ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසුව පවත්වන සුවිශේෂම මැතිවරණයක් ලබන බදාදා රට පුරා පැවැත්වෙයි. අපේ රටේ මෙතෙක් පැවැත්වුණු සෑම මැතිවරණයකම ඡන්ද ගණන් කිරීම මැතිවරණ පවත්වන දිනයේ ම සිදු කළ නමුත් මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම කරනු ලබන්නේ පසුදින වීම එම විශේෂත්වයයි.
1989 දී ජවිපෙ භීෂණ මැද හා එල්ටීටීඊ තර්ජන මත පැවැත්වූ ඡන්දයේදීවත් ඡන්ද ගණන් කිරීම පසුදින දක්වා කල් නොදැමුණු බව අපට මතකය.
කොරෝනා තර්ජනය නිසා ඡන්ද ගණන් කිරීම පසුදින කරන අතර ඒ අනුව ප්‍රතිඵල ලැබීම 6 වැනිදා රාත්‍රිය දක්වා ප්‍රමාද වීමට ඉඩ තිබේ.
මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයන් 16263885 ක් ඡන්ද පාවිච්චි කිරීමට නියමිත අතර මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 70 ක් හා ස්වාධීන කණ්ඩායම් 304 මගින් අපේක්ෂකයෝ 7452 ක් ඉදිරිපත් වී සිටිති.
මෙම මැතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්ක පදනම මත මන්ත්‍රී ධූර 196 ක් ද ජාතික මට්ටමින් ලැබුණ ඡන්ද ගණන අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29 ක් ද තෝරා පත්කර ගනු ලැබේ. ඒ අනුව මෙවරත් පාර්ලිමේන්තුවට පත්වෙන මන්ත්‍රීවරුන් ගණන 225 කි.
මෙම සමානුපාතික මැතිවරණ ක්‍රමය අනුව අපේ රටේ පැවැත්වූ මහ මැතිවරණ 7 න් 2/3 ක ආසන්න බලයක් ලැබුණු එකම අවස්ථාවක් පමණක් ඇත. ඒ 2010 මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව එජනිස ඇතුළු පොදු සන්ධානයට බලය ලැබුණු අවස්ථාවයි. ඒ ඡන්දයේදී ඔවුහු ආසන 144 ලැබූහ.
අපේ රටේ 2/3 ක බලයක් ගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 150 ක් ලබාගත යුතුය.
සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ වැඩි ඡන්ද බලයක් ලැබී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඒ 1989 මහ මැතිවරණයේ දී එජාප මන්ත්‍රී ධූර 125 ක් ලබාගත් අතර 2010 දී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය මන්ත්‍රී ධූර 144 ලබා ගත්තේ ය. මෙහිදී ශ්‍රීලනිප සන්ධානය මන්ත්‍රී ධූර 144 ලබාගනු ලැබුවේ 2009 දී වසර 30 කට අධික කාලයක් අපේ රටේ තිබුණු එල්ටීටීඊ යුද්ධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මෙහෙයවීම මත සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමීම නිසා ය.
අප මෙහිදී දක්වා ඇති පරිදි 1989, 1994, 2000, 2001,2004, 2010, 2015 යන මහ මැතිවරණ සියල්ලගෙන් 2010 හා 1989 හැරුණු විට අන් කිසිම මැතිවරණයකදී බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ප්‍රධාන පක්ෂ දෙකේ එකකටවත් ලැබුණේ නැත. ඒ නිසා ජාතිවාදී පක්ෂ සමඟ එක්වූ හවුල් හා ‘යහ පාලන’ ආණ්ඩු පිහිටුවීමට ප්‍රධාන පක්ෂවලට සිදුවිය.
කෙසේ වුවත් 2020 මහ මැතිවරණය පිළිබඳ විග්‍රහ කිරීමේදී 2015 ජනාධිපතිවරණය 2015 මහ මැතිවරණය 2018 පළාත් පාලන මැතිවරණය හා 2019 ජනාධිපතිවරණය පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුව ඇත.
2015 මහ මැතිවරණයෙන් එජාප සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 2015 ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා 6% ක් අඩුවූ අතර ශ්රීලනිපය ප්‍රමුඛ සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව ද 5% අඩුවී තිබුණි. ඒ අනුව 2019 ජනාධිපතිවරණයට වඩා මෙවර මහමැතිවරණයේදී එජාපයට, සමගි ජනබලවේගයට හා පොදුජන පෙරමුණට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවීමට ඉඩකඩ ඇත.
2018 පළාත් පාලන මැතිවරණයේදී එජාප ඡන්ද සංඛ්‍යාව 16% කින් අඩුවී තිබුණි. නමුත් 2019 ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ හා එජාපය පළාත් පාලන ඡන්දයට වඩා ඡන්ද ලබාගෙන තිබුණි. (වගු බලන්න)
2019 මැතිවරණ ප්‍රතිඵල අනුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 6924255 ක් ලැබුණි. සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණේ ඡන්ද 5564239 ක් පමණි. මේ ප්‍රතිඵල අනුව සංඛ්‍යාත්මක ලෙස ගණනය කළහොත් පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 112 ක් ලැබීමට ඉඩ තිබේ. ලැබුණු ඡන්ද සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 15 ක් ලැබීමට ද අවස්ථාව ඇත. ඒ අනුව පොදුජන පෙරමුණට 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව බලන්නේ නම් සංඛ්‍යාත්මකව ලැබෙන මන්ත්‍රී ධූර ගණන 127 කි.
2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව එජාපය, සමගි ජනබලවේගය, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොන්ග්රසය, සමස්ත ලංකා මහජන කොන්ග්රසය ඇතුළු එජාප සන්ධානයට ඇතුළත් සියලුම පක්ෂ ලබාගෙන ඇත්තේ ඡන්ද 5564239 පමණි. ඒ අනුව ඒ ඡන්ද ප්‍රමාණය සමානුපාතික මහ මැතිවරණයකට අනුව බැලුවහොත් ඉහත සියලු දෙනාම එකට එක්වී ඡන්දය ඉල්ලුවා නම් ලබාගත හැකි මන්ත්‍රී ධූර ගණන 84 කි. එයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 13 - 14 ක් ලැබෙනු ඇත. ඒ අනුව ඒ අය එකට එක් වී ඉල්ලුවා නම් සංඛ්‍යාත්මකව ලබාගත හැකි උපරිම මන්ත්‍රී ගණන 97 කි.
එසේ වුවත් 2019 ට වඩා අද රටේ දේශපාලන තත්ත්වය බොහෝ වෙනස්ය. 2019 ජනාධිපතිවරණය පැවැත්වූයේ එජාප සන්ධාන රජයේ බල පරාක්‍රමය යටතේ ය. ඒ ඡන්ද සමයේ පොදුජන පෙරමුණ සන්ධානයෙන් තරග කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට නඩු පිට නඩු පවරා අසත්‍ය චෝදනා නඟා අපහාස උපහාස සිදු කරනු ලැබීය. ඒවා මගින් හා විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ද ජනතා සිත් සතන්වලට එතුමා පිළිබඳව බරපතළ ලෙස වැරැදි වැටහීම් ඇති කිරීමට උත්සාහ කළේ ය. ඒ සමඟම පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට ද පසුගිය යහපාලන සමයේ විවිධ අයුරින් බාධා කරන ලදී.
ඒ සමඟම අද කොමිසන් මගින් හෙළිවන ආකාරයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් කෝටි ගණන් යොදාගෙන මැතිවරණය ඉලක්ක කරගෙන ඥාති සංග්‍රහ, හිතවත් අයට රැකියා ලබාදීම, අනවසර අයුරින් විවිධ අයට ද්‍රව්‍ය හා මුදල් ආධාර ලබාදීම මගින් එජාප සන්ධානයට ජනතාව ඡන්දය දීමට අයුතු ලෙස පොලඹවීමට විවිධ කටයුතු කරන ලදී. ඒ අනුව එදා එජාපයට ඡන්දය දුන් විශාල පිරිසක් අද සත්‍ය අවබෝධ කරගෙන යළි එජාපයට ඡන්දය දෙන් නැති බව පවසති.
නමුත් ඉහත අයුරින් 2019 ඡන්දයේදී එදා එජාප සන්ධානය භීෂණය පැතිරුවත් අද සිදුවී ඇත්තේ එජාප සන්ධානයෙන් තරග කළ පක්ෂ සියල්ල මෙවර මහ මැතිවරණයට වෙන වෙනම කැඩී සී සීකඩ විසිරී ඡන්දය ඉල්ලීමයි.
ප්‍රධාන ලෙසම 2019 එජාප සන්ධානය අද එජාපය හා සමගි ජන බලවේගය ලෙස ප්‍රධාන කොටස් දෙකකට කැඩී ඡන්දය ඉල්ලති. ඒ නිසා පාක්ෂිකයෝ අන්ද මන්දව සිටිති. ඊට අමතරව ද්‍රවිඩ සන්ධානය යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, වන්නි, දිගාමඩුල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට වෙනම තරග කරති. මඩකලපුවට මුස්ලිම් කොන්ග්රසය වෙනම ඡන්දය ඉල්ලයි. සමස්ත ලංකා මහජන කොන්ග්රසය දිගාමඬුල්ලට වෙනම පක්ෂයක් ලෙස ඡන්දය ඉල්ලා ඇත.
මේ සියලු කාරණා දෙස බලන විට මෙවර එජාපයට හා සමගි ජන බලවේගයට ලැබෙතැයි අපේක්ෂා කළ හැකි මන්ත්‍රීවරු ගණන 60 – 70 අතර ගණනක් වනු ඇතැයි දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව පොදුජන පෙරමුණ පරාජයට පත්වූ දිගාමඬුල්ල, නුවරඑළිය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල බහුතර ඡන්ද සංඛ්‍යාව මෙවර 2020 මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණට ලැබීමට සම්භාවිතාවක් තිබේ. එවිට ඒ දිස්ත්‍රික්කවල බෝනස් ආසනය ලැබෙන්නේ පොහොට්ටුවටය. එයට හේතුව 2019 දී එම දිස්ත්‍රික්කවල වැඩි බහුතරය ලැබූ එජාප සන්ධානය මෙවර පක්ෂ 4 – 5 කට කැඩී වෙනම ඡන්ද ඉල්ලීම නිසා ය. ඒ අනුව මෙරට දිස්ත්‍රික්කවලින් යාපනය, වන්නි, මඩකලපුව හැර අන් සියලු දිස්ත්‍රික්ක 19 ම බෝනස් ආසනය ලැබෙන්නේ පොදුජන පෙරමුණට බව මේ අලුත් තත්ත්වය අනුව පෙනී යයි.
ඊට අමතරව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශී හා ජනතා හිතකාමී ක්‍රියා කලාපය හා එතුමා පසුගිය මාස 8 තුළ මෙරට ක්‍රියාත්මක කළ කාර්ය භාරය අනුව 2019 වඩා ජන ප්‍රසාදයක් අද පොදුජන පෙරමුණට අපේ රටේ සියලු ජනතාවගේ සිත් සතන් තුළ ඇත.
කොරෝනා රෝගය මැඬ පැවැත්වීමට එතුමා ගත් ලෝකයේ ම අගය කිරීමට ලක්වූ සුවිශේෂී වැඩපිළිවෙළ ඒ අතර ප්‍රමුඛය.
අසල්වාසී අපට වඩා දියුණු රොකට් හා මිසයිල යවන ඉන්දියාව කොරෝනාවෙන් දවසට 500 වඩා ගණනක් මැරෙද්දී අපේ රටේ කොරෝනා මරණ ගණන 11 ට සීමා කරමින් හා රෝගීන් ගණන 2800 මට්ටමට තබා ගනිමින් සිදු කරගෙන යන සුවිශේෂී වැඩපිළිවෙළ මෙතෙර සිටින හා එතෙර සිට මෙහි පැමිණි ශ්‍රී ලාංකිකයෝ වැඩි පිරිසක් අගය කරති.
ඊට අමතරව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඇමැති මණ්ඩලය සීමා කිරීම මැති ඇමැතිවරුන්ට වාහන මිලදී ගැනීම් නතර කිරීම, උපාධිධාරී හා රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ 2කට රැකියා ලබා දීම අනවශ්‍ය වියදම් සීමා කිරීම, පාතාලය, මත්කුඩු උවදුර, මත්ද්‍රව්‍ය වැටලීම් කිරීම, බන්ධනාගාරයේ හා පොලිසියේ අක්‍රමිකතා සෙවීම ආදී කටයුතු නිසාත් පසුගිය 2019 ජනාධිපතිවරණයේදී සජිත් මහතාට ඡන්දය දුන් පිරිසක් මෙවර පොහොට්ටුවට ඡන්දය දීමට අපේක්ෂා කරති.
ඒ සමඟම මහ බැංකු වංචාව, පාස්කු ප්‍රහාරය, දේශපාලන පළිගැනීම් ආදිය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළි කිරීම, යහපාලන රජය සංස්කෘතික අරමුදලේ මුදල් මිලියන 13000 ක් පමණ අවභාවිතය හා පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳව ඇහැ කන පියාගෙන සිටීම මෙන් ම පසුගිය රජයේ වාණිජ කටයුතු අමාත්‍යාංශය කළ කෝටි ගණන් දූෂණ හෙළිවීම නිසා ද පොදුජන පෙරමුණට ලැබෙන ඡන්ද ප්‍රමාණය 2019 ට වඩා මෙවර වැඩිවීමට ද එජාපයට හා සමඟි ජන බලවේගයට ලැබෙන ඡන්ද අඩු වීමටද ඉඩ ඇත.
ඒ අතර මෙවර සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එජාපය දෙකට කඩාගෙන තරග කිරීම නිසා කනගාටුවට හා කලකිරීමට පත්වූ බහුතර එජාප පාක්ෂිකයන් පිරිසක් මෙවර කිසිම අයකුට ඡන්දය නොදී වර්ජනය කිරීමට ද සූදානම්ව සිටින බව දැනගන්නට ඇත.
මේ සියලු කරුණු සලකා බලන විට සමස්ත ලෙස මෙවර 2020 මහා මැතිවරණයෙන් පොදුජන පෙරමුණට පොහොට්ටුවට විශාල බහුතරයක් ලැබෙන බව පැහැදිලිව පෙන්නුම් කරයි. ඒ අනුව ඉහත සියලු කරුණු අනුව පොදුජන පෙරමුණට මෙවර 2020 මහ මැතිවරණයේදී මන්ත්‍රීවරු 130 – 140 අතර ගණනක් ලැබීමට බොහෝ ඉඩ කඩ තිබෙන බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
මෙවර ජනතා විමුක්ති පෙරමුණට 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව නම් සංඛ්‍යාත්මකව ලැබිය යුතු මන්ත්‍රීවරු ගණන 1 කි. ඒ අනුව ජවිපෙට වැඩිම වුණොත් මන්ත්‍රීවරු දෙදෙනෙක් 2020 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යැවීමට ඉඩකඩ හිමිවීමට පුළුවන. ඊට අමතරව ද්‍රවිඩ සන්ධානයට මන්ත්‍රීවරු 14 – 17ක් හා මුස්ලිම් පක්ෂවලට මන්ත්‍රීවරු 3 – 4ක් ලැබීමට ඉඩකඩ ඇතැයි උපකල්පනය කළ හැක.
කෙසේ වුවත් මේ ගණනය කිරීම් හුදෙක් සංඛ්‍යාත්මක දත්ත මත කළ විග්‍රහයක් බවත් අවසාන ලෙස කිව යුතුව ඇත.