ත්‍රිකුණාමලයේදී සෝදාපාළු වූ ටී.එන්.ඒ. දේශපාලනය | සිළුමිණ

ත්‍රිකුණාමලයේදී සෝදාපාළු වූ ටී.එන්.ඒ. දේශපාලනය

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ජන අනුපාතයේ පවතින සමානාත්මක බව හේතුවෙන් කිසි විටකත් එහි ස්ථීර දේශපාලන බකොටු තැනුනේ නැත. ත්‍රීකුණාමලයේ දේශපාලන බලය ඒ නිසා විටින් විට මාරු වුණේය. එය මේ මැතිවරණ කලාපයට අනන්‍ය වූ විශේෂත්වයකි.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ජන අනුපාතයේ පවතින සමානාත්මක බව හේතුවෙන් කිසි විටකත් එහි ස්ථීර දේශපාලන බලකොටු තැනුනේ නැත. ත්‍රීකුණාමලයේ දේශපාලන බලය ඒ නිසා විටින් විට මාරු වුණේය. එය මේ මැතිවරණ කලාපයට අනන්‍ය වූ විශේෂත්වයකි.

බොහෝ කලක් ත්‍රීකුණාමලයේ දේශපාලන බලය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වටා ඒක රාශි වී තිබුණද, පසු කාලීනව එය එක්සත් ජාතික පක්ෂය වටා ගොනු විය. බොහෝ විට මුස්ලිම් ජනතාව එක්සත් ජාතික පක්ෂයට වැඩි ‍ෙළන්ගතු කමක් දැක්වීම ඊට හේතුවයි.

කෙසේ වෙතත්, පසු කාලීනව ශ්‍රී ලාංකීය දේශපාලන දහරාව තුළ මුස්ලිම් දේශපාලන පක්ෂ බිහිවීමත් සමග ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ බලය හිමිවූයේ එම මුස්ලිම් දේශපාලන පක්ෂ වලටය. මෙම මුස්ලිම් දේශපාලන පක්ෂ ආණ්ඩු සමග සන්ධාන ගතවීම හා එම සන්ධානවලින් ඉවත්වීම යන කාරණා මත ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ දේශපාලන බලය ඒ අතට මේ අතට දෝලනයවීම කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි විය.

මූතුර් ආසනය හැත්තෑව දශකයේ බහු මංත්‍රී ආසනයක් ලෙස පැවති අතර,ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ,තංගදොරේ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අබ්දුල් මජීඩ් මහතා පලමු හා දෙවන මංත්‍රීවරුන් ලෙස පත් විය. එය තනි ආසනයක් ලෙස වෙන් කෙරුණු පසු, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල දිවංගත ඊ.එම්.එච්.මහරූෆ් මහතා මිය යන තුරුම එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කලේය.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ආසනය ශ්‍රී ලංකාවේ දිගම මැතිවරණ ආසනයයි. එහි ඡන්දදායකයන් බහුතරය සිංහල ජාතිකයන්ය. දිවංගත හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා විටින් විට එම ආසන නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. පසු කාලීනව සුසන්ත පුංචි නිළමේ මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කර දෙවරක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

2015 වසරේ යහ පාලන රජය බිහිවීමත් සමග ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළ දේශපාලන බල කඳවුරු දෙකක් නිර්මාණය වනු දක්නට ලැබුණි.

2020 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත රැසක්ම සජිත් ප්‍රේමදාස මහතා ගේ සමගි ජන බලවේගය සමග එක්වූයේය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර තිබුණේ,ඉතාමත් දුර්වල ලැයිස්තුවකි.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු ලැයිස්තුවට එකදු දමිළ අපේක්ෂකයෙකු හෝ නම් නොකිරීම හා ප්‍රබල මුස්ලිම් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය නොගැණීමට හේතු වු බව පෙනේ.

මෙවර මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයට ජය ගත හැකිවු එකම දිස්ත්‍රීක්කය ත්‍රිකුණාමලයයි.

එහිදී ත්‍රීකුණාමලයේ දේශපාලන දැවැන්තයා වු සුසන්ත පුංචි නිළමේ මහතා මනාපයෙන් දෙවැනියා බවට පත් කරමින් කපිල නුවන් අතුකෝරල මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගත්තේය.

ආරියවතී ගලප්පත්ති මහත්මියට හා ප්‍රියන්ත පතිරණ මහතාට මනාප 15000 සීමාව ඉක්මවීමට හෝ නොහැකි විය.

සමගි ජන බලවේගයේ එම්.එස්.තව්ෆීක් මහතා ලබාගත් මනාප ප්‍රමාණය මැතිවරණ ඉතිහාසයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප ප්‍රමාණයයි.

මෙවර මැතිවරණයේදී ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වැඩිම සෝදා පාලුවට ලක්වු පක්ෂය තමිල් අරසු පක්ෂයයි. මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධූරයක් හිමිකර ගැණීමට ඡන්ද 40000 සීමාව පසුකළ යුතු අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දනන් මහතාට සිය මන්ත්‍රී ධූරය රැක ගැනීමට ප්‍රබල සටනක් දීමට සිදුවිය. තමිල් අරසු පක්ෂය ඡන්ද 40500 ලබා ගනිමින් ආර්.සම්පන්දනන් මහතාට අසනයක් හිමිකර දුන් අතර, පරිනත දේශපාලඥයෙකු මෙන්ම හිටපු විපක්ෂ නායකයෙකු වු සම්පන්දනන් මහතාට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූයේ,මනාප 21,422 ක් පමණි.

Comments