මහ මැතිවරණයේ ප්‍රතිඵල කලින්ම කියූ අනාවැකිකරුවකු නොවන විශ්ලේෂකයා | Page 2 | සිළුමිණ

මහ මැතිවරණයේ ප්‍රතිඵල කලින්ම කියූ අනාවැකිකරුවකු නොවන විශ්ලේෂකයා

හු නමින් ප්‍රදීප් චානකයි.රත්නපුර පදිංචිකරුවකු වන ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ බැංකු හා රක්ෂණ විශේෂ කළමනාකරණ උපාධිධාරියකු වන අතර මේ වන විට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව හදාරමින් සිටියි.

චානක අනාවැකිකරුවකු නොවේ. එහෙත් විද්‍යාත්මක පදනමක සිට නිවැරදි ලෙස තක්සේරු කරමින් පසුගිය වසරේ නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන් ජය ගන්නා ආකාරය පිළිබඳව නිවැරදිව කියන්නට ඔහු විසින් සකස් කළ අනුමාන ප්‍රතිඵල වාර්තාවට හැකියාවක් ලැබුණි. එහිදී ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන දශමයටම නිවැරදි නොවුණත් ඒ ආසන්නයටම නිවැරදි වීමෙන් පැහැදිලි වූයේ එම ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබදව ඔහු ඉදිරිපත් කළ ඒ නිගමනයට නිසැක වශයෙන්ම තර්කානුකූල පදනමක් ඇති බවයි.

මේ අතර අවසන් වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ පිටු 252 කින් සමන්විත එවැනිම අනුමාන ප්‍රතිඵල වාර්තාවක් චානක විසින් සකස් කළ අතර මෙම මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව එහි ඉතා පැහැදිලි ලෙසම සඳහන් කර තිබුණි. මීට අමතරව සමස්ත මැතිවරණය තුළ ජයග්‍රාහී පක්ෂය ලබා ගන්නා සමස්ත ඡන්ද සංඛ්‍යාව, ඊට අදාළ ප්‍රතිශතය, එම ඡන්ද සංඛ්‍යාව හා ප්‍රතිශතය ලබා ගැනීමේදී ආසන මට්ටමින් මෙන්ම දිස්ත්‍රික් මට්ටමින්ද ඡන්ද ඊට ගොනු වන ආකාරය, ලබා ගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව පමණක් නොව අනිකුත් පක්ෂ එලෙස ආසන මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව,ඊට අදාළ මන්ත්‍රී ධූර සංඛ්‍යාවද මෙම වාර්තාවට අන්තර්ගත වී තිබුණි.

2019 නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධව ප්‍රදීප් චානක විසින් සිදු කළ අනුමානයේදීද එම මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 35 දෙනා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව ද මේ ආකාරයටම විග්‍රහ කර තිබුණි. පිටු 90කින් සමන්විත වූ එම සුවිශේෂ පූර්ව ප්‍රතිඵල විග්‍රහය තුළ 2004 වසරේ සිට මෙරට පැවති මැතිවරණ තොරතුරු මෙන්ම වත්මන් තොරතුරු ද තමන්ටම අනන්‍ය වූ ක්‍රමයකට විශ්ලේෂණය කර තිබුණු අතර ඔහුගේ එම වාර්තාවට අනුව දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් දිස්ත්‍රික්ක 16ක් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන් ජයග්‍රහණය කරන බවද දිස්ත්‍රික්ක 6ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවද සඳහන් විය. එම කරුණු ද ඇතුළත්ව ප්‍රදීප් චානක විසින් සකස් කරන ලද එකී ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබදව විග්‍රහයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සහ වාර්තාවේ සඳහන් ඡන්ද සංඛ්‍යාව අතර වෙනස වූයේ ඡන්ද 11,256ක් පමණකි.

මෙම ලිපිය සකස් වන විට මෙවර මහා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් තිබුණු අතර පුදුමයකට මෙන් මේ මහා මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන්ද ප්‍රදීප් චානක සකස් කර තිබුණු අනුමාන ප්‍රතිඵල වලට 95%කින් පමණ සමානත්වයක් පෙන්නුම් කරමින් තිබීම විශේෂත්වයක් විය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයේ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රදීප් චානකගේ විග්‍රහයට දක්වන සමානත්වය පෙන්වා දීමට පුළුවන. එම විග්‍රහයට අනුව පොදු ජන පෙරමුණ ඡන්ද 653,318 ක් ලබා ගන්නා විට සමගි ජන බලවේගයටද ඡන්ද 398,269 ක් හිමි වෙතැයි පුරෝකථනය විය. අවසාන ප්‍රතිඵලයට අනුව ලැබුණු ඡන්ද සංඛ්‍යාවද ඒ පුරෝකථනයේ සඳහන් වූ ඡන්ද සංඛ්‍යාවට බොහෝ සෙයින් සමාන වූ අතර එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 674,603 ක් ද සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 387,145 ක් ද ලබා ගැනීමට සමත්ව ඇත.

ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, මොනරාගල, මහනුවර ඇතුළු දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක වල අවසන් නිල ඡන්ද ප්‍රතිඵලයද ප්‍රදීප් ගේ මැතිවරණ විග්‍රහයට දැඩි සමානත්වයක් දක්වන අතර එම දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රමාණය හා ලබා ගත් මන්ත්‍රීධූර සංඛ්‍යාව ඇතුළත් අවසන් ඡන්ද ප්‍රතිඵලයද ඔහුගේ තක්සේරුවට වඩා ඇතැම් විට මන්ත්‍රීධූරයක්, දෙකක් ඉහළ ගියේ චානක අපේක්ෂා කළ පරිදි එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිඵලය එම පක්ෂය පමණක් නොව බොහෝ දේශපාලන විචාරකයන් අපේක්ෂා කළ ආකාරයටම නොවූ නිසාය. එය එසේ නොවන්නට පසුගිය ජනාධිපතිවරණයේදී මෙන් මෙවර මහා මැතිවරණයට ද අදාළව ප්‍රදීප් චානක ඉතා මහන්සියෙන් හා උද්යෝගයෙන් යුතුව පිළියෙල කළ අනුමාන වාර්තාවේ සඳහන් වූ ප්‍රතිඵල 99% ක්ම මේ මහා මැතිවරණයේ නිල අවසන් ප්‍රතිඵලයන්ට සමාන වන්නට ඉඩ තිබුණි. කෙසේ වුවත් බොහෝ දිස්ත්‍රික්ක වල හා ආසන වල නිල ඡන්ද ප්‍රතිඵලය චානක සකස් කළ අනුමාන වාර්තාවේ සඳහන් වූ ප්‍රතිඵල වලට පුදුමාකාර ලෙස සමාන තත්ත්වයක් පෙන්නුම් කර කිරීම ද විශේෂත්වයක් වේ.

ප්‍රදීප්ගේ විග්‍රහයට අනුව පොදු ජන පෙරමුණ දිනනවා යැයි සඳහන් කළ දිස්ත්‍රික්ක මෙන්ම සමගි බලවේගය හා දෙමළ සන්ධානය දිනනවා යැයි කිවූ දිස්ත්‍රික්කයන්හි ද ජයග්‍රහණ එලෙසින්ම සටහන් වූ අතර වැඩිම මනාප හිමිකරගනිමින් මන්ත්‍රී ධූර හිමි කර ගන්නවා යැයි ඔහු විසින් අනුමාන කරන ලද අපේක්ෂකයන් ද අපේක්ෂා කළ පරිදිම ඉහළින්ම මනාප ප්‍රතිඵල වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් ලෙස හඳුන්වා දීමට හැකිය.

සිය විශ්ලේෂණාත්මක හා තර්කානුකූල දැනුම හා බුද්ධිය මෙවර මහා මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණයට ගළපමින් ප්‍රදීප් චානක හැදූ පූර්ව ප්‍රතිඵල විග්‍රහයට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුළු ඡන්ද 6,298,270ක් ලබා ගන්නා බව අනුමාන කර තිබුණි. එම ඡන්ද ප්‍රමාණය ලබා ගන්නා විට ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය ලෙස ඔහු අනුමාන කර තිබුණේ 53.84% කි.සමගි ජන බලවේගයද සමස්ත ඡන්ද 3,336,428 ක් ලබා ගන්නා බව ඔහුගේ අනුමානය වූ අතර එහි ප්‍රතිශතය විය හැකි බව දැක්වුණේ 28.52% කි. කෙසේ වුවත් මැතිවරණ කොමිසන් සභාව නිකුත් කළ අවසාන ප්‍රතිඵල ලේඛනයට අනුව 59.09% ක අති විශිෂ්ට ප්‍රතිශතයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුළු ඡන්ද 6,853,693ක් ලබා ගැනීමට සමත්ව තිබුණු අතර සමගි ජන බලවේගය 23.90% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ඡන්ද 2,771,984 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත්ව තිබුණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ මහා මැතිවරණයෙන් මන්ත්‍රී ධූර 133 ක් දිනා ගන්නා බව ප්‍රදීප් චානක මෙවර තම මැතිවරණ ප්‍රතිඵල අනාවැකිය තුළදී සදහන් කර තිබුණි. කෙසේ වුවත් මෙම ලිපිය ලියන අවස්ථාව වන විට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබූ අවසාන ප්‍රතිඵල ලේඛනයට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධූර 145 ක් දිනා ගැනීමට සමත්කම් දක්වා තිබේ. සමගි ජන බලවේගයද මන්ත්‍රී ධූර 54 ක් දිනා ගෙන තිබුණු අතර එම මන්ත්‍රීධූර සංඛ්‍යාව චානකගේ විග්‍රහයේ සඳහන් වූ මන්ත්‍රීධූර සංඛ්‍යාවට වඩා මන්ත්‍රී ධූර 04 ක අඩු වීමකි. ඊට අමතරව ජාතික ජන බලවේගයට ආසන 04 ක් ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු වී තිබුණද සැබෑවටම එම බලවේගයට ලබා ගත හැකි වූවේ මන්ත්‍රීධූර 03ක් පමණකි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයට ද ඒ පක්ෂය ඉතිහාසයේ ලැබූ අමිහිරිම දේශපාලන පරාජය උරුම කර දෙමින් මන්ත්‍රීධූර 01 කින් පමණක් සෑහීමට පත්වීමට සිදු වුණේ ප්‍රදීප් චානක සිය පූර්ව ප්‍රතිඵල තක්සේරුවට අනුව එම පක්ෂය ද උපරිම වශයෙන් මන්ත්‍රීධූර 09ක් වත් දිනා ගනු ඇතැයි නිගමනය කර තිබූ පසුබිමක වේ. එපමණක්ද නොව දෙමළ ජාතික සන්ධානයද උපරිම ලෙස මන්ත්‍රීධූර 17ක් දිනා ගනු ඇතැයි ප්‍රදීප්ගේ තක්සේරුව වී තිබුණද අවසානයේදී දෙමළ ජාතික සන්ධානය දිනා ගනු ලැබුවේද මන්ත්‍රීධූර 10 ක් පමණකි. ඇත්ත වශයෙන්ම ප්‍රදීප් නිගමනය කර තිබූ පරිදි එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බලවේගය හා දමිළ ජාතික සන්ධානය අපේක්ෂිත ඡන්ද හා මන්ත්‍රීධූර ලබා ගැනීමට අපොහොසත් වූ අතර එම සාධකය ඔහුගේ පූර්ව මැතිවරණ ප්‍රතිඵල ලේඛනයේ සඳහන් කරන ලද සමස්ත විග්‍රහයේ සඳහන් වූ ගණන් හිලව් එහා මෙහා වීමට හේතු සාධක වූ අයුරක් පෙනී යයි.

කෙසේ වුවත් ජාතික ලැයිස්තුව සම්බන්ධව ප්‍රදීප් චානක ඉදිරිපත් කළ නිරීක්ෂණ හා විශ්ලේෂණ ආසන්නයටම සමාන වූ අයුරක් පෙනී යන අතර එහිදී ද පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 16ක් දිනා ගනු ඇතැයි ඔහු උපකල්පනය කර තිබියදී මන්ත්‍රී ධූර 17ක් දිනා ගැනීමට එම පෙරමුණ සමත්කම් දක්වා තිබුණි. මීට අමතරව ප්‍රදීප්ගේ විග්‍රහයේ ආසන 08 ක් වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව මැතිවරණ කොමිසමේ අවසන් ප්‍රතිඵල ලේඛනයට අනුව ආසන 07ක් වී තිබුණු අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වෙතැයි අපේක්ෂා කර තිබූ මන්ත්‍රී ආසන 02 ද එක් අසුනක් දක්වා අඩු වී තිබුණි.

Comments