‘යුතුකම’ අනුප සහ මාධ්‍යවේදී සංජීව කළුතර ජය දද නංවයි | Page 2 | සිළුමිණ

‘යුතුකම’ අනුප සහ මාධ්‍යවේදී සංජීව කළුතර ජය දද නංවයි

මෙවර මහ මැතිවරණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස අටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේය. ඒ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්ත චරිත පරාජයට පත් කරමින් එම පක්ෂ සෝදා පාලුවට ලක් කරමින්ය.

පානදුර, බණ්ඩාරගම, හොරණ, බුලත්සිංහල, මතුගම, ක`ඵතර, බේරුවල, අගලවත්ත යන මැතිවරණ කොට්ඨාස අටම පොදුජන එක්සත් පෙරමුණ තැපැල් ඡන්ද හා 05 වනදා පැවති මහ මැතිවරණයෙන් 66% ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කර ඇත. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත්‍රයා වන විදුර වික්‍රමනායක සහ රෝහිත අබේගුණවර්ධන , ප්‍රවීණ මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න , පියල් නිශාන්ත, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, යුතුකම ජාතික සංවිධානයේ ලේකම් පරිසරවේදී අනුප පැස්කුවෙල් සහ බස්නාහිර පළාත් සභාවේ සභා නායකවරයෙකු වන ලලිත් එල්ලාවල මෙන් ම ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස මුළු ලොවම හඳුනන මහින්ද සමරසිංහ මහතා ද මෙම ජයග්‍රාහී අපේක්ෂකයින් අටදෙනා වෙති.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආන්දෝලාත්මක චරිතයක් වන සමෘද්ධි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම සහ ලක්ෂ්මන් විජේමාන්න මන්ත්‍රීවරයා මෙන් ම වාමාංශික ව්‍යාපාරයේ න්‍යායාචාරවරයෙකු සහ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ද අලියා ලකුණින් තරඟ කොට කළුතර පරාජිත ඉතිහාසයට එක්ව සිටී.

මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ සිටි සමඟි ජන බලවේගයෙන් තරඟ කළ පානදුර, බණ්ඩාරගම වැනි ප්‍රදේශ වල ජනතාවගේ නායකයෙකු වූ යහපාලන රජයේ විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා ද, වාර දෙකක් පාර්ලිමේන්තුවට පත් වූ සමඟි ජන බලවේගයේ අගලවත්ත සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පී. ඩී. අබේරත්න මහතා ද දියවන්නා තරණය කිරීමට වාසනාව නොමැතිව පරාජිතව සිටී. බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස පිට පිටම වාර දෙකක් කටයුතු කළ දුරකථන පිලේ හොරණ සංවිධායක කිත්සිරි කහටපිටිය සහ වාමාංශික ව්‍යාපාරයේ ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස අපරාජිතව සිටි කීර්ති කාරියවසම් මන්ත්‍රී වරයා ද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ද පරාජයට පත්ව ඇත. කෝටිපති ව්‍යාපාරික ජගත් විතාන ද පරාජයට පත්ව ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අත ලකුණින් තනිවම පොහොට්ටුවෙන් වෙන් වී තරග වැදිණි. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම ලේකම්වරයෙක්ව සිටි 1988 දී ජේ.වී.පී. භීෂණ කාලයේ ඝාතනයට ලක් වුණු ඉන්ද්‍රපාල අබේවීර මහතාගේ උරුමයෙන් දේශපාලනයට පිවිස 1989 සිට 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ සමෘද්ධි නියෝජ්‍ය ඇමතිනිය වූ සුමිත්‍රා ප්‍රියංගනී මහත්මිය ද බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයෙකු වූ කළුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සුමිත් ලාල් මෙන්දිස් මහතා ද මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි ඇතුළු කැපී පෙනෙන චරිත රැසක් විය. ප්‍රධාන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 13ක් නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 10 සඳහා මන්ත්‍රී අපේක්ෂක 13 දෙනා බැඟින් මෙම මැතිවරණයට තරග කළ අතර ඒ සියලු දෙනාම පරාජයට පත් විය.

පාණදුර, බණ්ඩාරගම, හොරණ, බුලත්සිංහල, මතුගම, කළුතර, බේරුවල, අගලවත්ත යන මැතිවරණ කොට්ඨාස අටම පොදුජන එක්සත් පෙරමුණ 66% ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කොරෝනා කාලයේ දී සිදු කළ ජාතික මෙහෙවර අගය කරමින් සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුමත කරමින් කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් මෙම මැතිවරණය තුළදී තම අපේක්ෂකයන්ව ජයග්‍රහණයට පත් කරවා ඇති බව මෙම මැතිවරණ පැහැදිලි වේ.

 

Comments