දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා පන්නල - යුපුන් අබේකෝන් | සිළුමිණ

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා පන්නල - යුපුන් අබේකෝන්

යුපුන් අබේකෝන් සිය ජයග්‍රහණය නිම කල අයුරු. දෙවැන්නා වූ ජර්මනියේ ඩෙනිස් අල්මාස් ද මෙහි වෙයි

ජර්මානු ජගත් මලල ක්‍රීඩා තරගාවලියේදී මී. 100 ඉසව්ව 10.16 කින් අවසන් කරයි

ජර්මනියේ ඩයාසු නුවර දී පසුගියදා අවසන් වු ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු මීටර් 100 කෙටිදුර ධාවන වාර්තාව අලුත් විය. ඒ යුපුන් අබේකෝන් විසින් තත්ත්පර 10.16කින් තරගය අවසන් කරමින් දක්ෂතා දැක්වීම නිසාය. යුපුන් වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ ආදි‍ ශිෂ්‍යයෙකි. 

යුපුන් මීටර් 100 ඉසව්ව ජයගන්නා විට මීට පෙර එහි ශ්‍රී ලංකා වාර්තාවට සහ සාග් වාර්තාව තත්ත්පර 10.22කින් හිමිකම් කී ශ්‍රී ලාංකිකයෙකු වූ හිමාෂ ඒශාන්ගේ වාර්තාවන්ද බිඳ වැටිණි. ලබන වසරේදී ටෝකියෝ හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උලෙළට පරිසාධන මට්ටම ළඟාවීමට නම් මීටර් 100 පිරිමි ඉසව්ව සඳහා ක්‍රීඩකයෙකු අවම වශයෙන් තත්ත්පර 10.05ක කාලයක් වාර්තා කළ යුතුව ඇත.

ඉතාලියේ නේවාසික පුහුණුවීම් හදාරමින් සිටින යුපුන්, මේ වන විට දකුණු ආසියාවේ පිරිමි මිටර් 100 හොඳම කාලය වාර්තා කිරිමටද සමත් විය. අපි යුපුන් පිළිබඳව ජෝශප් වාස් විද්‍යාලයේ හිටපු මලල ක්‍රීඩා උපදේශක ප්‍රවීණ මලල ක්‍රී‍ඩා පුහුණුකරු ලෙස කටයුතු කළ නාලක ප්‍රසන්න ගෙන් යුපුන් ගැන විමසුවෙමු.

“යුපුන්ව මට මුලින්ම මුණ ගැසුනේ පන්නල ජාතික පාසලේ අධ්‍යාපනය ලබන අවදියේ දී, ඔහු සුවිශේෂ දක්ෂතාවයන්ගෙන් හෙබි ක්‍රීඩකයකු ලෙසයි මම එදා දුටුවේ. ඒ වන විට යුපුන් තුන්පිම්ම තමයි ක්‍රීඩා කරමින් දක්ෂතා අතර සිටියේ. මට හිතුණා යුපුන්ට ඊට වඩා වැඩි දෙයක් කළ හැකි ක්‍රීඩකයක් කියලා. මම එවකට මලල ක්‍රීඩා උපදේශකයකු ලෙස ජෝශප් වාස් විද්‍යාලයේ කටයුතු කරමින් සිටියේ. මම ජෝශප් වාස් විද්‍යාලයේ පාලනාධිකාරිය දැනුවත් කරලා යුපුන්ව ජෝශප් වාස් විද්‍යාලයට ඇතුළත් කර ගත්තා. ඒ වන විට යුපුන් 17න් පහල දක්ෂ මලල ක්‍රීඩකයකු ලෙස ජාතික පාසල් තරගාවලියේ කැපී පෙනුණා.

ජෝශප් වාස් පාසලට ආවට පස්සේ මම යුපුන්ට යෝජනා කළා මිටර් 200 ‍කෙටි දුර ධාවනටද එක් වන්න කියා. නමුත් යුපුන් එයට කැමැත්තක් දැක්වුයේ නෑ. මට වුවමනා වුණා මිටර් 200ට සම්බන්ධ කරගෙන පසුව 100x4 තරග ඉසව්වටද යුපුන්ව සම්බන්ධ කරගන්න. නමුත් යුපුන්ගේ කැමැත්තක් තිබුණේ නෑ. මගේ ඉල්ලිමට යුපුන් මිටර් 200 කෙටිදුර ධාවන ඉසව්වට පමණක් එක් වුණා. මේ ඉසව් ජයගනිමින් යුපුන් වයස අවුරුදු 20න් පහළ මෙන්ම 21න් පහළ නියෝජනය කරමින් ජාතික පාසල්, සමස්ත ලංකා තරගවලින් දක්ෂතා දැක්වුවා ඒවන විට මිටර් 100 තරග ඉසව්වෙන්ද දක්ෂතා දක්වන තැනට පැමිණමින් සිටියා. 2019 දී හිමාෂ ඒෂාන් පසුකර යැමට සමත් වුණා.

ක්‍රීඩාවට වගේම ඉගෙනීමේ වැඩකටයුතු වලටද එකසේ දක්ෂතා දක්වපු මැත භාගයේ මට හමුවුණු ක්‍රීඩකයකු තමයි යුපුන් ඉතාමත් හොඳින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන්ද ඔහු සමත් වුණා. ජෝශප් වාස් විද්‍යාලයෙන් නික්ම ගියාට පස්සේ මට ඔහු සමඟ දිගටම රැදී සිටින්න බැරි වුණා. නමුත් මේජර් ජේනරාල් පාලිත ප්‍රනාන්දු යුපුන්ව නිසි මග රැගෙන යාමට සමත් වුණා.

යුපුන්ගේ පියා විදේශගතව රැකියාවක තමයි නිතරව සිටියේ. යුපුනුත් තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් පියාගේ රැකවරණය තකා ගියා ඒ ඉතාලියට එහිදි උසස් අධ්‍යාපනයේ නිරතව සිටන අතර ක්‍රීඩාවේද නිරත වෙන්න යුපුන් අමතක කරේ නෑ. විටින් විට මට දුරකථයෙන් අමතන හැම විටම මමත් යුපුන්ව දිරිමත් කළා මලල ක්‍රීඩාවේ දිගටම නිතර විමට. ඒ වගේම පාලිත ප්‍රනාන්දු මහතාත් අවශ්‍ය කරන දැනුම හා උ‍පදෙස් නිරතුරුවම යුපුන් ‍අබේකොන් හට ලබා දිමට කටයුතු කළා. යුපුන් මේ දක්ෂතා දැක්විම මට ආඩම්බරයට කරුණක්.“

යුපුන් වැනි ක්‍රීඩකයන් දුෂ්කර පාසල්වලින් රැගෙන විත් ජෝාශප් වාස් විද්‍යාලයේ දොරටු විවරකර දීමට මම ක්‍රියා කලේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ උන්නතියටයි. මට ජෝශප් වාස් විද්‍යාලයේ ක්‍රීඩා උපදෙ­්සකයකු ලෙස ක්‍රියා කරන අවදියේ අපිට තිබුණු ලොකුම වුවමනාව තමයි. ජාතික පාසල් ශූරතාව විද්‍යාලය සතු කරගැනීම ඒ වෙනුවෙන් කැපවීමෙන් ක්‍රීඩා කළා. අවට පාසල්වලින් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ගෙනවිත් තව තවත් ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කළා. දැන් මම ජෝශප් වාස් විද්‍යාලයේ නෑ. නමුත් දැනටත් මම මලල ක්‍රීඩාව පිළිබඳව ගුරු උ‍පදේශක වරයකු ලෙස වැඩ කරනවා.

 

Comments