අපේ අලි ඇත්තු රැකගන්න ලොව පුරා යන අලි පෙළපාළිය | සිළුමිණ

අපේ අලි ඇත්තු රැකගන්න ලොව පුරා යන අලි පෙළපාළිය

ලි පෙළහර පාන්නේ පෙරහරේය. අපේ පෙරහ ට සංස්කෘතිය පමණක් නොව රටේ අතිශයෙන් වැදගත් ඉතිහාසයක් අලි ඇතුන් සම්බන්ධව තිබේ. රජවරු වැඩියේ මඟුල් ඇතු පිටය. යුද්ධයට යනවිට ඉදිරියෙන්ම ගියේ ඇත් සේනාවය. රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූයේ අලි ඇතුන් විදේශ වෙළෙඳපළට විකිණීමය. අපේ ඇත්තන් හා අලි ඇතුන් සමඟ තිබුණේ එවැනි සමීප බැඳීමකි. එහෙත් ඒ බැඳීම පහුගිය කාලයේ දී දෙදරා ගියේය. කවදාවත් ඇති නොවුණු අලි මිනිස් ගැටුම් ඇති විය. අලි ගම් වැදුනහ. ගම් වැදුණු අලි වෙඩි කා මිය ගියහ. කන්න නැති අලි කුණු ගොඩවල් ළඟට ඇවිත් කුණු කෑහ. මේ අලි විපත අපට වඩා සංවේදී වූ ලෝකය කම්පනයට පත් කළේය. ආසියානු අලි ඇතුන් රැක ගැනීමට ලෝකයේ සංවිධානාත්මක ව්‍යාපාර බිහි විය.

පසුගිය ජුනි 26 වැනිදා ස්විස්ටර්ලන්තයේ රපෙස්විල් (Rapperswil)ප්‍රදේශයේ එවැනි වැඩ සටහනක් දියත් වූයේය. එහි සංවිධානය වූයේ ආසියානු අලි ඇතුන්ට ආදරය කරන්නට පොළඹවන, ඔවුන්ගේ වර්ණවත් අනුරූ ඇතුළත් අපූරු ප්‍රදර්ශනයකි. අගෝස්තු 23 දක්වා එම ප්‍රදේශයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඉන් අනතුරුව ඔක්තෝබර් 21 දක්වා සූරිච් නගරාශ්‍රිතව ස්ථාන දෙකක පැවැත්වීමට නියමිතය. මේ ප්‍රදර්ශනය නම් කර තිබෙන්නේ Elephant Parade(අලි පෙළිපාළිය) ලෙසයි.

මේ ප්‍රදර්ශනයේ ආරම්භය 2006 වසර දක්වා දිව යන්නකි. තායිලන්තයේ නිවාඩුවක් සඳහා ගිය මාක් ස්පිට්ස් සහ මයික් ස්පිට්ස් පිය පුතු දෙදෙනා තායිලන්තය තුළ පවතින අලි ඇතුන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක් වෙත ගියහ. එම රෝහල පවත්වාගෙන යමින් තිබුණේ "ආසියානු ඇතුන්ගේ මිතුරෝ" ( Friends of the Asian Elephant) නම් සංවිධානයක් මගින්ය. එම රෝහල හරහා මිනිසාගේ කුරිරු වූ වධ බන්ධන වලින් අනතුරුවලට ලක්වූ මෙන්ම ස්වභාවික ව්‍යසන නිසා අබාධ වලට ලක් වූ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සිදු කරමින් පැවතින. එහිදී බිම් බෝම්බයකට හසුව පාදයක් අහිමි වූ මෝෂා නම් කුඩා ඇත් පැටවෙක් දැකීමෙන් ස්පිට්ස් පිය පුතු දෙදෙනා අතිශයින් සසල විය.

මෝෂා සඳහා කෘත්‍රිම පාදයක් සවි කිරීමට එම රෝහලේ බලධාරීන් කටයුතු කර තිබූ අතර වාර්ෂිකව එම පාදයේ ප්‍රමාණය වෙනස් කළ යුතු විය. මේ නිසා එම ආයතනයට මෝෂා වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත්ව තිබිණි. මෝෂා ඇතුළු විවිධ අනතුරුවලට සහ අකටයුතුකම්වලට ලක්වන ආසියාතික අලින්ගේ සුභ සාධනය වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට එහිදී ඔවුන් තීරණය කළහ.

ඒ අනුව අලි ඇතුන්ගේ සුභ සාධනය සඳහා මුදල් රැස්කර ගැනීමට සමාජ සුබ සාධන ව්‍යාපාරයක් ආරම්භ කෙරුණි. Elephant Parade ලෙස හැඳින්වූ මේ ව්‍යාපෘතිය ෆයිබර් ග්ලාස් භාවිත කරමින් තැනුණු අලි ඇතුන්ගේ විවිධ ප්‍රමාණයේ වර්ණවත් ආකෘති වාර්ෂිකව විවිධ රටවල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලදී. පළමු අලි පෙළපාළිය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ 2009 වර්ෂයේදී ආරම්භ වූ අතර ඒ සඳහා වර්ණවත් අලි ඇතුන්ගේ අනුරූ සියයක් පමණ එක් කර තිබිණි. මේ අනුරූ නිර්මාණය සඳහා ලොව පුරා ප්‍රධාන පෙළේ කලාකරුවන් සහ සමාජ සුබ සාධනය සඳහා කැපවන්නන් වන ජැක් වෙට්‍රිනෝ, රොනල්ඩ් වෙනුටුරා, රිචඩ් බ්‍රැන්සන්, කැටි ෆෙරී, ඩයනේ වොන් ෆ්‍රස්ටන්බර්ග්, ඩී.ජේ හාඩ්වෙල්, බ්‍රයන් ඇඩම්ස් වැනි විශිෂ්ටයන් රැසක් දායක වී තිබුණි. ප්‍රදර්ශනය අවසානයේදී මේ අනුරූ වෙන්දේසි කරමින් ලැබෙන ශුද්ධ ලාභයෙන් 20% ක් ආසියාතික අලි ඇතුන්ගේ සුභ සාධනය සඳහා ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරන අතර ඉතිරිය ප්‍රදර්ශනය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන් කෙරිණි. එසේම වෙන්දේසියෙන් ලැබෙන මුදලින් 15%ක් අදාළ නිර්මාණය සිදු කළ කලාකරුවන් වෙත ලබාදීම සිදු කෙරෙන අතර බොහෝ විට එම කලාකරුවන් යළිත් එම මුදල් Elephant Parade වෙතම පරිත්‍යාග කිරීම සුලබ සිද්ධියකි.

එවැනි වෙන්දේසියකදි ඇත් අනුරුවක් සඳහා ලැබුණු වැඩිම මුදල ලැබුණේ 2010 දී ජැක් වෙට්‍රිනෝ විසින් නිර්මාණය කරන ලද 'The Singing Butler Rides Again" නම් නිර්මාණයටය. එම මුදල බ්‍රිතාන්‍ය පවුම් 155,000විය.

Elephant Parade මගින් ප්‍රධාන වශයෙන්ම මුදල් යොමු කරනු ලබන්නේ Elephant Family නම් සුබ සාධක සංවිධානයට වන අතර ඒ හරහා ඔවුන් ආසියානු අලින්ගේ සුභ සාධනය සඳහා වන ව්‍යාපෘති 160ට අධික ප්‍රමාණයකට මූල්‍ය ආධාර සපයනු ලබනවා. ඒ හරහා කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය සහ තායිලන්තය යන රටවල අලි ඇතුන් ප්‍රතිලාභ ලබනවා. Elephant Parade ආරම්භ කිරීමට හේතු වුණු මෝෂාගේ පාද වෙනස් කිරීම ඇතුළු අනෙකුත් කටයුතු සඳහා වාර්ෂිකව යුරෝ 25,000 ක දීමනාවක් ගෙවීමට මේ හරහා හැකියාව ලැබී ඇත.

මේ වන විට මේ සුන්දර අලි පෙළපාළිය රටවල් දහයකට අධික ප්‍රමාණයක ගමන් කර ඇත. මීට අමතරව උතුරු දිග තායිලන්තයේ චියැන්ග්මායිහි Elephant Parade Land නමින් කෞතුකාගාරයක් පවත්වාගෙන යෑමද සිදු වේ. ආසියානු අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා Elephant Paradeහි දායකත්වය ජනතාවට පැහැදිලි කරමින් වැඩමුළු පැවැත්වීම ඒ හරහා සිදුවන ව්‍යාපෘති අතරින් ප්‍රධාන තැනක් හිමි වේ. ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පමණක් නොව රාජකීයයන් පවා මේ මහා අලි පෙළපාළිය වෙනුවෙන් සිය දායකත්වය ලබාදී ඇත. දෙවැනි එළිසබත් රැජිනගේ දෙවැනි පුත්‍රයා වන යෝර්ක්හි ආදිපාද ඇන්ඩෘ කුමරුගේ හිටපු බිරිය වන සාරා ෆර්ගියුසන් ආර්යාව ලන්ඩනයේ පැවැත්වුණු අලි පෙළපාළියට සිය පූර්ණ දායකත්වය ලබා දුන් අතර එවකට ලන්ඩනයේ නගරාධිපතිවරයාව සිටි වර්තමාන එක්සත් රාජධානිය අගමැති බොරිස් ජොන්සන්ද ලන්ඩනයේ පැවැත්වුණු අලි පෙළපාළිය සංවිධානය කිරීමට සහය විය. ඩෙන්මාර්කය පැවැති අලි පෙළපාළිය සඳහා වර්තමාන ඩෙන්මාර්ක් රැජිනගේ සැමියා වන හෙන්රික් කුමරු සහයෝගය ලබා දුන්නා පමණක් නොව අලියෙකුගේ අනුරුවක් නිර්මාණය කොට වෙන්දේසිය සඳහා පිරිනැමිණි.

[email protected]

 

Comments