යදම් සහ රන්දම් | සිළුමිණ

යදම් සහ රන්දම්

මෙවර සතියේ කෙටි කතාව තෝරා දෙනු ලැබුවේ දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය. දශක පහකට අධික කාලයක් මාධ්‍යකරණයේ නිරත වන තිලකරත්නයන් සිළුමිණ ප්‍රධාන කතුවරයා ලෙස ද කිහිප වරක් කටයුතු කළේය.  කාව්‍ය කෙටි කතා හා ශාස්ත්‍රීය පොත් ගණනාවක් ලියා පළකර කර ඇති හෙතෙම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍ය උපදේශක වශයෙන් වර්තමානයේ කටයුතු කරනු ලබයි. මේ යදම් සහ රන්දම් කෙටිකතාව පිළිබද ඔහුගේ අදහසයි.  

කෙටි­ක­තාව යනු සංකීර්ණ මිනිස් සබ­ඳතා තුළින් ඉස්මතු වන මනුෂ්‍ය ස්වභා­වය පිළි­බිඹු කළ හැකි සාහි­ත්‍යාං­ග­යකි. ඵලා­ප්ති­යක් මතු­වන පරිදි කිසි­යම් සිද්ධි­දා­ම­යක් පෙළ­ගැ­ස්වී­මෙන් ද කතා­වක් නිර්මා­ණය කළ හැකිය. නූතන සිංහල කෙටි­ක­තාව හුදු කත­න්දර කීමේ ඉම පසු­කර වඩාත් සියුම් කලා­වක් බවට පත්වී ඇත. යදම් හා රන්දම් කෙටි­ක­තාව ඉස්කෝ‍ල හාමිනේ කෙනෙකු, දරු­වකු හා පොලිස් නිල­ධා­රි­යකු යන චරිත තුන වටා ගෙතුණු කත­න්ද­ර­යකි. 

ජය­වතී ඉස්කෝල හාමි­නේ­ගෙන් උදව් ලබන පොලිස් නිල­ධා­රියා ඇගේ පුතු කර­ද­ර­ය­කට මුහුණ පෑ අව­ස්ථාවේ කර­ ඇර ගිය සැටිත්, තම ඥාති­යකු වන ඉහළ පොලිස් නිල­ධා­රි­ය­කුගේ මැදි­හ­ත්වී­මෙන් දරුවා නිද­හස් කර­ගත් සැටිත් විදහා දැක්වේ.

මෙම කතා වස්තුව පාඨ­ක­යාට ආස්වා­ද­යක් ලබා දෙන අයු­රින් ප්‍රති­නි­ර්මා­ණය වී ඇතැයි කිව නොහැකිය.  යද­මින් කර­ගත නුහුණුු දෙය රන්ද­ම­කින් සිදුවූ බව කීමට වෑයම් කළත් පාඨ­කයා තුළ අපූ­ර්ව­ත්ව­යක් ඇති කිරී­මට තරම් නිර්මා­ණා­ත්මක ගුණ­යක් මෙහි දක්නට නැති බව කිය­න්නට සිදු වේ.

 

ජය­වතී ඉස්කෝල හාමිනේ පොලී­සියේ ගේට්ටු­වෙන් ඇතුළු වී වට­පිට බැලු­වාය. ඇගේ සිත බියෙන් හා චකි­ත­යෙන් ‍වෙළී ඇත. සුදු­වැලි අතුරා තිබූ මිදුලේ තැනින් තැන මිනි­සුන් එක්රොක් වී තුෂ්ණී­ම්භූ­තව සිටින අයුරු ඇයට පෙනේ. ඔවුන් හරි­ය­ටම තැන් තැන්වල තබා ඇති ගල්ගෙඩි මෙනි. නිල ඇඳු­මෙන් සැර­සුණු තරුණ පොලිස් නිල­ධා­රීන් කල­බ­ල­යෙන් එහා මෙහා යනු ද පෙනේ. පොඩි පට්ටම් වූ විශාල බස්ර­ථ­යක් මිදුලේ කෙළ­ව­රක දකින්ට ලැබුණි. නින­ව්වක් නැතිව ඇවි­ද­ගෙන ආ ජය­වතී මෙසේ හදි­සි­යේම පාත් වූ ගිනි­ගෙ­ඩිය ගැන මෙනෙහි කළාය. මේ සියල්ල සිහි­න­යක් ද?

ඒ මොහොතේ පන්තියේ ළමයි හාවක් හූවක් නොමැ­ති­වය. ඇය ඉදි­රි­පත් කළ පාඩ­මට ඇහු­ම්කන් දීගෙන සිටි­යෝය. හදි­සියේ ම පන්ති කාම­ර­යෙන් පිටත කිසි­ව­කුගේ ඡායා­වක් ඇයට දක්නට ලැබිණ. තමා ඉදි­රි­යෙන් සිටින්නේ මද්දු පුතාගේ යහ­ළු­වන් බව ජය­වතී හඳුනා ගත්තාය. ඔවුහු බෙහෙ­වින් කල­බ­ල­යට පත්ව සිටි­යෝය.

“ළමයි ඇයි මේ?”

“මද්දුව ලකප් කළා.... තව යාළු­වෙ­කුත්....”

“මොනව....? දෙවි­යනේ! මේ මොන හෙණ­ගෙ­ඩි­යක්ද? ඒ ‍ළමයි මොන දෙයක් කළා­ටද?”

ජය­වතී පන්ති කාම­රය වෙන් කළ බිත්තිය තදින් අල්ලා ගත්තේ තමා වැටෙ­න්නට යන සෙයක් දැනුණ නිසාය.

“මද්දු කීව අම්මට එන්න කියල....”

“පොලි­සි­යට....?”

“ඔව්!”

ජය­ව­තීට පා තැබී­මට සිදුවී ඇත්තේ තමාට යාමට බිය සැක උප­ද­වන පොලී­සිය වෙත­ටය. සිසුන්ගේ ගාල­ගෝ­ට්ටිය ගැන නොතකා, සිය­ල්ලම නවතා පාසල් බිම, ගහ­කොළ, මිනි­සුන්, රථ­වා­හන, ගොඩ­නැ­ඟිලි පසු­ක­ර­ගෙන ඇය මෙතැ­නට ආවේ අව­සි­හි­යෙන් වගේය. උදේ පිළි­වෙ­ළ­කට ඉනෙහි දවටා තිබූ සාරි­පට ගිලිහී එල්ලෙ­මින් තිබූ ආකා­රය ඇයට සිහි­පත් කළේ මහ­පා­රේදී හමු වූ ගැහැ­නි­යක විසිනි. දැවැන්ත ඔර්ලෝ­සුවේ කටු­ව­ලින් මධ්‍යාහ්න දොළහ සනි­ටු­හන් කර තිබිණ.

පොලී­සියේ කොරි­ඩෝ­රය දිගේ ගමන් කළ ඇය තවත් කිහි­ප­දෙ­නෙකු අත­රට මැදි­වූ­වාය. තමා යා යුත්තේ කොතැ­න­ට­දැයි ඇයට හරි­හැටි තේරු­මක් නොති­බුණි. මද්දු මේ මොහොතේ කොතැ­නක, කුමන ආකා­ර­ය­කින් පසු­ව­නවා ඇද්දැයි දැනුණේ ගැහෙන හද­ව­ත­ටය. කෙළ­වරේ මේස­යක ෆයිල් කවර හා ලිපි­ගොනු රාශි­යක් තබා තිබුණි. දෙවැ­ල­මිට මේසය මත තබා­ගත් පොලිස් කොස්තා­ප­ල්ව­රුන් දෙදෙ­නෙකු ද එයට නුදු­රින් පොලිස් කාන්තා­වක ද රාජ­කාරි කට­යු­ත්තක යෙදී සිටිනු ඈ දුටු­වාය. ඔවු­නට මුහු­ණලා පිහිටි සිර මැදි­රියේ අල­ස­ම­කින් ඇන තබා­ගෙන සිටින මුඩුම මිනි­සකු ඇයට දක්නට ලැබිණ. ඔහුගේ රැවුල වැඩී ඇත. පෙර දිනක සිඟ­මන් යදි­මින් සිටි මිනි­ස­කුගේ හැඩ රුව බඳු කිසි­යම් මතක සට­හ­නක් ඇයගේ සිතට ඇතුළු විණි. එක එකා කූඩුව වෙතට ළංවී අර මිනිසා දෙස එබී බල­මින් යන ආකා­රය ඇයට පෙනේ. සිර­ක­රුවා සියතේ වූ මාංචු කුට්ටම වෙතට ම නෙත් යොමු­ක­ර­ගෙන සිටියි.

ජය­ව­තීගේ පපුව ගිඩි ගිඩි ගා ගැහෙ­න්නට විය. ඊළ­ඟට තවත් සිර­කූ­ඩු­වක් විය හැකිද? එහි සිටින්නේ තමාගේ දරුවා ද? මද්දු.... දෙවි­යනේ! අව්වට, වැස්සට, සීත සුළ­ඟට, මැසි මදු­රු­වන් ආදී දහ­සක් ව්‍යසන වලින් රැක­ගත් පුතා... මෙතෙක් සිරවී තිබූ කඳුළු වක්කඩ කැඩුවා සේ දෝරේ ගලා එන්නට විය. තරුණ ජවය ආවේ­ග­ශීලී බවට නැඹු­රු­වෙයි. ඒත් දරුවා සමා­ජ­යට තාඩන පීඩන නොකළ අයෙකි. ඔහු නීතියේ රැහැ­නට අසුවී ඇත්තේ කිනම් වර­දක් නිසාද?

“ගල­පිට කන්දෙ ලොකු මහ­ත්තය පඩි සල්ලි අර­ගෙන එන­කොට පැහැ­ර­ගෙන තියෙන්නෙ අර මිනි­හලු”

මිනිස්සු ඔහු දෙස බල­මින් එසේ කතා­බහ වෙති. ඔහු කූඩුව තුළ වූ ගෝරි­ල්ලකු බඳුය. මද්දු පේන­තෙක් මාන­යක නැත.

බැණුම් ඇහු­වත් කමක් නෑ. අන්න අර අත­නින් අහල බලන්න ඕනෑ.

ජය­වතී මේස­යක් ළඟ වාඩි වී සිටි පොලිස් නිල­ධ­ර­යකු වෙතට කිට්ටු කළාය.

“පුතා අරන් ආව කියල පණි­වි­ඩ­යක් ලැබුණ. ඩිංගක් බලන්ඩ පුළු­වන්ද?”

ජය­වතී ඕනෑ­ව­ටත් වඩා බැගෑ­පත් වූවාය.

“ඩිංගක් බලන්ඩ...?

කොහො­මද ඩිංගක් බලන්නෙ....?”

ඔහුගේ කට­හඬේ  උප­හා­සා­ත්මක බවක් ගැබ්වී තිබිණි.

“හ්ම්! වාඩි­වෙලා ඉන්ට බැහැ”

හෙතම යළිත් ගෝර­නාඩු කළේය. ඉදි­රි­යෙන් ඇත්තේ පටු දොරකි. වම් පැත්තේ ඇති බංකු­වක් මතට වී අල­ස­බ­වින් යුතුව බිත්ති­යට හේත්තු වී දෙනෙත් පියා­ගෙන සිටින කොලු­ගැ­ට­යකු ජය­වතී දුටු­වාය. ඔහු මුළු ලෝක­යම එපා වූවකු සේ එහි රැඳී සිටියි. මේ ළා බාල කොලු ගැටයා නීතියේ රැහැ­නට හසු­වූයේ කිනම් වර­දක් කළ නිසා ද?

“මේ... මේ... ළමය.... ඉල­න්දාරි ළම­යින් දෙන්නෙක්ව මේ පැත්තට අරන් ගියාද?” කොලුවා අල­ස­ක­මින් ම තමා දෙස බලනු ජය­වතී දුටු­වාය.

“කවුරු කීව....” කොලුවා ඇඟට හිර­වුණ සායම් ගිය කොට කලි­ස­ම­කින් හා ටී ෂර්ට­ය­කින් සැරසී සිටියි. ඔහුගේ එක් පාද­යක් රබර් සෙරෙ­ප්පුව මත තබා සිටි­යේය.

“දැන් ටික­කට කලින් තරුණ ළමයි දෙන්නෙක්ව මෙහාට ගෙනා­වද?”

කොලු­ගැ­ටයා දෑස පිස­ද­ම­මින් නිහ­ඬව සිටියේ කිසි­වක් තේරු­ම්ගත නොහැක්කා සේය.

“අන්න අර­හෙට ගියා”

කොලුවා පැව­සූයේ ඕනෑ­වට එපා­වට ය. ජය­වතී කොලුව අත දිගු­කළ දෙසට නෙත් හරවා බලා සිටි­යාය.

මේ කොලු­ගැ­ටයා මෙසේ ගෙනැ­විත් ඇත්තේ කුමන වර­දක් නිසාද? ‍මද්දු ගැන පූර්ව නිග­ම­න­ය­කට බැසී­මට ඇය කල්පනා කළේ ඒ ඔස්සේ ය.

“ඔය ළම­යව ඇයි මෙහාට ගෙනාවෙ?”

“ඊයෙ පෙර­හැ­රනෙ, ගනේ­වත්තෙ දේවාලෙ පෙර­හැර. පෙර­හැර එන­කොට එක­දෙක වුණා. මට එහෙ­මම නින්ද ගියා. පාන්දර කිට්ටුවෙ නිදා­ගෙන ඉද්දි මාව ජිප් එකට දාගෙන ගියා.” කොලුවා ඇය සමඟ කුලු­පග වූවා සේය.

“ඉතින් මොකක් කිය­ලද නඩුව ෆයිල් කරල තියෙන්නෙ?”

“දෙයියො තමයි දන්නෙ.”

“අම්මල හොයන්න බලන්න ආවෙ නැද්ද?”

“මට කාත් කවු­රු­වත් නෑ නෝන.” කලින් පැවති කුසීත බව වෙනු­වට කොලු ගැටයා වෙතින් දිස්වූයේ අහිං­සක බවකි. මොහු පව­සන දෙය කිසි­වකු විසින් විශ්වාස නොක­රනු ඇත. ජය­වතී පයක් ඉදි­රි­යට තබා අනික් පස වූ කොරි­ඩෝ­ර­යට හිස පොවා බැලු­වාය.

“අම්මෙ.......”

ඒ මද්දුගේ හඬය. කොයි දේශ දීපං­කරේ ගියද හඳු­නා­ගත හැකි මද්දුගේ කට­හඬ. ප්‍රීතිය ද ශෝකය ද එක්ව අත්වැල් බැඳ­ගත්තා වැනිය.

“දෙයි­යනේ, මොන­වද කර­ගත්තෙ?”

දෙමෝලේ පිටි කොටන්නා සේ ඇගේ හද­වත ගිඩි ගිඩි ගා ගැහෙයි. දෙවි­යන්ට පින් සිදු­ව­න්නට දෙදෙ­නාගේ දෑත නිද­හස් ය.

“ඇන්ටි බල­න්ඩකො....”

මද්දුගේ සගයා ජය­වතී හා කතා­වට සැර­සෙයි. ඈ නුරු­ස්සන ලීලා­වෙන් ඔහු දෙස රවා බැලු­වාය.

“මොන­වද දෙන්න­ත්තෙක්ක කර­ගත්තෙ?” මද්දු ගොත­ග­සන්නා සේ කතා කිරී­මට වචන අහු­ලයි.

“අපිව ගෙනාවෙ නං බයික් එකේ නොම්මර තහඩු නෑ කියල.”

“ඔව්! ඉතින් ඒකෙ වැරැ­ද්දක් නෑ. මොකද මෙතන ඉන්නෙ බාප්ප­ලයැ”

ජය­ව­තීගේ ඇඟට ලේ බිඳු­වක් උණා ආවේ මෙතැන බර­ප­තළ අප­රා­ධ­යක් දැක­ගත නොහැකි වූ නිසාය.

“නෑ! නෑ! දැන් යන්නෙ වෙන කේස් එකක්.” මද්දුට ජය­වතී දැකී­මෙන් යම්කිසි සහ­න­යක් ලැබුණා සේය. ඒත් දෙදෙ­නාම බය බිරාන්ත වී සිටිති.

“ඒ මොකක්ද?”

ජය­ව­තීගේ පපුව හෝස් ගා පත්තු වෙයි.

“පාරෙ යන අයගෙ මාල කඩා­ගන්ඩ ආව කියල.”

“දෙයි­යනේ! සීව­රම් දෙවි හාමු­දු­රු­වනේ! ඒ කතා­වට සහ­ග­හන්ඩ ඕනැ”

මද්දු ඉල්ලන මුද­ලක් ඇතොත් එයද අල්පය. එයට වඩා වැඩි­පුර සත­ය­ක්වත් ඔහු නොඉ­ල්ලයි. දැන­ට­මත් මද්දුගේ කරේ මාල­යක් ඇත. එය ජය­ව­තීගේ මවගේ ගෙල පැළඳි මාල­යයි. තමාගේ මව, හෙවත් මද්දුගේ ආත්තම්මා සතු මාල ගොඩක් පෙට්ට­ගම පතුලේ සාරි පට­වල් අතර සඟවා ඇත. මේ මාලය මද්දු විසින් අයත් කර­ගත් දිනය ජය­ව­තීට සිහි­පත් වෙයි. මද්දු ආත්ත­ම්මාගේ මාලය ආසා­වෙන් අත­ගා­මින් සිටි­යදී ඇය පැවසූ වදන් ජය­ව­තීට තව­මත් මත­කයේ රැඳී පව­තියි.

“මාලෙ දෙන්නම්කො ගෑනි­යෙක් ගේන­කොට....”

මද්දු ඉන් සෑහී­මට පත්වෙයි.

මද්දු හුර­තල් වය­සේය. ඔහු ඇයට මෙසේ කියයි.

“පුතා මාල දාන්නෙ ගෑනි ගේන­කො­ටනෙ”

එදා හැමෝම ඒ කතා­වට සිනා­සුන හැටි ජය­ව­තීට මත­කය. හිනාව කන­පිට හැර වී ඈ දෙතොල් වෙව්ලයි.

“එතන අපේ ගේ ළඟ පාරනෙ. අපි ස්ලෝ කළේ හර­වන්න. ඒ වෙලාවෙ වැඩ­පළේ විවේ­කය. ගෑනු ළමයි රංචු­වක්ම ගියා.”

ජීප් එකත් අපි පස්සෙන් ආවෙ නම්බර් ප්ලේට් නැති නිසයි. ඒත් තවත් නඩු­ව­කුත් පැට­ලුව. ඔහොම ගිහින් තමයි මාල කඩන්න ආවෙ කියල.”

“ඉතින් උන්ගෙ කරේ මාල තිබු­ණද?”

“කවුද දන්නෙ මොන කෙහෙ­ල්ම­ලක් තිබු­ණද කියල.”

මද්දුගේ යහ­ළුවා පැව­සුවේ අහක බලා­ගෙ­නය. මද්දුගේ ද යහ­ළු­වාගේ ද ගෙල බැඳි මාල දෙක කර­වටා දිලි­සෙ­මින් ඇති අයුරු ඕ දුටු­වාය. දැන් කළ යුත්තේ තර්ක කිරීම නොව දරු­වන් නිද­හස් කර ගැනී­මට මඟක් සෙවී­මය. දෙතොල තෙමා ගන්නට වතුර උගු­ර­ක්වත් නැතිව තාමත් බංකුව මත වාඩිවී සිටි ඉල­න්දාරි දෙන්නා දකි­න­විට ඇයගේ පපුව කඩා බිඳ­ගෙන යන්නා සේ දැනෙයි.

“කාටද කියන්නෙ? තාත්තට මේව කිව්වොත් බයි­ක්වල යන­වට මට්ටු­වක් විඳ­පු­වාවෙ කියයි.”

ඇයට එක­ව­රම සිහි­යට නැඟුනේ අසංග ය.

පොලිස් නිල ඇඳු­මෙන් ම පාසලේ ගේට්ටුව අස­ළට එන රාම­නා­යක මහතා ඉන් ඔබ්බදී පුතා ඇයට බාර දී නික්ම යයි. අකා­ලයේ මිය ගිය මෑණි­යන්ගේ වියො­වින් කඳුළු සැලූ අසංග තමාගේ සාරි පොටේ උණු­සු­මින් හිත හදා­ගත් හැටි ජය­ලතා මෙනෙහි කළාය. නිමේ­ශ­ය­කින් ඇයට සිහි­පත් වූයේ ඔහුගේ ප්‍රතා­ප­වත් රූප­කා­යයි. රාම­නා­යක මුණ ගැහු­ණොත් නං උප­දේ­ශ­යක් ගන්ට පුළු­වන් වෙයි.

ඈ පෙරලා පැමි­ණියේ මුර­කු­ටිය වෙත­ටය.

“රාම­නා­යක රාල­හාමි ඉන්න­වද?”

“රාල­හාමි කෑම පැයට ගෙදර ගියා....”

එසේ නම් තමා රාම­නා­යක සොයා ගෙදර යා යුතුය. ඔහු රාජ­කා­රි­යට පැමි­ණෙ­නුයේ බයි­සි­ක­ල­යෙනි. නිච්චි­ය­ටම මේ ඉසව්වේ යැයි ඇය නොදැන සිටි­යත් කාගෙන් හෝ අසා­ගෙන එහි යා හැකිය. පොලී­සියේ මහ­ත්තුරු ඔළු­වෙන් හිට­ගෙන කිව්වත් පට­ල­ව­න්නට යන නඩුව නිර­ප­රාද එකක් බව ජය­වතී සහ­සු­ද්දෙන් ම දන්නීය. අවට මිනි­සු­න්ගෙන් වංහුං අසා ගත් පසු ජය­වතී ගෙද­ර­ටම පැමි­ණි­යාය. දිවා ආහා­ර­යට පසුව රාම­නා­යක විවේක සුව­යෙන් පසු­වෙයි.

“හරි කර­ද­ර­යක් වෙලා රාල­හාමි. ඒකයි මං ආවෙ....”

රාම­නා­යක ඇගේ පැමි­ණිල්ල අසා සිටි­යාය.

“ටීචර් යන්න. මං එන්නම්.”

දැන්නම් සියල්ල කර­ද­ර­යක් නොවී විස‍ඳෙන බවට සහ­ති­කය. ආපසු ‍පොලීසි­යට පැමි­ණෙන විට ඇයගේ සිත සැහැ­ල්ලු­වට පත්වී තිබුණි. ඇය පැමිණ බොහෝ­වේලා ගත වුවද රාම­නා­යක දක්නට නොලැ­බුණි. බංකුව මත වාඩිවී සිටි කොලු ගැටයා ද පෙනෙ­න්නට නැත. ඌ ගෙදර ගියාද? නොඑසේ නම් සිර කූඩු­වේද? ජය­වතී පත්තිනි දෙවි­ය­න්ටත්, ගම්භාර සූනි­යම් දෙවි­ය­න්ටත් සිතින් සිතා යැද පඬුරු වෙන් කළේ රාම­නා­ය­ක­ලාගේ නිව­සට යන අත­ර­වා­ර­යේය.

“අන්න ඔහේට ලොකු­ම­හ­ත්තය කතා කර­නව.”

ඇමතූ සේව­කයා ද ඉහ­ළින් ආ රැස් පෙන්වා කතා කළේ ජය­වතී තුට්ටු­ව­ක­ටත් වඩා ගණ­න­කට නොගෙ­නය. රාම­නා­යක ද ඒ අසල හිට­ගෙන සිටි­යේය.

“මේක බර­ප­තළ වැරැ­ද්දක්. කෝ නොම්මර තහ­ඩුව?”

“කාඩ්බෝඩ් එකක ලියල ගහ­ගෙ­නයි ආවෙ....”

මද්දු පැව­සුවේ බිඳුණු හඬින් යුතු­වය. හැලෙ­න්නට ඔන්න මෙන්න කියා තිබි­යදී ගල­වා­ගත් කොළ කැබැල්ල ලොක්කාට ඉදි­රි­පත් කළේ ද රාම­නා­යක ය.

“මුකුත් තිබුණෙ නෑ සර්... කොළ කෑල්ලක් වාගෙ එකක් එල්ලිල තිබුණ. ඒ කාඩ්බෝඩ් කැබැල්ල පොඩි වී දුර්වර්ණ වී තිබිණ. නොම්මර තහ­ඩුව නැතිව රිය පැද­වීම බල­වත් වර­දක් බව ජය­වතී දනියි. මද්දු ජය­ව­තීගේ වැල­මිට තද කළේය. ජය­වතී විම­සි­ලි­මත්ව ඔහු දෙස බැලුවේ ප්‍රශ්නා­ර්ථය දල්ව­මින්ය.

“අම්මේ, මෙයා තමයි අපිව බොරු නඩු­ව­කට පට­ල­වන්ඩ හැදුවෙ. කෙල්ලන්ගෙ මාල කඩා­ගන්ඩ ගියා කියල.”

මද්දු රාම­නා­යක දෙස බලා ඉඟි කළේය.

ඔවුන් කළ වර­දට දඬු­වම් ලැබී සාධා­ර­ණය. එහෙත් නොකළ වර­ද­කට අසු­වීම චරිත ඝාත­න­යට ලක්වී­මකි.

“ඔහෙ මොන­වත් තිබුණෙ නෑ සර්... මේ.... කොළ කෑල්ල­ක්වත්....” ඒ වචන අව­ටින් නින්නා­ද­වන්නා සේ ඇයට දැනුණි.

“මේ ළම­යින්ගෙ කර­ද­ර­යක් කියල ආරංචි වුණා....”

දෙවි­යන්ට පින්සිදු වේවා! ජය­ව­තීගේ ඇඟට ලේ වුණා ආවේ දැන්ය.

පොලී­සියේ ලොකු මහ­ත්තයා හා ජය­ව­තීගේ එකම මල­ණු­වන් සුහද කතා­බ­හක යෙනෙ හැටි ඈ තුන්හි­ත­කින් වත් නොසිතූ දෙයකි. ගරා­ගෙන අතට අසුවූ මැණි­කක් හදි­සියේ ම සැඩ පහ­ර­කට අසු වී ගියා සේ රාම­නා­යක දෝම­නස්ස සහ­ග­තව බලා සිටින අයුරු ජය­වතී දුටු­වාය.

“දෙන්න හයි­යෙන් ආවද?”

“නෑ! සර්, හෙමීට ඇවිත් අයින් කළා.....” මද්දු කියයි.

“ඒ අපේ ගෙද­රට යන පාර. පාර අයි­නට කළේ යාළු­වට බහින්න.” මද්දුගේ යහ­ළු­වාගේ බාහිර පෙනුම දඩි­බි­ඩිය. ගොරෝ­සුය.

“මේ ළමයි කරල තියෙන්නෙ වැරදි වැඩක්. වෙන චෝදනා මුකුත් නෑ. මීට පස්සෙ නොම්මර තහඩු නැතිව යන්න බෑ.”

“පී.සී. දෙනව ඕක ළම­යින්ට”

මල්ලී නොඑ­න්නට මේ නඩුවේ දෙවන චෝද­නාව ද ක්‍රියා­ත්මක වන්නට ඉඩ තිබුණි. රාම­නා­ය­ක­ගෙන් තමා සමු­ගත යුත්තේ කවර ආකා­ර­යෙ­න්දැයි ඇයට සිතා­ගත නොහැකි විණ. ඔවුහු පොලී­සියේ භූමි භාගයේ කෙළ­ව­රට පැමි­ණි­යෝය. 

ඔද­තෙද බිඳුණ හස්ති රාජ­යකු සේ මෝටර් සයි­ක­ලය පසෙ­කින් දිස්වෙයි. වාහ­න­යට ගොඩ­ව­න්නට මල්ලි කළ ඇර­යුම ඇය ප්‍රති­ක්ෂේප කළේ, තනි­ව­න්නට ඇයට ඇති ඕනෑ­කම නිසාය.

“මල්ලි යන්න. මං එන්නම්. අයි­යත් මෙල­හට එනව ඇති.”

“පුතේ, මාමා කොහො­මද දැන­ගත්තෙ?”

“අම්ම නැති වෙලාවෙ... මගෙ යාළු­වෙක් ආව. මං මාමාට පණි­වි­ඩ­යක් ඇරිය.”

මද්දු ප්‍රීති ප්‍රමෝ­ද­යෙන් යුතුව ඈ දෙස බලා සිනා­සු­ණේය. 

උණ­හ­පුලු පැටවා ද මවට මැණි­කකි. මද්දු උණ හපුලු පැට­වකු නොව මාණි­ක්‍ය­යකි. මෝටර් සයි­ක­ලය තල්ලු කර­ගෙන පාරට අව­තීර්ණ වූ දෙදෙ­නාම වට රවුම කර­කැවී වේග­යෙන් පිඹ­ගෙන යන අයුරු ජය­වතී බලා සිටි­යාය.

Comments