කෘතිය- දත වැටිලා කාව්‍ය සංග්රයහ
කර්තෘ- නුවන් කුමාර කටුගම්පල
ප්රකාශනය- ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
දතවැටිලා නුවන් කුමාර කටුගම්පලගේ ප්‍රථම කාව්‍ය සංග්‍රයයි. ඔහුගේ කවි ලිවීම ඇරඹෙන්නේ මිහිර ළමා පුවත් පතට පාසල් වියේදී කවියක් ලිවීමෙනි. මේ කාවය සංග්‍රහයට පෙර ඔහු විසින් බිංදුව නමින් ළමා කතා පොතක් ද, ‘ගායෙන් මා මුදවලා‘ නමින් ගීත පද රචනා සංග්‍රයක් ද පළකර ඇත. කලක් තිස්සේ ලියූ කවි අතරින් තෝරා ගත් කාව්‍ය නිර්මාණ දත වැටිලා කාව්‍ය සංග්‍රයේ අඩංගුවේ. විවිධ මාතෘකා යටතේ ලියැවුණ මේ කවි අතර සමාජයේ විවිධ පැතිකඩ මෙන්ම මිනිසුන්ගේ අන්ධ විශ්වාසයන් සියුම් පහර ගැසිම් ද, මිනිසුන්ගේ, ගැහැනුන්ගේ හදවතට එබි බැලිම් ද අපට හමුවේ. ඇතැම් කවි අපට සමාජය ගැන බොහෝ දේ සිතන්නට ඇරයුම් කරයි.
ඇතැමුන් තුළ ඇති මිත්‍යා විශ්වාසයන්ට ඔහු සියුම් ලෙස පහර ගසන්නේ මෙලෙසිනි. මාතෘකාව හුණන් ඇඟ වැටීමේ පලාඵල.
“හුණෙක් කනට වැටුණා
දකුණු කනට
පලාඵල බලා ගන්නට
ගෙදර ලිතක් නැති වරදට
බිරිඳට දොස් පවරා
ලිතක් ගන්න ටවුම් ගියා
පොත් සාප්පුවෙන් අරගෙන
ලිත දිග හැර බැලූ කලට
දකුණු කනට
‘අනවශ්‍ය වියදම්‘
ප්‍රේමය මනරම්ය. දෙදෙනකු පෙමින් බැඳි කාලයේ ඔවුනොවුන් එකිනෙකා නොදැක මොහොතක් ගෙවා දමන්නේ මහත් සොවිනි. ඔහුට ලොව ඇති සුන්දරම කටහඬ ඇයගේය. ඔහු දැක ඇති දකින සුන්දර රුව ඇගේය. ඇයට ද එසේමය. ඒ පෙම්වතුන්ගේ හැටිය. ප්‍රේමයත් විවාහයත් කිසිදා සමාන නොවේ යැයි සිතෙන්නේ විවාහයෙන් පසු ප්‍රේමය දුරස්වන අවස්ථා ඕනෑ තරම් මේ සමාජයෙන් හමු වන බැවිනි. කුටුම්භය තුළ ඇති දහසකුත් ප්‍රශ්න විසින් මේ ඈත් වීම සිදුවේ යැයි සිතිය හැක. වසර ගණනන් පෙමින් වෙළී සිටියද එක වහලක් යටට වූ පසු දෙදෙනාට පෙර මෙන් ළඟින් ඉන්නට කාල වේලා නැත. ඒ ගැහැනුන් මිනිසුන් මේ තරගකාරි ජීවන රටාවේ කොටස්කරුවන් වී ඇති බැවිනි. දරුවන් හැදීම වැඩීම කරන අතරේම ගෘහය තුළ දහසකුත් එකක් රාජකාරි, සමාජයේ විවිධ පැති නියෝජනය කරන ගැහැනියට විවාහයෙන් පසු ප්‍රේමය අකැපද? බැදිම් දුරස්වීමෙන් විවාහය තුළ හුදකලාවන ගැහැනියගේ ආත්ම ගත වේදනාව අපට හමුවන්නේ නුවන් කටුගම්පල ගේ ‘දත වැටිලා‘ කාව්‍ය සංග්‍රහයේ එන මේ කවියයි.
කවියේ මාතෘකාව ‘අවලංගු කාසිය නොහොත් වියපත් බිරිඳ මුදුඟිල්ල පිරිමදිමින් කළ මිමිණුම‘
“හොඳම, සුදුම, සුවඳම, මල මම ම බව
නෙළන දිනේ නුඹ කීවේ සැබෑ ලෙස ම
අද ඒ මල මැලැවෙන්නට ඉඩ හැරිය
නුඹ කොතැනද මා නම් නුඹ ළඟ තවම
ගිනි අරගත් වැලි කතරක් කිසිදාක
කෙම්බිමක් වේද මං ඉකි බින්දාට
නොහඬා කඳුළු නොහෙළා මේ උන්නාට
ගලක් නොවෙයි මම ඒ මලමයි තාම“
විවාහ ජීවිතය තුළ විදවමින් සිටිනවාට වඩා වෙන්වීම වටී. කෙනෙකු එහෙම කියයි. එහෙත් උසාවී වල රස්තියාදු වී දික්කසාදය ඉල්ලන ගැහැනුන් පිරිමින් සිටින්නේ සැබැවින්ම සතුටින්ද. ණය වී මාලිගා මෙන් ගෙවල් දොරවල් සාදා, ජයට මඟුල් කා, එක වහලක් යටට යන දෙන්නා දෙමහල්ලෝ විවාහයේ ඡායාරූප ඇල්බමය සකසා අවසන් වෙන්නටත් පෙර දික්කසාද වෙන්නට පිඹූරුපත් සකස් කරන සමාජයක් අද සමාජයේ දක්කනට ඇත. මේ එවන් සැමියෙකුගේ පසුතැවිල්ලකි. ඔහුට සිතෙන්නේ තම මවත් පියාත් පවුල තුළ එකිනෙකා ආදරයෙන් බැදිමෙන් සිටි අපූරුවය. එක්ව සිටින්නට වඩා වෙන්වී යන්නට හේතු බොහෝ තිබෙන බව කවියේ කතකයා කියයි. එහෙත් සංසාර පුරුද්දට මෙන් සිත් බැඳි විවාහ වුවද එකිනෙකාගේ නොගැළපීම් මත දිවි ගෙවනවාට වඩා වෙන්වීම යහපතක් යැයි සිතූ ඔහු අවසානයේ කියන්නේ අපි අපටම සමා වී යළිත් ජීවිත ගැන සිතා බැලුවොත් වටින බව නොවේද? මාතෘකාව දික්කසාදය.
“සංසාරේ හුරුවක
දැක්ක ගමන් බැඳුණා තමා
අත දිගහැර වියදම් කර
ජයට මඟුල් කෑවා තමා
තුන් වැනියෙක් වඩින බවට
ලකුණුත් නැති නිසා අමා
නැවතීමේ ලකුණ තියමු
විනිසුරු හට සිරස නමා
එහෙම නැතිව තව සැරයක්
බලන්න හිතුණොතින් අමා
අපි දෙන්නාට දෙන්නා එකට
අයැද ගනිමු නේද සමා..
“දත වැටිලා“කවි පෙළ කියන්නේ මහා කතාවකි. එනම් අද පවතින සමාජ ක්‍රයයි. උළු වහළ ටකරන් වහල පොල් අතු වහල වෙනුවට දැන් නගරයේ බොහෝ විට ඇත්තේ මහල් නිවාසය. මහල් නිවාස වල දිවි ගෙවන්නන්ට වහලයක් නැත. දතත් ගැලවුණ විට ලේනෝ ලේනෝ මේ දත අරගෙන කැකුළු දතක් මට දියෝ දියෝ කියා ඒ දත වහලයට විසි කළ අතීතයක් අපේ යුගයේ අයට තිබිණි. නමුදු මේ සමාජයේ දරුවෝ එලෙස කරන්නට වහල අඳුනන්නේ නැත. අඳුනන්නට ඔවුන්ට දකින්ට වහල නැත . මේ ඛේදවාචකය ඇත්තේ මහල් නිවාස වල දිවි ගෙවන්නන්ටය. මහල් නිවෙසක දිවි ගෙවන දැරියකගේ කතාවකි මේ.
“ලේනකුහට ගත හැකි ලෙස
නොදැමුවොතින් වහලෙට දත
අලුත් දතක් නේවි ද? මට
හිටිවනම
හිත යටින් කෑගසයි
ඈ
උඩබලා
“ලේනෝ ලේනෝ මේ දත අරගෙන
මටත් වහලක් දියෝ දියෝ“
නුවන්ගේ කවි බස ජනවහරින් කටවහරින් වියත් බසින් පොහොසත්ය. ඔහු විවිධ අත්දැකිම් ලියන්නට එය උපයෝගි කර ගනී. ඔහුගේ ඇතැම් කවි කෙටිය. ඇතැම් කවි දිගුය. ඊටත් වඩා ඔහුගේ කවි මාතෘකා දිගුය. එහිද එක් විදිහක අපුරුවක් ඇතැයි සිතේ. ඒ නුවන්ගේ කවි වල විශේෂත්වයය යැයි ද සිතේ.
‘කවියාගේ පෙම්වතිය ලියූ මහා කාව්‍ය ‘ කවියේ මාතෘකාව එලෙසිනි.
“පෑනක්ම විතරක් ඇති
නුඹ තමයි මගෙ සක්විති“
කියන්නට ඇති බොහෝ දේ වාක්‍ය දෙකකින් කීමම අපූරුය.