හිරගෙදර කොරෝනා කතාවේ ඇත්ත නැත්ත | සිළුමිණ

හිරගෙදර කොරෝනා කතාවේ ඇත්ත නැත්ත

මේ ආරංචිය ලැව් ගින්නක් ලෙසින් රට පුරා පැතිර යාමත් සමඟ කවුරුත් ඒ ගැන අවධනාය යොමු කරන්නට විය. කොරෝනා වයිරසය රටට ඇතුව වීමත් සමඟ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මේ වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා බොහෝ ක්‍රියා මාර්ග ගන්නා ලදි. විශේෂයෙන් ම වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවීමේදි අත් සේදීම සඳහා ජල කරාම සවි කිරීම ද විෂ බීජ නාශක අත් සේදුම් දියර භාවිතයද මුඛ ආවරණ පැළදීමද ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම සිරකරුවන් හා නිලධාරින් සඳහා අවශ්‍ය මුඛ ආවරණ මැසීම ද බෝගම්බර වැලිකඩ බන්ධනාගාරවලදී සිදු කරන ලදී. එමෙන්ම කොරෝනා උවදුරෙන් රටත් බන්ධනාගාර රැඳවියන් නිධනාරින් මෙන්ම සියලු දෙනා ආරක්ෂා කර ගැනීමෙන් අභිලාසයෙන් රැදවියන් විසින් පිරිත් සජ්ජායනය ද කරන ලදී.

 

මේ සියලු කටයුතු සිදු කරන අතරේ බාහිරින් එන සැකකරුවන් රඳවා තැබීම සඳහා වෙනමම වාට්ටුවක් ද වැලිකඩ බන්ධනාගාරයේ වෙන්කර තබන ලදී.

දිනෙන් දින කොරෝනා වයිරසය වැළඳී ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන රැඳවියන් දින 14 ක් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තැබීමට ද කටයුතු කරන ලදී. මේ සියලු වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන අතරේ බන්ධනාගාර රැඳවියන් අතරින් කොරෝනා රෝගියකු හමු වීම කාගේත් විමසිල්ලට හේතු විය.

2019 වසරේ කැස්බෑව මහේස්ත්‍රාත් උසාවියෙන් දුන් තීන්දුවකට අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරු වූ මේ පුද්ගලයාට සිරගත වන්නට සිදුවිය. රුපියල් දහ දාහක ඇපය නොගෙවීම මත මාස තුනක සිර දඩුවමක් හා අවුරුද්දක පුනරුත්ථාපන කාලයක් මේ මෙකී පුද්ගලයාට හිමි විය. ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි රැඳවියා පසුගිය දා වැලිකඩ බන්ධනාගාරයට ගෙනැවිත් ඇත්තේ නඩුවකට පෙනී සිටීම සඳහාය. ඉකුත් තුන්වැනිදා මුල් වරට මෙම රැඳවියාව පරික්ෂණය සඳහා යොමු කරන ලද අතර නැවත 5 වැනිදා ද ඊට පසු දා ද PCR පරීක්ෂණය සඳහා යොමුකරන ලදි.

ඒ අනුව කෝවිඩ් 19 ආසාදිතයකු යැයි හඳුනාගනු ලැබු රැඳවියා දැනට වැඩි දුර ප්‍රතිකාර සදහා IDH රෝහල ඇතුළත් කර ඇත. මෙම රැඳවියා රඳවා සිටි අයි වන් වාට්ටුවේ සිටි 200 දෙනෙකු දින 14 ක නිරෝධානය සඳහා යොමු කර ඇත. නිලධාරීන්ද පරීක්ෂණය සදහා යොමු කර ඇති අතර නිලධාරි කිහිප දෙනෙකුද නිරෝධානය සදහා යොමු කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේනත්තුව පවසයි.“ බන්ධනාගාර නිලධාරීන්ගේ හා රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකරන ලෙසෙ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිට මොනරාගල බන්ධනාගාරයට ගිය රැදවියන් තිදෙනෙකු ද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාරවල තත්ත්වය එසේ වුවද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්වය මීට වෙනස්ය.

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්යය මණ්ඩලය පරීක්ෂණ සදහා ලක්කර ඇති අතර 338 දෙනෙකුගේ PCR ලැබී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදනයක දක්වා ඇත. ඒ අනුව කෝවිඩ් 19 ආසාධිතයන් 196 දෙනෙකු හදුනාගෙන ඇත. මෙය ලියන මොහොත වන විට පසුගිය බ්‍රහස්පතින්දා හඳුනාගත් ආසාදිතයන් 56 දෙනා ද සමඟ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයේ වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 252. මෙම මධ්‍යස්ථානයේ ආසාදිතයන් තවදුරටත් වාර්තා වීමේ ඉඩක් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කරයි.

කෙසේ නමුත් වැලිකඩ ලංකාවේ සියලුම බන්ධනාගාර ගත රැඳවියන් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා බන්ධනාගරය පුළුල් වැඩ පිළිවෙළක් දියත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ‘විසිට්‘ සිරකුරුවන් බැලිම නතර කර ඇති අතර ඇතැම් නඩු ස්කයිප් වට්ස් ඇප් මඟින් කතා කිරීමටද. කටයුතු යොදා ඇත.

රිමාන්ඩ් බන්ධනාගාර ගත රැදවියන් බැලීම දිනපතා කළ හැකි අතර එහිදි ඔවුන්ට පිටින් ආහාර ගෙන්වා ගැනීමටද පුළුවන්කම තිබිණි.

බාහිර පුද්ගලයන් පැමින කරන පුනරුත්ථාපන වැඩසටහන්, තාවකාලිකව නතර කර තිබුණද ‘වැඩ පාටි‘ කර්මාන්ත වැඩ රැඳවියන් සහභාගි වීම පෙර ලෙස සිදු වේ. එමනේම ඩිස්පැන්සරියද පෙර පරිද්දෙන්ම කටයුතු කරනු ලැබේ.

“මේ සියල්ලම සිදු කරන්නේ සමාජ දුරස්ථභාවය තබාගනිමින්. අපි හැම විටම නිලධාරියාගේ මෙන්ම රැඳවියාගේ ආරක්ෂාව ගැන සිතනවා. “

බන්ධනාගාර ඉහළ නිලධාරියකු පැවැසුවේ එලෙසිනි.

Comments