ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් සිව්වැනි ස්ථානයට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ හදිසි අනතුරුවලිනි. වයස අවුරුදු 15 - 44 වයස් සීමාව තුළ සිදුවන මරණවලට ප්‍රධානම හේතුව වන්නේ ද රිය අනතුරු බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකය මඟින් නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. සෑම වසරකම ප්‍රතිකාර සඳහා රෝහල්ගතවන පස් දෙනෙකුගෙන් එක් අයකු හදිසි අනතුරකට මුහුණ දුන් අයකු බව සමීක්ෂණ වාර්තා පෙන්නුම් කරන අතර ලංකාවේ සිදුවන රිය අනතුරුවලින් දවසකට මරණයට පත්වන සංඛ්‍යාව 6 දෙනෙකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මාර්ග අනතුරක් හේතුවෙන් සෑම තත්පර 25ට වතාවක් ලෝකයේ කොතැනක හෝ ජීවිතයක් අහිමි වෙයි. මෙයිනුත් මැදි ආදායම් ලබන රටවල තත්ත්වය භයානකය.
දත්ත අනාවරණයන්ට අනුව පසුගිය වසර 35 තුළ මෙරට මහමඟ සිදුවූ අනතුරුවලින් මිනිස් ජීවිත 40,000ත් රටට අහිමි වී ඇති බව මාර්ග අනතුරු සම්බන්ධ පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ සඳහන්ය. එයට අනුව දිනකට ජීවිත 5 - 6 අතර ගණනක් රටට අහිමි වෙයි. 1977 සිට 2012 දක්වා කාලයේ මාර්ග අනතුරු සලකන විට මියගිය ගණනට අමතරව 370,000ක් තුවාල ලබා ඇති අතර 68,440ක් බරපතළ අකර්මන්යතාවලට ගොදුරු වන බව පැහැදිලිය.
මාර්ග අනතුරුවලින් මියගිය අය අතුරින් තුනෙන් දෙකක්ම අවු 21 - 45 අතර වෙති. මේ අතරින් සියයට අසූදෙකක්ම (82%) රැකියා කරමින් පවුල් නඩත්තු කළ අය වෙති.
වර්ෂ 2006 දී හදිසි අනතුරු හේතුවෙන් පදිකයන් 641 මියගිය අතර 2013දී එය 703 දක්වා ඉහළ ගියේය. අධික වේගය, බීමත්ව රිය පැදවීම, හෙල්මට් භාවිතයේ අඩුකම, වාහන ආරක්ෂිත පටි පැලඳ නොසිටීම හා දරුවන් වාහනවල රැගෙනයාමේදී සැලකිල්ලක් නොදැක්වීම යන කරුණු වැඩිම අනතුරු ගණනකට හේතුවී ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය කියයි.
අධිවේගී මාර්ගවල පවා නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කළ සෑම අවස්ථාවකදීම බරපතළ සිද්ධි වාර්තාවී ඇත. එහෙත් අධිකරණ තීන්දුවක් මගින් මහා මාර්ගයේ අධික වේගයකින් ගමන් කරන වාහනවලට නඩු පැවරිය නොහැක. කළ හැක්කේ අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දඩ මුදලක් අය කිරීමකි. එම සහනයද ඇතැම් රියදුරන් විසින් මාර්ගය අවභාවිත කිරීම පිණිස යොදාගෙන ඇත.
ලෝකයේ සංවර්ධිත රටවල වේග සීමා කැමරා සවිකර ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව හා එක්ව දඩ නියම කිරීම සිදු කරයි. එහිදී අධික වේගයෙන් එන වාහනය කැමරාවක සටහන් වන අතර, එය වරදක් නම් එහි ලියාපදිංචි අංකයට දඩය එකතු වේ. එහෙත් ලංකාවේ පවතින්නේ මීට වසර 30, 40 පෙර පැවති නීති හා වන්දි ක්රමයකි. එය මෙම අධිවේගී යුගයට නොගැළපේ.
ලංකාවේ රිය අනතුරු සම්බන්ධ වර්තමාන ප්‍රවණතාව පිළිබඳවරථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.කේ.ඒ. ඉන්දික හපුගොඩ මෙසේ පැවසීය. ‘ලංකාවේ රිය අනතුරු නිසා වසරකට 3000 පමණ පිරිසක් මිය යනවා. සාමාන්‍යයෙන් 2019 වසරේ මාරක රිය අනතුරු 3151 ක් සිදුවූ අතර, 2020 දී එය 2851 දක්වා අඩු වූයේ කොරෝනා සමයේ රථවාහන ධාවනය අඩුවූ නිසයි. රිය අනතුරු දිනපතාම වැඩිවීමට හේතු වන්නේ අනාරක්ෂිත රිය පැදවීම, අධික වේගය, බීමත්ව රිය පැදවීම, මාර්ග නීති පිළිනොපැදීම, අධික විඩාව ආදී කරුණු නිසයි. මේ සම්බන්ධයෙන් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය දැන් ක්‍රියාත්මක වෙනවා. රථවාහන මූලස්ථානය විසින් නීති පිළිබඳ දැනුවත් කිරීම් කරනවා. 2019 වර්ෂයේ රථවාහන නව නිවේදන වාර්තාවට අනුව 2017 මාරක රිය අනතුරු 2965ක්, 2018 දී 2994ක් හා 2019දී 2645 සිදුවී තියනවා. මෙම වසරේ මේ වනවිට මාරක රිය අනතුරු 2645ක් සිදුව ඇති අතර මෙම වසරේ මාරක රිය අනතුරු, බරපතළ තුවාල රිය අනතුරු, සුළු තුවාල රිය අනතුරු, අලාභ අනතුරු 30433ක් සිදුව තියනවා. මේ වසරේ මාර්ගය පරිහරණය කරන්නන් ලෙස පදිකයින් 776ක්, යතුරුපැදිකරුවන් 925ක්, පසුපැදිකරුවන් 237ක්, පාපැදිකරුවන් 204ක් රියැදුරන් 282ක්, මගීන් 405ක්, වෙනත් 10 සමඟින් 2839ක් මියගිහින් තියනවා.
යතුරුපැදි නිසා 2017 මරණ 1253ක් 2018 - 1247ක් හා 2019 - 1036ක් සිදුවී තියනවා. මෙම වසරේ ත්‍රීරෝද රථ නිසා මරණ 322ක්, ලොරි රථ නිසා 342ක් මේ වන විට සිදුව තියනවා. මෙම වාහන හේතුවෙන් මාරක අනතුරු, බරපතළ තුවාල, සුළු තුවාල හා අලාභ අනතුරු 30433ක් මේ වනවිට සිදුවෙලා. එය 2018 වසරේ 35845ත් 2017 වසරේ 37599ක් ලෙස සටහන් වුණා. වයස් ඛාණ්ඩ අනුව, මෙම වසරේ අවු: 41 - 45 අතර 270ත් 71ට වැඩි 600 අවු: 21 - 25 අතර 259ත් සිදුවුණා. වයස් ඛාණ්ඩ අනුව අවු: 21 - 25 අතර 3114ක් තුවාල ලබා තියනවා. අනතුරු සඳහා වගකිවයුතු රියදුරන්ගේ වයස් සීමාව ගත්විට මේ වසරේ මේ වනවිට 4155ක් වෙන්නේ අවු: 26 - 30 අතර වයස් ඛාණ්ඩයයි‘
මේ වසරේ වැඩිම මාරක අනතුරු එනම් 411ක් සිදුව ඇත්තේ ඉරිදා දිනවලයි. වෙලාව අනුව වැඩිම මාරක රිය අනතුරු සිදුවෙලා තියෙන්නේ. රාත්‍රි 8.00ත් 10.00ත් අතරයි. මාරක රිය අනතුරු 438ක් සටහන් වෙනවා. ඉස්සර කිරීම, වේගයෙන් පැදවීම, හැරවීමේදී සිදුවන අනතුරු, බීමත්ව රිය පැදවීම, යාන්ත්‍රික දෝෂ, පදිකයන්ගේ නොසැලකිල්ල හා වෙනත් හේතු ගත්විට අනතුරුවලට වැඩිපුරම හේතුවී ඇත්තේ වෙනත් හේතුයි. ඊට අමතරව වේගයෙන් රිය පැදවීම හා ඉස්සර කිරීම ගත හැකියි. රිය අනතුරුවලට හේතුවන වෙනත් හේතු ලෙස මාර්ගවලට පස්කඳු හා ගස් කඩාවැටීම්, අධික වර්ෂාව නිසා ලිස්සා යාම, නින්ද යාම, තෙහෙට්ටුව ආදිය ද දැක්විය හැකිය. එසේම රාත්‍රියේ කළු වර්ණය සහිත ඇඳුම් ඇඳගෙන පාර මාරුවීම ද තවත් කරුණකි.
ජපානය වැනි විදේශ රටවල නම් කුඩා කාලයේ සිට Life skills පාඨමාලා මඟින් පාරේ ගමන් කරන ආකාරය පවා කියා දෙයි. එසේම පිටරටවල අනතුරු සිදුවිය හැකි මාර්ගවල සුදු ඉරි යොදා (Thermo plastic) ඇත. ඒ මතින් වාහනයක් ගමන් කරන විට අමිහිරි ශබ්දයක් ඇතිවේ. එම නිසා රියදුරන්ට නින්ද ගොස් ඇත්නම් අවදි වේ.
ජපානය, ස්විඩනය වැනි රටවල මාර්ග අනතුරු වළක්වා ගැනීමට පැයට කි:මීටර් 30ක උපරිම වේගයත් පවත්වාගෙන යන අතර ලංකාවේ එය පැයට කි:මි: 70කි.
දිනපතාම සිදුවන මාරක හා බරපතළ රිය අනතුරු හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් රජය විශාල මුදලක් වැයකරන අතර එය ලංකාව වැනි නිදහස් වෛද්‍ය පහසුකම් ලබා දෙන රටකට විශාල බරකි. මේ සම්බන්ධයෙන් සිළුමිණට අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය මෙසේ කීවාය.
“මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා මහාමාර්ග අනතුරු 5447ක්, වැටීම් 5122ක්, ඉහළින් වැටීම් 891, නිවසේදී අනතුරු 3830, සේවාස්ථානයේ අනතුරු 3291, ක්‍රීඩා අනතුරු 819, හිංසන ක්‍රියා 2897, සියදිවි නසාගැනීමට තැත් කිරීම් 63ක්, වෙනත් අනතුරු 3830ක් ආදී හේතු නිසා රෝගීන් 28703ක් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ගත්තා. එයින් 10944ක් නේවාසිකව ප්‍රතිකාර ලබලා තියනවා. මෙයින් වැඩි පිරිසක් පිරිමි.
රිය අනතුරු වළක්වා ගැනීමට නම්, පදිකයන් වගේම වාහන රියදුරන් ද දැඩි ලෙස පරීක්ෂාකාරී විය යුතුයි. පිටරටවල නම් රෝග පුටු, අත්වාරු භාවිතා කරන අයට වෙනමම පදික වේදිකාවක් නිර්මාණය කරලා තියනවා. ඒත් ලංකාවෙ තාමත් එහෙම නැහැ. ඒ නිසා ප්‍රවේසම් වීම තමයි හොඳම දෙය. ස්වාභාවිකව සිදුවන අනතුරුවලට අමතරව මිනිසුන්ගේ වැරදි නිසා තමයි වැඩිපුරම අනතුරු සිදුවන්නේ.