මෙතෙක් පැවැති ප්‍රජාතන්ත්‍රවාදීම මැතිවරණය මෙයයි | සිළුමිණ

මෙතෙක් පැවැති ප්‍රජාතන්ත්‍රවාදීම මැතිවරණය මෙයයි

මෙරට මැතිවරණ ඉතිහාසය විමසා බලන විට එය වසර 1947 දක්වා දිව යයි. වසර 1931 දී මෙරටට සර්වජන ඡන්ද අයිතිය හිමි වූ අතර මැතිවරණ ක්‍රමවත් ව පැවැත්වීම සඳහා නිශ්චිත ආයතනයක් ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව 1947 දී පිහිටුවනු ලැබීය. එ් පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය මණ්ඩල (පළාත් පාලන) මැතිවරණ දෙපාර්තමේන්තුව වශයෙනි. එදා මෙදා තුර මැතිවරණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ජාතික මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් පවත්වා ඇති මැතිවරණ සංඛ්‍යාව 74 කි.

1947-1977 කාලය තුළ අප රටේ මහ මැතිවරණ පවත්වා ඇත්තේ සරල බහුතර නියෝජන ක්‍රමය යටතේය. සරල බහුතර නියෝජන ක්‍රමයේ පැවති විවිධ අඩුපාඩු නිසා 1977 වසරේ දී එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය විසින් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේය. 1989 වසරේ දී පැවැති මහා මැතිවරණයේ පටන් මේ දක්වා මහ මැතිවරණ‍ පවත්වා ඇත්තේ මෙකී සමානුපාතික නියෝජන ක්‍රමය යටතේය. මෙම ඡන්ද ක්‍රමය හඳුන්වාදීමත් සමඟ වෙනදා ප්‍රතිවිරුද්ධ පක්ෂ සමඟ ගැටුණුු අපේක්ෂකයන් තමන්ගේ ම පක්ෂයේම අය හා මනාප පොරයකට කැඳවන ලදී. මෙනිසා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගිය අතර, මැතිවරණ ඉතිහාසය සලකන කල 1999 දී පැවති වයඹ පළාත් සභා ඡන්දය මෙරට පැවති ඛේදනීයම මැතිවරණය ලෙස සැලකිය හැකිය.

පසුගියදා අප මුහුණ දුන්නේ 74වන මැතිවරණයටය. 1947 දී පැවති කුප්‍රකට ජනමත විචාරණයත් සමඟ 2020 අගෝස්තු 5 වැනිදා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයත් සමඟ මේ දක්වා පවත්වා ඇති පාර්ලිමේන්තු මැතිවරණ සංඛ්‍යාව 17 කි.

මෙවර මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ ස්ථාපිත මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (Paffrel) සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (CMEV) මේ වනවිට සිය පුර්ව මැතිවරණ නිරීක්ෂණය සහ මැතිවරණ දින නිරික්ෂණ වාර්තා ජනගත කර තිබේ. මේ ඒ පිළිබඳව ඔවුන් හා කළ සාකච්ඡාවකින් සැකසුණකි.

“පුර්ණ මැතිවරණවරණ සහ මැතිවරණ දින සිදුවීම් නිරීක්ෂණය කර සැකසු වාර්තා සමඟ පසුගිය මැතිවරණ දෙක සංසන්දනය කර බැලීමේදී විශාල ප්‍රගතියක් පෙන්නුම් කරයි. දේශපාලන ආධාරකරුවන්ගේ හැසිරීම පවා ඉතාම හොඳ මට්ටමක පැවතිණි. එසේම පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු මැතිවරණ කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේදී පක්ෂ පාට නොතකා තම වගකීම මැනැවින් ඉටුකරන බවක් දක්නට තිබුණි. ඒ සඳහා දිස්ත්‍රික්කවල කටයුතු කරන සහකාර කොමසාරිස්වරුත් හා තේරීම්භාර නිලධාරින් සිය උපරිම ශක්තියෙන් කටයුතු සිදු කිරීම ප්‍රශංසා කටයුතුය. ඒ වගේම දේශපාලන පක්ෂත් ඔවුන් අතින් නීතිය කඩවීම පිළිබඳව සැලකිලිමත් වීමත් ඒ සඳහා වගවීමත් මෙහිදී දක්නට ලැබෙන සාධනීය කාරණයකි. එසේම ඔවුන් නීතිය කඩ කරන කම් නොසිට, මැතිවරණ නීතිය සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කරමින් අපගේ කාර්ය නොපිරිහෙළා ඉටු කළෙමු. මේ සංස්කෘතිය දිගින් දිගටම වර්ධනය වුවහොත් එය ඉතාම සුබවාදී තත්ත්වයකි. ඇත්තෙන්ම මෙහි වගකිවයුතු කාර්යභාර්යයක් මාධ්‍ය ආයතන වෙත පැවරිණි. මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය මීට වඩා සමාජ වගකීමකින් කටයුතු කළ යුතුය යන්න මගේ අදහසයි. ‘සම බිමක සටනක්’ නම් ඊට ගරු කරමින් එකම අදහස් ඇති පක්ෂවලට පමණක් ඉඩ ප්‍රස්ථාව ලබා නොදී විකල්ප අදහස්වලට ද සමාන අවස්ථා ලබාදීම කෙරෙහි මාධ්‍ය මීට වඩා සැලකිලිමත් විය යුතුය. දේශපාලනික වශයෙන් ජයග්‍රහණය කළා හෝ නොකළා අඩුම තරමේ වෙනස් මතවාදයක් ගෙන යෑමට උත්සහ දරන කණ්ඩායම්වලට මාධ්‍ය තුළ මීට වඩා වැඩි අවස්ථාවක් ලබා දිය යුතුව තිබිණ. එහෙත් අපි එවැන්නක් මාධ්‍යයෙන් නොදුටුවෙමු. රටක් ලෙස ඉදිරියට යා හැක්කේ විකල්ප මතවාද පැවතුණහොත් පමණි. විකල්ප දේශපාලන මතවාදයන්ට ඇති ඉඩ ඇහිරීමෙන් විකල්ප ක්‍රමවලට ඔවුන් පෙලඹීමට ඉඩ තිබේ. ජනතාව විකල්ප ක්‍රම අත්හදා බැලීමට යෑමෙන් අනිසි ප්‍රතිඵල අත්විය හැකිය. එනිසා හොඳම දේ වන්නේ විකල්ප මතවාද සඳහා ඉඩක් ලබා දීමය. එය මාධ්‍ය සතු විශාල වගකීමක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල්, මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ. සමන් ශ්‍රී රත්නායක සිළුමිණ සමඟ පැවසීය.

“මේ වන විට ලැබී තිබෙන නිරීක්ෂණ වාර්තා අනුව පසුගිය මැතිවරණ තුන සාපේක්ෂ ලෙස සසඳා බැලීමේදී යම් යම් අඩුපාඩුකම් තිබුණද ප්‍රචණ්ඩත්වය අඩුවීම අතින් සාධනීය තත්ත්වයක් පෙන්නුම් කරයි. මින් පෙර අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා තරග වදින විට ගැටුම් ඇති වීම ඉතාම ඉහළ අගයක පැවතුණි. මෙවර අපේක්ෂකයන් 7452 ක් තරග වදින තත්ත්වයක් තුළ බරපතළ ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ නීති උල්ලංඝණය කිරීම් කිසිවක් වාර්තා නොවුණි. එසේ වුවත් ඡන්දය පැවති දිනයේ ඊට අදාළ පැමිණිලි 147ක් වාර්තා විය. ඉන් පැමිණිලි 101 සත්‍ය ඒවා බවට තහවුරු වූ අතර; 46 මෙතෙක් තහවුරු වී නැත. තහවුරු කළ හැකි බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් වාර්තා වන්නේ 06 පමණි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 95ක් වාර්තා විය. ඉන් 60 පමණ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ සිදුවීම් වන අතර, 47 තහවුරු කළ ඒවා විය. මැතිවරණ ප්‍රචාරණ කටයුතු පැත්තෙන් බැලුවහොත් ලොකුම පැමිණිල්ල බවට පත්ව ඇත්තේ කෝවිඩ්-19 මාර්ග උපදේශ නොසලකා එම කටයුතු සිදු කිරීමය. පක්ෂ විපක්ෂ ඉහළ සිට පහළට කිසිවකුත් ඒ ගැන සැලකිල්ලක් නොදැක් වූ බව මෙහිදී සඳහන් කළ යුතුය. එසේම කෝවිඩ් තත්ත්වය හමුවේ වෙනදා තම අංකය ප්‍රචාරණය කිරීම සඳහා ලැබුණු ඉඩ ප්‍රස්ථාව අපේක්ෂකයන්ට අහිමි විය. මෙනිසා නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් වාර්තා විය (ප්‍රදර්ශනය නොකළ හැකි ස්ථානවල කටවුට්, බැනර්, පොස්ටර් ප්‍රදර්ශනය කිරීම).එය එතරම් බරපතළ තත්ත්වයක් නොවේ. මේ පිළිබඳව නොදන්නා අයකු කොළඹ නගරයේ ඇවිද ගියහොත් මැතිවරණයක් පැවැත් වූ බවට සංඥාවක්ද ඇති නොවේ. එහෙම බැලුවහොත් අප පෙරට වඩා සාධනීය තැනකට පැමිණ තිබේ. ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 33ක් ලැබී ඇති අතර; 21 තහවුරු කර තිබේ. එසේම බරපතළ සිද්ධි ගනයෙහිලා සැලකිය හැකි ගිනි අවි පෙන්නා තර්ජනය කිරීමක්, චංචල දේපළ හානි කිරීමක්, නිශ්චල දේපළ හානි කිරීමක්, තර්ජනය කර බිය වැද්දීම් සිද්ධි දෙකක් මෙන්ම පක්ෂ කාර්යාල හානි කිරීමක් වාර්තා වී ඇත. මේ අප කතා කරන්නේ මැතිවරණ කොට්ඨාස 160ක් සහ අපේක්ෂකයන් 7452ක් තරගවදින අවස්ථාවකි. එසේ බලන විට මෙය ඉතාම අවම අගයකි. අඩුම තරමින් මැතිවරණ කොට්ඨාසයකට එක ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ වාර්තා නොවන තත්ත්වයක් මේ දක්වා නිරීක්ෂණය කළ හැකිය. එසේ වුවත් පුද්ගලිකව බඩු බෙදා දීම් හා මුදල් ලබා දීම් වාර්තා විය. සමස්ත මැතිවරණ කාලය තුළ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 2,300ක් ලැබී තිබුණි. නිහඬ කාලයේදී ද පැමිණිලි 200 ලැබිණි. එසේම කෝටි 1000ක පමණ මුදලක් මේ වනවිට මැතිවරණය සඳහා වියදම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. මේ කෝටි 1000ක මුදල අපි පත්වන මන්ත්‍රී සංඛ්‍යාවෙන් බෙදා බැලුවහොත් එක් මන්ත්‍රීවරයකු පත් කරගැනීම සඳහා රුපියල් කෝටි 5ට ආසන්න මුදලක් වැය කරයි. එසේ නම් තමන් මෙතරම් මුදලක් වැය කර පාර්ලිමේන්තුවට පත් කර යවන්නේ කවර තැනැත්තකුද යන්න පිළිබඳව ජනතාව මීට වඩා අවදියෙන් කටයුතු කළ යුතු බව” පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අප සමඟ පැවසීය.

මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක් වූ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක සඳහන් කර සිටියේ “2015 සිට මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරවරණයට එළඹීමත් සමඟ ඇති වූ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සාපේක්ෂ වශයෙන් මැන බැලීමෙදී ක්‍රමිකව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩු වීමක් දක්ණට ලැබෙන බවයි. සමස්ථ සමාජයම යම්යම් ප්‍රවණතා ඔස්සේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙවැනි තත්ත්වයක් ඇති වූ බව නිරීක්ෂණය කළ හැකිය. සාමාන්‍ය ජනතාවගේ සිතුම් - පැතුම් හා ඇවතුම් - පැවතුම් ද මැතිවරණ ක්‍රියාවලියට අයත්වන බැවින් ජනතාවගේද කිසියම් සාධනීය වෙනසක් ඇති වී තිබෙන බව මේ අනුව පෙනී යයි. වර්තමාන තරුණ පරපුර පොස්ටර් ගැසීම, කටවුට් එල්ලීම, හෝ ඡන්ද පත්‍රිකා බෙදාදීම වැනි කාරණාවලින් ඉවත්ව ඇති බවක් පෙන්නුම් කරන අතර ඔවුන් ප්‍රචණ්ඩකාරී දේශපාලනය ප්‍රතික්ෂේප කරන බවක් ද පෙනෙන්නට තිබේ.

මෙවර 9වැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරාගැනීම සඳහාවන මහ මැතිවරණය අවසන් වූයේ අර්බුදකාරී සමයක මැතිවරණ කොමිසම ගත් විවාදාත්මක තීරණයක් ප්‍රායෝගිකව සනාථ කිරීමෙනි. එය මෑත දශක දෙකක ඉතිහාසයේ ජන්දදායකයා වෙත ලැබුණු අමිල ත්‍යාගයකි. ජන්ද භාවිතය නිදහසේ සිදු වූ අතර 71% වැඩි ප්‍රතිශතයක් ජන්ද භාවිතයේ දක්නට ලැබීම ශ්‍රී ලාංකිකයාගේ ජන්දය කෙරෙහි වන කැමැත්ත පිළිඹිඹු වීමකි. මුහුණු ආවරණ සහිතව කෝටියක ජනතාවක් පාරට බැසීම අසිරිමත් ජයග්‍රහණයකි. මැතිවරණ දිනයේ 340 කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් ලැබුණද ඒවා බොහොමයක් මැතිවරණ නීති උල්ලංඝණ මිස ප්‍රචණ්ඩ ක්‍රියා නොවේ. එහෙත් පුර්ව මැතිවරණ සමයේ යම් යම් ගැටලු මතු වුවද, එහිදීද පෝස්ටර්, කටවුට් හා බැනර් යුද්ධ නැති විය. කෙසේවෙතත් සමාජ ජාල මාධ්‍ය බලපෑම මැඬලීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හඳුන්වා නොදෙන තාක් මෙරටේ මැතිවරණ පැවැත්වෙනු ඇත්තේ ‘සමබිමක නම් නොවේ” යැයි හෙතෙම කියා සිටියේය.

මෙහි වගු ගත කර ඇත්තේ ඉහත සංවිධාන විසින් සැකසූ නිරීක්ෂණ වාර්තාය. වැඩිදුර අධ්‍යනය සඳහා ඒවා බලන්න.

Comments