සති අන්තයට රසවත් වෙනසක් | සිළුමිණ

සති අන්තයට රසවත් වෙනසක්

හැමෝම නිවෙසේ රැඳෙන සති අන්තයේ වෙනස් කෑම බීම හදා ගෙන රස බලන්න ලැබෙනව නම් එය සතුටක් වගේම අලුත් අත්දැකීමක් වේවි. ඒ නිසාම මේ රසවත් කෑම ජාති ටික සකස් කරගන්න ඔබත් උත්සාහ කර බලන්න.

සුදු සීනි වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය

සූදූ සීනි ග්‍රෑම් 150

ෆ්‍රෙෂ් මිල්ක් හෝ

පොල් කිරි

මිලි ලීටර් 100

බිත්තර 2

වැනිලා

තේ හැඳි 1

කුඩුකර ගත්

කරදමුංගු

ඇට 3ක්

සහ කුරුඳු

කැබැල්ලක්

කජු මද ස්වල්පයක්

පළමුව වටලප්පම සාදා ගැනීමට සුදුසු බඳුනක් ගෙන එහි බටර් හෝ තෙල් ටිකක් තවරා ගන්න. කඩාගත් බිත්තරවල සුදු පාට නූලක් මෙන් ඇති කොටස ඉවත් කර (එය ඉවත් කිරීමෙන් පිළී ගඳ නැතිවේ) බිත්තර හොඳින් ගසාගන්න. එයටම වැනිලා සහ කරදමුංගු සහ කුරුඳු කුඩු එක්කරමින් හොඳින් මිශ්‍ර කරගන්න. සීනිවලින් කොටසක් වෙනත් භාජනයකට දමා වතුර බින්දු කීපයක් එකතු කර මඳ ගින්නෙන් කැරමල් කරගන්න. කැරමල් පාට වූ පසු එයට කිරි ටික එක් කරමින් සීනි ගුලියක් මෙන් නොසෑදෙන ලෙස ලිප නිවා සීනි ටික දියවෙන සේ හොඳින් හැඳි ගාන්න. එයටම ඉතුරු සීනි ද එක්කර දියවන තුරුම හැඳි ගාන්න. දැන් හොඳින් නිවෙන්න හරින්න. නිවාගත් සීනි මිශ්‍රණය බිත්තර මිශ්‍රණයට එක්කර හොඳින් විස්ක් කරගන්න.

ඉන්පසු සකස් කරගත් බෝල් එකට වටලප්පන් මිශ්‍රණය පෙරා ෆොයිල් පේපර් එකකින් හොඳින් වසා ගන්න. මෙය ඉඳිආප්ප තම්බන ආකාරයට තම්බා ගත හැකිය. රයිස් කුකුරයේ ද විනාඩි 20-30ක කාලයක් ස්ටීම් කර ගත හැක. අවන් එකේ නම් උදුන සෙ.ග්‍රේට් අංශක 180ට විනාඩි 5ක් රත් කර ගන්න. දැන් තවත් තැටියක් ගෙන එයට තරමක් උණු වතුර දමා වටලප්පන් බඳුන ඒ මත තබා විනාඩි 30-40ක කාලයක් බේක් කර ගන්න. හොඳින් බේක් වූ පසු බෝල් එකෙන් ගලවා පිඟානක් මතට දමා කජුවලින් සරසා ගන්න.

 

**************************

චිකන් අන්නාසි බත්

අවශ්‍ය ද්‍රව්‍ය

 

බාස්මතී සහල් අවශ්‍ය පමණට

කුඩා කැබැලි කපාගත් අන්නාසි ගෙඩි භාගයක්

කුරුඳු, රම්පේ, කරපිංචා, කරාබු නැටි, කරදමුංගු අවශ්‍ය පමණට

පොල් කිරි කෝප්පයක්

ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු සහ කහ කුඩු අවශ්‍ය පමණට

කුඩාවට කැපූ කටු රහිත කුකුළු මස් කැබැලි හෝ බැදගත් සොසේජස් අවශ්‍ය පමණට

බිත්තරයක් (කැමැති නම් පමණක්)

සිහින්ව කපාගත් ලූනු, සුදු ලූනු ස්වල්පයක්

සිහින්ව කපාගත් ලූනු කොළ ස්වල්පයක්

බඳුනක් ගෙන තෙල් ටිකක් දමා රත් වූ පසු එයට කුරුඳු, රම්පෙ, කරදමුංගු, කරාබුනැටි එක්කර තෙම්පරාදු වූ පසු කහ ස්වල්පයක් සහ අවශ්‍ය පමණට ලුණු ද එක්කර සෝදා වතුර බේරාගත් සහල් සහ වතුර දමා බත පිසගන්න. බත බාගෙට පිසුණු පසු පොල් කිරි කෝප්පය ද එක්කර ගන්න. කුකුළු මස් කැබැලිවලට මිරිස් සහ ලුණු කුඩු එක්කර අතගා ගැඹුරු තෙලේ බැද පසෙකින් තබාගන්න.

දැන් බඳුන ලිප තබා එයට බටර් සහ තෙල් ස්වල්පයක් එක්කර රත්වන විට කපාගත් ලූනු, සුදු ලූනු සහ අන්නාසි දමා හොඳින් තෙම්පරාදු කරගන්න. අන්නාසි තැම්බෙන විට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු ටිකක් එක්කර හොඳින් කලවම් කරන්න. එයටම කපාගත් ලූනු කොළවලින් භාගයක් ද එක්කර හොඳින් කලවම් කර ලිප වසා පිසගන්න. ඉන්පසු එයට බැදගත් කුකුළු මස්, කැමති නම් බිත්තර පදමට ලුණු දමා මිශ්‍ර කරමින් පිසගත් බත් ද එයටම එකතු කර හොඳින් කලවම් කර ගන්න.

************************

අයිස් සරුවත්

අවශ්‍ය ද්‍රව්‍ය

 

සීනි කෝප්පයක්

වතුර කෝප්ප භාගයක්

රෝස් එසන්ස් තේ හැන්දක්

කස කසා ඇට සහ අයිස් කැට අවශ්‍ය පමණට

භාජනයක් ලිප තබා එයට වතුර දමා භාජනයේ මැදට වෙන්න සීනි ටික දමා මඳ ගින්දරේ තබන්න. මැද ටික පමණක් හැඳි ගාමින් සීනි දියවීමට හරින්න. එය බුබුළු දමමින් උතුරන විට රතුපාට වර්ණකාරක එක්කර හැඳි ගාන්න. එය හොඳටම උතුරන විට ලිප වසා නිවෙන්න තබා විනාඩි පහකට පසු එයට රෝස් එසන්ස් දමා හැඳි ගා නැවත හොඳටම නිවෙන්න හරින්න. පසුව එය පියනක් සහිත පිරිසුදු වීදුරු කප් එකකට දමා ශීතකරණයේ තබා අවශ්‍ය වේලාවට භාවිතයට ගත හැකිය. බීම පිළිගන්වන්න පෙර කස කසා ඇට ස්වල්පයක් පෙඟෙන්න තබා අයිස් වතුර ගෙන එයට අයිස් කැට සහ කලින් සාදාගත් සිරප් එකෙන් ස්වල්පයක් දමා හොඳින් දියකර ගන්න. පසුව සුදුසු වීදුරුවක් ගෙන එයට කස කසා දමා සරුවත් එක දමා කැමති නම් වැනිලා අයිස්ක්‍රීම් ස්වල්පයක් ද දමා පිළිගන්වන්න.

Comments