකටත් ලංකාවේ බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදී සිටි කොටි සංවිධානය ඇමෙරිකාවේ සැප්තැම්බර් 11දා ප්‍රහාරය ගැන එරට රජයට ශෝක පණිවුඩයක් යැවීමයි. ශ්‍රී ලංකාවේ කීර්තිමත් තානාපතිවරයෙකු වන ආචාර්ය පාලිත කොහොන පවසන පරිදි (Sunday Observer) ඇමෙරිකාවේ සිදුවූ මෙම සිද්ධිය ලංකාවේ කොටි ත්‍රස්තවාදයට විරද්ධව ජාත්‍යන්තර සහයෝගයත් ඇතිව දැවැන්ත හමුදා ප්‍රහාරයක් එල්ල කළ හැකිව තිබු ස්වර්ණමය අවස්ථාවක් බවයි. එහෙත් එවකට මෙරට බලයේ සිටි රජය 'සාම' ප්‍රෝඩාවලට රැවටී ඒ මහඟු අවස්ථාව මඟ හැරීම නිසා කොටි ත්‍රස්තයින් මැඬලීම තවත් අට වසරකින් කල් ගියේය.

Comments