මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක් | Page 2 | සිළුමිණ

මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අද (15) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මේ පිළිබඳව අවධානය යොමු වු බව අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු පැවසීය.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද තුන්වැනි දිනටත් සිදු කෙරුණි.

ආරක්ෂක හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ට ජූලි 16 සහ 17 යන දෙදිනත්, නොවැළැක්විය හැකි හේතු මත තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සදහා ජූලි 20 සහ 21 දිනවලත් සිය ඡන්දය පාවිච්චි කළ හැකිය.

ඒ අතර පැෆ්රල් නිරීක්ෂකයන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට රජය පියවර ගත යුතු බවය.

අද මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් විසින්ද එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය.

Comments