ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ සිදු වූ වැදගත් සංසිද්ධියක් වන්නේ නව ශාස්ත්‍රඥ පරපුරක බිහිවීමයි. ඒ ශාස්ත්‍රඥ පරපුර ප්‍රාචීන සහ ප්රතීචීන යනුවෙන් ධාරා දෙකකින් සැදුම් ලද්දකි. නව පිරිවෙන් අධ්‍යාපනයේ ව්‍යාප්තිය සමඟ පෙරදිග භාෂා පිළිබඳ පෘථුල ඥානයක් සහිත ගිහි පැවිදි ප්‍රාචීන පඬි පරපුරක් බිහි වූ අතර ඔවුන්ගෙන් වැඩි පිරිසකට මනා ඉංගිරිසි දැනුමක් ද තිබිණ. මිෂනාරි පාසල් ඉංගිරිසි මාධ්‍යයෙන් ස්වදේශික ප්‍රභූ සමාජයේ දරුවන්ට මෙරට දී නූතන ලෝකයට පිය නැගිය හැකි ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබා දුන් අතර ඔවුන්ගෙන් යම් පිරිසක් එංගලන්තයේ විශ්වවිද්‍යාලයවලට ගොස් සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු නිමවා එකල උසස් ලෙස පිළිගැනුණු වෘත්තීන්ට මෙන්ම දේශපාලනයට හා විවිධ කලා ක්ෂේත්රවලට ද පිවිස විපුල මෙහෙයක් ඉටු කළහ.
ශ්‍රී ලාංකික දේශපාලන ක්ෂේත්‍රයේ පරම්පරා උරුමය සුලබ ලකුණක් වුව ද ශාස්ත්‍රවන්තභාවයේ කීර්තිමත් පරම්පරා උරුමයක් මෙරට දක්නට ඇත්නම් ඒ උරුමයේ හිමිකම ලැබෙන්නේ දැරණියගල පරපුරටය. සමකාලීන පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්රයෙහි පවා එවන් අඛණ්ඩ උරුමයක් දැකීම අසීරුය. දැරණියගල ශාස්ත්‍රඥ පරපුරේ පුරාපුරුෂයා වන්නේ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල සමරසිංහ සිරිවර්ධන හෙවත් පෝල් ඊ. පීරිස්ය. වාසල මුදලි ජෝන් මාටිනස් පවුලුස් පීරිස් දැරණිගල සමරසිංහ සිරිවර්ධන සහ සුසාන් එලිසබෙත් ඩයස් බණ්ඩාරනායක යුවළට මව් පිය පදවි හිමි කරමින් පෝල් ඊ. පීරිස් මෙලොව එළිය දුටුවේ 1874 පෙබරවාරි මස 16 වැනි දිනය. 1881 දී සත් හැවිරිදි පෝල් කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කෙරුණු අතර, විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා වෙමින් අටළොස් හැවිරිදි වියේ දී රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වයක් දිනා කේම්බ්‍රිජ් ත්‍රිත්ව විද්‍යායතනයට ඇතුළත් වූයේ 1892 වර්ෂයේ දීය. ඔහු ඒ විද්‍යායතනයට ඇතුළත් වුණු ප්‍රථම ආසියාතිකයාය. ග්‍රීක, ලතින් සම්භාව්‍ය භාෂා හා නීතිය එක විට හදාරා විෂයයන් දෙකෙන්ම උපාධි හිමි කර ගත් පෝල් 1895 දී ඉනර් ටෙම්පල් නීතිඥ ආයතනයෙන් නීතිඥ වෘත්තියට පිවිසිණ. 1896 වර්ෂයේ එංගලන්තයේ පැවැත්වුණු ලංකා සිවිල් සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට පෙනී සිට ඉන් විශිෂ්ට ලෙස සමත්ව බ්‍රිතාන්‍ය ජාතිකයන්ටම ඇරුණු ලංකා සිවිල් සේවයට බැඳුණු ප්‍රථම සිංහලයා වූයේ පෝල් ඊ. පීරිස්ය. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන් පරිපාලන බලතල සහිත ජ්‍යෙෂ්ඨ තනතුරු ඔහු වෙත නොපවරා අධිකරණ වගකීම් සහිත තනතුරු පැවරීම විශේෂත්වයකි.
පෝල් ඊ. පීරිස් සිය වෘත්තීය වගකීම් නිසි ලෙසත් විධිමත් ලෙසත් ඉටු කිරීම නිසා ඔහු කෙරෙහි බ්‍රිතාන්‍ය පාලකයන්ගේ පිළිගැනීමක් තිබිණ. ලංකාවේ පළමු, දෙවන සහ තෙවන ජාතික දින උත්සව පැවැත්වුණු 1914, 1915, 1916 වර්ෂවල දී උත්සව මුලසුන හෙබවීමට පෝල් ඊ. පීරිස්ට ඇරයුම් ලැබුණේ ඒ නිසා විය යුතුය. පළමු ජාතික දින උළෙලේ දී ඔහු පැවැත්වූ දේශනය ජාතික විමුක්තිය පිළිබඳ මුල් බිජුවට වැපිරීමක් සේ පිළිගැනේ. පෝල් ඊ. පීරිස්ගේ වෘත්තීය භූමිකාව ඉතිහාසගත වන්නේ 1915 ගම්පොළ බෞද්ධයන්ගේ පෙරහැරක් මුස්ලිම් දේවස්ථානයක් අසලින් යාමේ දී ඇති වූ සිංහල - මුස්ලිම් කෝලාහලය සම්බන්ධ නඩු විභාගයේ දී ඔහු විසින් දෙන ලද තීන්දුව පාරම්පරික චාරිත්‍ර විධි අරබයා බෞද්ධයන්ගේ අයිතිය තහවුරු කිරීමට හේතු වූ නිසාය. මෙහි ඇති වැදගත්කම වන්නේ යටත්විජිත පාලන සමයක පාලකයන්ට ගැති නොවී නිර්භීත තීන්දු ගැනීමට පෞරුෂයක් එතුමන් සතු වීමය.
වෘත්තීය වගකීම් අධිකරණ කටයුතුවලට සීමා කිරීම නිසා ලද විවේකය ස්වකීය අධ්‍යයන පර්යේෂණ සඳහා යොමු වීමට ලද වෙස්වළාගත් ආශීර්වාදයක් බවට පෙරළා ගත් පෝල් ඊ. පීරිස් කීර්තිමත් වෘත්තීය ජීවිතයකින් අද්විතීය ශාස්ත්‍රීය ජීවිතයකට පිවිසිණි. ඉතිහාස අධ්‍යයනය සිය ශාස්ත්‍රීය ශික්ෂණ මාර්ගය ලෙස තෝරා ගත් ඔහු එහිද විෂය පථය පුරුතුගීසි - ඉංගිරිසි යටත් විජිත කාල සීමාවට සීමා කර ගැනීම නිසා තත් විෂයයෙහි ගැඹුරුතර විමර්ශනයකට යෝග්‍ය පසුබිම සකස් කර ගත්තේය. මේ කාල සීමාව අළලා ලංකාවේ පුරුතුගීසි, ලන්දේසි සහ ඉංගිරිසි පාලනයට සම්බන්ධ විශිෂ්ට කෘති කිහිපයක්ම ඔහු අතින් සම්පාදනය විය. මේ අධ්‍යයනවලදී බ්‍රිතාන්‍ය සහ සෙසු යුරෝපීය රටවල ලේඛනාගාරවල තිබුණු වැදගත් ඓතිහාසික මූලාශ්‍රය ඇසුරු කොට සිය පර්යේෂණ සිදු කිරීම නිසා ඒවාහි ශාස්ත්‍රීය ගුණාත්මකභාවය සුරැකිණ. විශ්වවිද්‍යාලයීය පාඨමාලාවක් ලෙස ඉතිහාසය අධ්‍යයනය නොකළද ස්වදේශිකයකු ලෙස තම රටෙහි යටත්විජිත පාලන සමයෙහි නිවැරදි ඉතිහාසය පාදා ගැනීමේ ජාතික අවශ්‍යතාව විසින් මෙහෙයවන ලද පෝල් ඊ. පීරිස්ගේ දෘඪ අභිලාෂය නිසා රචනා වූ ඉතිහාස ග්‍රන්ථාවලිය ඒ විෂය ක්ෂේත්රයෙහි ප්‍රමාණික කෘති ලෙස අද දවසේ පවා සම්භාවනාවට පාත්‍ර වෙමින් පවතී. ශාස්ත්‍රීය ග්‍රන්ථ සම්පාදනයට අතිරේකව එවක මෙරට පැවති විශිෂ්ටතම ශාස්ත්‍රීය ආයතනය වූ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් පළ කරන ලද ශාස්ත්‍රීය සඟරාවේ කලාප කිහිපයකම ස්වකීය විෂය ක්ෂේත්රයට අදාළව ලිපි විස්සකට අධික සංඛ්‍යාවක් ඔහු විසින් පළ කරන ලදී.
පෝල් ඊ. පීරිස් විවාහ වූයේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු වූ ජේම්ස් පීටර් ඔබේසේකරගේ දියණියන් කෙනකු වූ හිල්ඩා කොන්ස්ටන්ස් තියඩෝරා ඔබේසේකර සමඟය. ඔවුන්ගේ දරුවන් පසු කලෙක විවිධ ක්ෂේත්රවල නම රැන්දූ කීර්තිමත් චරිත වීම විශේෂත්වයකි. වැඩිමහල් පුතු පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අතර ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ මෙරට පළමු ප්‍රාමාණික විද්වතා ලෙස ගෞරව බහුමානයට ලක් විය. ජස්ටින් ෆර්ඩිනන්ඩස් පීරිස් දැරණියගල සුපතළ චිත්‍ර ශිල්පියකු වූ අතර 43 කණ්ඩායම ස්ථාපනය කිරීමට ද පුරෝගාමී විය. රැල්ෆ් ලුවිස් පීරිස් දැරණියගල නීති අධ්‍යාපනය ලැබ බැරිස්ටර්වරයෙක් විය. මීරියම් පීරිස් දැරණියගල ඔවුන්ගේ එකම දියණියෝ වූහ. පෝල් එඞ්වඞ් පීරිස් දැරණියගලගේ පුත්‍ර සිරාන් දැරණියගල දැනට මෙරට සිටින කීර්තිමත්ම පුරාවිද්යඥයාය.
පෝල් ඊ. පීරිස් 1935 වර්ෂයේදී ලංකා සිවිල් සේවයෙන් විශ්‍රාම ගත්ත ද ශාස්ත්‍රීය ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන ගියේය. පෘථුල වෘත්තීය සහ ශාස්ත්‍රීය භූමිකා දෙකට පණ පෙවූ පෝල් ඊ. පීරිස්ගේ පාණ්ඩිත්‍යය දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර විය. තම ප්‍රථම උපාධිය ලබාගත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් එතුමන්ට සාහිත්‍යසූරී ගෞරව සම්මාන උපාධිය සමර්පණය කෙරුණු අතර එවන් බුහුමනක් ආසියාතිකයකුට හිමි වූ ප්‍රථම අවස්ථාව එය වෙයි. ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ දී ද එතුමන්ට සාහිත්‍යසූරී ගෞරව සම්මාන උපාධියක් සමර්පණය කෙරිණ. බ්‍රිතාන්‍ය අධිරාජිනිය විසින් එතුමෝ නයිට් නාමයකින් පුදනු ලැබූහ. වසර අසූතුනක ආයු සංස්කාරය නිම කළ මේ කීර්තිමත් ලංකා පුත්‍රයා 1959 අප්‍රේල් මස 12 වන දින මෙලොවෙන් සමුගත්තේය.