සිනමා පෝලි­මෙන් ගරා­ගත හැකි හොඳ චිත්‍ර­පට ! | Page 2 | සිළුමිණ

සිනමා පෝලි­මෙන් ගරා­ගත හැකි හොඳ චිත්‍ර­පට !

ශ්‍රි ලංකාවේ චිත්‍ර­පට ශාලා වලින් ප්‍රේක්‍ෂක පෝලිම් අහෝසි වී ගියේ අප රටට කොරෝනා බෝව­න්නට පෙරය. චිත්‍ර­පට පෝලිම් අහෝසි වීම යනු චිත්‍ර­පට ප්‍රේක්‍ෂ­කයා සින­මා­පට නැර­ඹී­මෙන් ඈත් වීමය. මේ ඈත්වී­මට මූලික හේතු දෙකක් බල­පෑවේ ය. එකක් නම් පෙන්වන චිත්‍ර­පට වලින් වැඩි හරි­යක් බලා සිටි­න්නට බැරි­වීම ය. අනෙක් කාර­ණය නම් සම­හර චිත්‍ර­පට දිරවා ගන්නට බැරි­වීම ය.

අපූ­ර්වම කාර­ණය නම් මේ හේතු කොට­ගෙන, ප්‍රේක්‍ෂක පෝලිම අහෝසි වී ගියත් චිත්‍ර­පට පෝලිම දික්ව­න්නට පටන් ගැනීම ය. මේ දිග ප්‍රමා­ණය චිත්‍ර­පට සිය­ය­කට මඳක් වැඩි තරම් ය.

 ඒෙහත් වසා ඇති සිනමා ශාලා පව­ත්වා­ගෙන යාමට නම් ඒවායේ චිත්‍ර­පට පෙන්විය යුතුය. පව­තින කොරෝනා තත්ත්වය යටතේ මිනි­සුන් සිනමා හල් කරා පැමි­ණීම බින්දු­ව­ටම බැස ඇති අතර, සුප්‍ර­කට චිත්‍ර­පට නිෂ්පා­ද­ක­ව­ර­යෙකු වන සුනිල් ටී. ප්‍රනාන්දු මහතා පව­සන්නේ මේ පෝලිමේ ඇති චිත්‍ර­පට වලින් ඉතා වැඩි ප්‍රමා­ණ­යක් නොපෙ­න්වන තර­මට හොඳ බවය. ඒ හේතු කොට ගෙන මේ ඉතිරි වි ඇති ප්‍රේක්‍ෂ­ක­යන් දෙතුන් දෙනාත් සිනමා ශාලා­වෙන් සද­හ­ටම ඉවත් විය හැකි බව ඔහුගේ අද­හ­සය.

 එසේ වුවද මෙම චිත්‍ර­පට ධාරාව තුළ ප්‍රේක්‍ෂක අව­ධා­න­යට ලක්වන චිත්‍ර­පට සුළු ප්‍රමා­ණ­යක් ද තිබේ. ඒවා නම් ප්‍රසන්න විතා­නගේ අධ්‍ය­ක්‍ෂ­ණය කළ “ගාඩි”, ජයන්ත චන්ද්‍ර­සි­රිගේ “මිදුණු විශ්වය”, “උදය කාන්ත වර්ණ­සූ­රි­යගේ “ගින්දරී-2”,ජැක්සන් ඇන්ත­නිගේ “එක ගෙයි සොකරි”, විෂා­කේශ  චන්ද්‍ර­සේ­ක­රම්ගේ “පාංශු”, ගිරි­රාජ් කෞශ­ල්‍යගේ “කතුරු මිතුරු”, ලලිත් රෝහිත එදි­රි­සිං­හගේ “තට්ටු දෙකේ ඉස්කෝලේ”, තේජා ඉද්ද­ම­ල්ගො­ඩගේ “ආශා­වරී”, ආශෝක ආතා­වු­ද­හෙ­ට්ටිගේ “කන්දක් සේ මා” ඇතු­ළුව තවත්  චිත්‍ර­පට කීප­යකි.

මෙම චිත්‍ර­පට අත­රින් තෝරා ගනු ලබන නිර්මාණ හතක සහ­භා­ගි­ත්ව­යෙන් චිත්‍ර­පට උළෙ­ලක් පැවැ­ත්වීමේ යෝජ­නා­වක් මෙරට ප්‍රධාන පෙලේ චිත්‍රපට සමාගමක් තුල සාක­ච්ඡා­වට බඳුන් වෙමින් පැවති බව එහි එහි උසස් නිලධාරියෙකු අප හා පැව­සීය.

එවැනි සිනමා කෘති වෙන් වෙන් වශ­යෙන් හුදෙ­ක­ලාව ප්‍රද­ර්ශ­නය කර­න­වාට වඩා වැඩි අව­ධා­න­යක් මේ හේතු කොට ගෙන ඇති විය හැකි­බව සමා­ග­මෙහි අද­හස වී තිබුණේ යැයිද පැව­සීය. එමෙන් ම ප්‍රද­ර්ශ­න­යට පළමු චිත්‍ර­පට උළෙ­ලක් ශ්‍රි ලංකාවේ පව­ත්වන ප්‍රථම අව­ස්ථාව මෙය විය හැකි බව ද ඒ මහ­තාගේ අද­හස විය.

අප ඉහ­තින් සඳ­හන් කළ චිත්‍ර­පට ගණ­නාව අත­රින් “කන්දක් සේ මා” යනු එන­මින් යුත් සුමිත්‍රා රාහු­බ­ද්ධගේ නව කතාව ඇසු­රින් නිප­ද­වනු ලැබූ­වකි. එමෙන් ම ලේඛි­කාව විසින් ම තිර නාට­කය ලියා නිෂ්පා­ද­නය කරන ලද මෙම චිත්‍ර­ප­ටය අශෝක ආතා­වු­ද­හෙට්ටි විසින් අධ්‍ය­ක්ෂ­ණය කරන ලද්දකි. 

ශ්‍රි ලංකාවේ ඉතා ජන­ප්‍රිය වූ “ඔෂින්” හි ඔෂීන් ලෙස රඟපෑ කෙබෙ යෂි අයාකෝ නැමැති නිළිය ද මෙහි චරි­ත­යක් නිරූ­ප­ණය කරන අතර එහි ප්‍රධාන චරි­තය රඟ­පානු ලබන්නේ නිරෝෂා පෙරේ­රාය. 

මීට අම­ත­රව ජූන් ඉතෝ, ජයනි සේනා­නා­යක, බිමල් රත්නා­යක, සිරිල් වික්‍ර­මගේ, ආදීහු චරිත නිරූ­පණ කරන මෙහි කැමරා අධ්‍ය­ක්‍ෂ­ණය රුවන් කොස්තා ගෙනි. සංස්ක­ර­ණය කර ඇත්තේ රවීන්ද්‍ර ගුරුගේ ය.

ශ්‍රි ලංකාව සහ ඉන්දියා සම නිෂ්පා­ද­න­යක් ලෙස ඉදි­රි­පත් කෙරෙන “ගාඩි” චිත්‍ර­ප­ටය තිර රච­නය ලියා අධ්‍ය­ක්‍ෂ­ණය කර ඇත්තේ ප්‍රසන්න විතා­නගේ විසිනි. සජිත අනු­ත්තර ද්විත්ව චරිත නිරූ­ප­ණ­යක යෙදෙන මෙහි සෙසු චරිත නිරූ­ප­ණය දිශාරා පුංචි­හේවා, ශ්‍යාම් ප්‍රනාන්දු, සහ රවීන්ද්‍ර රන්දෙ­ණිය ගෙනි.ක්‍රිෂ්ණ කුමාර්ගේ සංගී­ත­යෙන් ද, රජීවි රජීගේ කැමරා අධ්‍ය­ක්‍ෂ­ණ­යෙන් ද ශ්‍රිකර් ප්‍රසාද් සංස්ක­ර­ණ­යෙන්ද සම්බන්ධ වන මෙහි සම නිෂ්පා­ද­ක­ව­රුන් ලෙස එච්.ඩී. ප්‍රේම­සිරි, සන්ධ්‍යා සල්ගාදු, ප්‍රසන්න විතා­නගේ, ඇලෙන් මැක්ලෙස් සහ අජේ රායි කට­යුතු කරති.

ජයන්ත චන්ද්‍ර­සිරි තිර රච­නය කොට අධ්‍ය­ක්‍ෂ­ණය කළ “මිදුණු විශ්වය” රූ සිනමා ක්‍රියේ­ෂන් හවුස් වෙනු­වෙන් රුවන් ජය­සිංහ විසින් නිෂ්පා­ද­නය කරන ලද්දකි. උද්දික ප්‍රේම­රත්න, චුලක්‍ෂී රණ­තුංග, බුද්ධික ජය­රත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිතා අබේ­රත්න, කුසුම් රේණු සහ වසන්ත විට්ටච්චි යන නළු නිළි­යන් රංග­න­යේන් දායක වන මෙහි සංගී­තය නව­රත්න ගමගේ ගෙනි. “මිදුණු විශ්වය” සංස්ක­ර­ණය කර ඇත්තේ ප්‍රවීන් ජය­රත්න විසිනි.

උද­ය­කාන්ත වර්ණ­සූ­රිය මීට පෙර නිර්මා­ණය කළ “බහු බූතයෝ”චිත්‍ර­ප­ටයේ 3 වන කොටස ලෙස ඉදි­රි­පත් වන  “ගින්දරී”-2  තිර රච­නය, අධ්‍ය­ක්‍ෂ­ණය හා නිෂ්පා­ද­නය ද ඔහුගේ මය. පබෝධා සංදී­පනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණ­කුල, ශ්‍රීනාත් මද්දු­මගේ, සමන් හේම­රත්න සහ  රිචඩි මානා­මු­දලි ආදී නළු නිළි­යන් මෙහි චරිත නිරූ­ප­ණයේ යෙදෙන අතර, කැම­රා­ක­ර­ණය කේ.ඩී. දයා­නන්ද ගෙනි. ප්‍රවීන් ජය­රත්න සංස්ක­ර­ණය කළ “ගින්දරී -2” සංගී­ත­වත් කර ඇත්තේ ආනන්ද පෙරේරා විසිනි.

ක්‍රියේ­ටිව් හෙලන්කා නිෂ්පා­ද­න­යක් ලෙස ඉදි­රි­පත් කෙරෙන “එක ගෙයි සොකරි” ජැක්සන් ඇන්තනි විසින් තිර රච­නය ලියා අධ්‍ය­ක්‍ෂ­ණය කරන ලද්දකි. උදාරි වර්ණ­සූ­රිය, අඛිල ධනු­ද්ධර, සජිත අනු­ත්තර, විල්සන් ගුණ­රත්න, සහ සොනාලි ෆොන්සේකා චරිත නිරූ­ප­ණ­යෙහි යෙදෙන මෙහි කැම­රා­ක­ර­ණය  චන්න දේශ­ප්‍රි­ය­ගෙනි. තිස්ස සුරේන්ද්‍ර සංස්ක­ර­ණය කළ  මෙහි සංගීත නිර්මා­ණය කර ඇත්තේ චින්තක ජය­කොඩි විසිනි.

විසා­කේෂ චන්ද්‍ර­සේ­ක­රම් තිර රච­නය කොට අධ්‍ය­ක්‍ෂ­ණය  කළ “පාංශු” හැව්ලොක් ආට්ස් ස්ටුඩියෝ සහ ටීවීටී ආය­ත­නයේ සම නිෂ්පා­ද­න­යකි. නීටා ප්‍රනාන්දු, නදී කම්මැ­ල්ල­වීර, ජගත් මනු­වර්ණ, සහ නිල්මිණි බුව­නෙක ආදී නළු නිළි­යන් චරිත නිරූ­ප­ණය කරන මෙහි කලා අධ්‍ය­ක්‍ෂ­ණය කුමාර කර­ව්දෙ­ණිය විසිනි. කැම­රා­ක­ර­ණ­යෙන් දිමුතු කාලිංග ද සංස්ක­ර­ණ­යෙන් සිතුම් සම­ර­ජී­වද, සම්බ­න්ධ­වන “පාංශු” සින­මා­ප­ටයේ සංගී­තය චින්තක ජය­කො­ඩි­ගෙනි.

ගිරි­රාජ් කෞශල්‍ය අධ්‍ය­ක්‍ෂ­ණය කළ “කතුරු මිතුරු” ජය­ලත් මනෝ­රත්න, මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, ප්‍රියන්ත සෙන­වි­රත්න, රොඩ්නි වර්ණ­කුල, ජයනි සේනා­නා­යක, මොරින් චාරුණී, මිහිරි සිරි­ති­ලක, සහ වසන්ත විට්ටච්චි චරිත නිරූ­ප­ණය කර­න්නකි.

රුවන් කොස්තාගේ කැම­රා­ක­ර­ණ­යද, අජිත් රාම­නා­ය­කගේ සංස්ක­ර­ණය ද සහිත මෙහි කලා අධ්‍ය­ක්‍ෂ­ණය මනෝජ් වික්‍ර­ම­සිං­හ­ගෙන් වන අතර, සංගී­තය රෝහණ වික්‍ර­ම­සිං­හ­ගෙනි. “කතුරු මිතුරු” බාසුරු සිරි­ව­ර්ධ­නගේ නිෂ්පා­ද­න­යකි.

සීමිත ඉඩ­කඩ හේතු කොට ගෙන, අපට මෙම විස්තර කිරීම මෙප­ම­ණ­කට සීමා කර­න්නට සිදු වුණද, මෙහි නම් සඳ­හන් නොවූ තවත් චිත්‍ර­පට තුන හත­රක් හෝ පෙර කී පෝලි­මෙහි තිබෙන බව අපට විශ්වාස ය. 

ඒ නිසා චිත්‍ර­පට ප්‍රද­ර්ශ­නයේ නව ආර­ම්භ­යක් උදෙසා ඒ සියලු නිර්මා­ණා­ත්මක කෘතීන් ඒක­රාශි කර ගැනීම මේ අව­ස්ථාවේ දී වැද­ගත් ය.

පෙර කී ස්කෝප් සිනමා සමා­ග­මෙහි යෝජ­නාව වඩාත් නිවැ­රදි නම් චිත්‍ර­පට සංස්ථාව විසින් ක්‍රියා­ත්මක කළ යුතුව තිබු­ණක් යයි අපි සිතමු. අවශ්‍ය නම් එවැනි කට­යු­ත්ත­කට සම­ගා­මීව චිත්‍ර­පට සංස්ථා­වට ද නව සිනමා උළෙ­ලක් සංවි­ධා­නය කිරී­මට මෙය කදිම සුබ මුහු­ර්ති­යකි.

 

Comments