සඳුන්ගෙන් අලුත් වැඩක් | Page 2 | සිළුමිණ

සඳුන්ගෙන් අලුත් වැඩක්

ඳුන් දොලමුල්ල යනු 'ඉස්කෝලෙට මං ආවා' ළමා සිනමාපටයේ නිෂ්පාදකවරයාය.ඉකුත් වසරේ තිරගතවූ එය සඳුන්ගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනයයි. ළමයින් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්නට වැඩි ප්‍රියතාවක් දක්වන සඳුන් තවත් එවැනි කාර්යයකට ඉකුත් දා මුල පුරා ඇත. ඒ පිළිබඳ සවිස්තරාත්මකව පවසන්නටයි සඳුන් මේ සූදානම.

'බේබි හබ්' කියලා ඇප් එකක් මම අලුතෙන් හැදුවා. එකට සමගාමීව එනමින්ම වෙබ්පිටුවක් සහ යූ ටියුබ් නාළිකාවක් ද පවත්වාගෙන යනවා. ළමයින්ට රසවිඳින්න පුළුවන් කතන්දර, ගීත රාශියක් ඒවාට ඇතුළත්. විශේෂයෙන් ළමයින්ගේ ආකල්ප දියුණුවන විදිහේ කතන්දර තමයි යොදා ගෙන තියෙන්නේ. 'කොන්ද නමාගෙන', 'හිංචි පිංචි හාවා', 'මොනවද මුත්තේ' වැනි පැරැණි ළමා ගීත බොහොමයක් ඇනිමේෂන් සමඟම රසවිඳින්න පුළුවන් විදිහටයි බේබි හබ් එකට නිර්මාණ ඇතුළත් කරලා තියෙන්නේ."

එසේ කියද්දිම ඕන කෙනකුට හිතෙන්න පුළුවන් ඔහු මුදල් පරමාර්ථයෙන් මෙවැනි වැඩක් පටන් ගන්න ඇතැයි කියලා..අසන්නට යන පැනය ඔහු කලින් දැනගත්තාදෝ සිතුණේ මුවඟ රැඳි සිනහවෙන්ම ඔහු දුන් පිළිතුර නිසා.

" මම කරන රාජකාරිත් එක්ක නිතර පොඩි ළමයින්ව හමුවෙනවා. මම එයාලත් එක්ක ටිකක් කතාබහ කරනවා. කියන්න කනගාටුයි අපි පොඩිකාලේ අහපු ළමා ගීත එකක්වත් ඒ දරුවෝ දන්නේ නැහැ. අඩුම තරමේ හාවාගෙයි ඉබ්බාගෙයි කතාවවත් අහලාවත් නැහැ. අද තියෙන මේ කාර්යයබහුල ජීවන රටාවත් එක්ක තමන්ගේ ළමයට එවැනි කතාවක් කියලා දෙන්න බොහෝ මව්පියන්ට වෙලාවක් නැහැ. අනික අද මොන මාධ්‍යයෙන්ද ළමයින්ට ඔවැනි හරවත් දේ කියලා දෙන්නේ. ඉතින් මෙතන තිබුණු ලොකු අඩුවට හිස්තැන පුරවන්නයි මේ දේ කළේ මිසක වෙන කිසි අරමුණක් නැහැ. ඇනිමේෂන් වීඩියෝවක් හදන්න පහසු නැහැනේ. ඒවට ලක්ෂ ගානක් වියදම් වුණා මගේ අතින්. නමුත් සත පහක ලාබයක් නැහැ.

සඳුන් නිර්මාණකරණයේ නිරත වන ගමන් කලාවේ උන්නතිය වෙනුවෙන් ද කලාරුවන් වෙනුවෙන් ද තමන්ට හැකි අයුරින් නිහඬ මෙහෙවරක යෙදෙන නිර්මාණකරුවෙකි. මේවන විටත් කලාකරුවන්ට තිදෙනකුට විශ්‍රාම වැටුප් ලබාදීමේ සද්කාර්යයකද ඔහු නිරත වෙයි..

" එක්තරා දවසක මම අපේ පැරැණි කලාකරුවකු ගැන පළවූ පුවතක් කියෙව්වා. එහි තිබුණා ඔහු දැනට නවාතැන් ගෙන ඉන්න තැන පින්තූර වගයක්. එතන හරියට දිරාපත් වෙලා. මට පුදුමත් හිතුණා ඒ වගේ ප්‍රවීණ කලාකරුවෙක් මේ වගේ ඉන්නේ ඇයි කියලා. මම මගේ මිතුරකුගේ මාර්ගයෙන් ඒ මහත්මාට කතා කරලා ඔහු බලන්න නිවෙසට ගියා. ඇත්තම කිව්වොත් ඔහු හිටියේ නිවෙසක නෙවෙයි මඩුවක් වගේ තැනක. සමහර බිත්ති කඩා වැටෙන්නට ඔන්න මෙන්න. වහලෙත් නැහැ. මට එදා තමයි හිතුණේ විශ්‍රාම වැටුප් සංකල්පය. මම එදා ඒ ප්‍රවීණ කලාකරුවගෙන්ම ඒ කාර්යය පටන් ගත්තා. දැන් ඔහුට මාසිකව විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඊට අමතරව ඔහුගේ නිවෙස අලුත් වැඩියා කර දුන්නා. ඒ වැඩපිළි­‍ෙවළ යටතේ තවත් ප්‍රවීණ සිනමා නිළියකටත් ප්‍රවීණ නළුවකුටත් විශ්‍රාම වැටුපක් ලබා දෙනවා. මේවාට සමගාමීව තවත් සුබසාධන ව්‍යාපෘති රැසක් කෙරෙනවා.

අද ඔහු එවන් සද්කාර්යය වල නිරත වෙමින් නිර්මාණකරුවකු ලෙස ද ගොඩනඟාගෙන ඇති ස්ථාවරත්වය පිළිබඳ බලන විට එහි මූලාරම්භයද අසන්නට සිතුණා...

"මගේ ගම මාතර තිහගොඩ. කොළඹ එන්නේ පරිගණක සම්බන්ධ රැකියාවක් කරන්න. මම මුලින්ම නිෂ්පාදනය කරන්නේ "පිටකොටුව" කියලා ටෙලි නාට්‍යයක්. ඒක තවම විකාශය වුණේ නැහැ. ඊට පස්සේ "ඉස්කෝලෙට මං ආවා" චිත්‍රපටය කළා. එහි කතා සංකල්පය සහ ගීත කිහිපයක් මගේ. ළමයකු තමන් සතු දක්ෂතා ඉස්මතු කරගන්නේ කොහොමද සහ ධනාත්මකව හිතන්නේ කොහොමද කියන කාරණා තමයි ඒ සිනමාපටයට පාදක වුණේ. වාර්තාමය චිත්‍රපටත් නිෂ්පාදනය කෙරුවා. "අපි දැන් කොහෙද යන්නේ" කියන කෙටි චිත්‍රපටයත් මගේ නිර්මාණ ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථානයක්. ඒක අන්තර්ජාතික සම්මානයකටත් නිර්දේෂ වුණා. මගේ දුවත් ඒකේ රඟපෑවා. ඉදිරියටත් එවැනි නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා."

Comments