වරාය නැගෙ­න­හිර පර්ය­න්තය නව පණ­කින් යළි නැඟි­ටියි | Page 2 | සිළුමිණ

වරාය නැගෙ­න­හිර පර්ය­න්තය නව පණ­කින් යළි නැඟි­ටියි

නැගෙ­න­හිර පර්ය­න්තයේ පිහි­ටීම දැක්වෙන භූ සිති­යම
නැගෙ­න­හිර පර්ය­න්තයේ පිහි­ටීම දැක්වෙන භූ සිති­යම

කොළඹ වරායේ ජය බහ­ලුම් පර්ය­න්තයේ සහ නැගෙ­න­හිර පර්ය­න්තය සංව­ර්ධන ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් උද්ග­තව ඇති තත්ත්වය විම­ර්ශ­නය කර වාර්තා කිරීම සඳහා ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ විසින් පංච පුද්ගල කමි­ටු­වක් පසු­ගි­යදා පත්කෙ­රිණි. එම කමි­ටු­වට කාර්මික අප­න­යන හා ආයෝ­ජන ප්‍රව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පති­රණ, මාර්ග හා මහා­මාර්ග අමාත්‍ය ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේම­සිරි, විදු­ලි­බල හා බල­ශක්ති අමාත්‍ය ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා වරාය අධි­කා­රියේ සභා­පති හිටපු හමු­දා­පති දයා රත්නා­යක අයත් වේ. මෙම කමි­ටු­වට පැවරී ඇති කාර්ය­යන් 3 වැනිදා සිට දින 45 ක් ඇතු­ළත අදාළ රේඛීය අමා­ත්‍යංශ සහ පාර්ශ්ව­ක­රු­වන් සම්බන්ධ කර­ගෙන ඉදි­රි­පත් කළ යුතුය.

කොළඹ වරායේ නැගෙ­න­හිර පර්ය­න්තයේ සවි­කි­රී­මට රැගෙන එන ලද නව ගැන්ට්‍රි දොඹ­කර තුනක් ජුනි 20 වැනිදා සිට ගොඩ­බෑ­මට නොහැ­කි­වීම මුල් කර­ගෙන ආරම්භ කර තිබූ සේවක වර්ජ­නය ජූලි 03 වැනිදා දහ­වල් 12.00ට අව­සන් කෙරුණි. වරා­යට රැගෙ­න­විත් තිබෙන නව ගැන්ට්‍රි දොඹ­කර තුන නැගෙ­න­හිර පර්ය­න්තයේ සවි කිරීම සඳහා මේ වන­විට පිය­වර ගෙන ඇත.

මෙහිදී සියලු දේශ­පා­ලන පක්ෂ­ව­ලට සම්බන්ධ වෘත්තීය සමිති එම වෘත්තීය අර­ග­ලය දියත් කරනු ලැබුවේ ඉල්ලීම් දෙකක් මුල් කර ගනි­මිනි. ඒ අනුව කොළඹ වරායේ නැගෙ­න­හිර පර්ය­න්තයේ පූර්ණ අයි­තිය ශ්‍රී ලංකාව සතු විය යුතුය. එමෙන්ම එහි මෙහෙ­යුම් ක්‍රියා­ත්මක කළ යුත්තේ වරාය අධි­කා­රිය විසින් පමණි.

කොළඹ ජාත්‍ය­න්තර කන්ටේ­නර් පර්ය­න්තය

කොළඹ වරායේ නැගෙ­න­හිර පර්ය­න්තය ඉදි­කි­රී­මට අදා­ළව ශ්‍රී ලංකා, ඉන්දීය සහ ජපාන රජ­යන් අතර 2019 මැයි මාස­යේදී සහ­යෝ­ගිතා ගිවි­සු­මක් [Memorandum of Cooperation] අත්සන් කළේය. මෙම රාජ්‍ය අතර ඇති­ක­ර­ගත් එම එක­ඟ­තාව ගැන ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සිය නිල වෙබ් අඩ­වි­යෙහි 2019.05.27 වැනි දින ප්‍රකා­ශ­යට පත් කර තිබුණි. එහි දැක්වුණේ කොළඹ වරායේ නැගෙ­න­හිර පර්ය­න්තයේ අයි­තිය 100%ක් ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සතු වන බවය. එමෙන්ම නැගෙ­න­හිර පර්ය­න්තයේ මෙහෙ­යුම් සිදු කිරී­මට ඇති කරන පර්යන්ත මෙහෙ­යුම් සමා­ගමේ කොටස් හිමි­කා­රි­ත්ව­යෙන් 51%ක් ශ්‍රී ලංකාව සතු­වන අතර ඉතිරි 49%ක් ව්‍යාපාර අදාළ හවු­ල්ක­රු­වන්ට හිමි වන බවය.

කොළඹ වරායේ ජය­බ­හලු පර්ය­න්තය (JCT) ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සතු වේ. දකුණු ආසියා පිවි­සුම් පර්ය­න්තය (South Asia Gateway Terminals (SAGT) සහ කොළඹ ජාත්‍ය­න්තර කන්ටේ­නර් පර්ය­න්තය Colombo International Container Terminals (CICT) හි මෙහෙ­යු­ම්ව­ලින් 15%ක් පම­ණක් මේ වන­විට ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සතුව පවතී. මේ වන­විට ජය­බ­හලු පර්ය­න්තයේ සවි­කර ඇති දොඹ­කර වසර 30ක් පමණ පැරණි බව ද වරාය සේව­කයෝ පව­සති. එබැ­වින් විශාල නැව් හසු­ර­ව­මින් වැඩි ප්‍රති­ලාභ අත්ක­ර­ගැ­නීමේ අර­මු­ණින් කොළඹ වරායේ නැගෙ­න­හිර පර්ය­න්තය East Container Terminal (ECT) ඉදි කෙරිණි. මෙම නැගෙ­න­හිර පර්ය­න්තයේ ගැඹුර මීටර් 18කි.

වරාය අධි­කා­රියේ කළ­ම­නා­කා­රි­ත්වය මත මෙහෙ­යුම් සිදු කිරී­මට අදි­යර 05 නමින් කුඩා පර්ය­න්ත­යක් සෑදීමේ සැලැ­ස්මක් පසු­ගිය කාලයේ ක්‍රියා­ත්මක විය. ඒ සඳහා ගැන්ට්‍රි දොඹ­කර තුනක් ශ්‍රී ලංකාව ඉල්ලුම් කර තිබු අතර පසු­ගිදා ශ්‍රී ලංකා­වට රැගෙන එනු ලැබුවේ එම දොඹ­කර තුනය. මෙම ගැන්ට්‍රි දොඹ­කර පළ­මුව සැල­සුම් කර තිබුණේ අලු­තින් සාදන පර්යන්ත අධි­යර 05 හි සවි කිරීම සඳ­හාය. මහින්ද රාජ­පක්ෂ දින 52 ආණ්ඩුව බාර ගන්නා විට එම ගිවි­සුම අව­ලංගු කළ නොහැකි නිසා එම ගැන්ට්‍රි දොඹ­කර නැගෙ­න­හිර පර්ය­න්තයේ සවි කිරී­මට හැකි­වන පරිදි නැවත වෙනස් කිරී­ම­කට ලක් කරන ලෙස අදාළ සමා­ග­මෙන් ඉල්ලා සිට ඇත. ඒ අනුව සවි­කි­රීමේ පහ­සු­වට වෙනස් කළ ගැන්ට්‍රි දොඹ­කර තුනක් ජුනි 20 වැනිදා ශ්‍රී ලංකා­වට රැගෙන ආ බව නැගෙ­න­හිර පර්ය­න්තය සුරැ­කීමේ වෘත්තීය සමිති එක­මු­තුවේ කැඳ­වු­ම්කරු සංජය කුමාර වැලි­ගම සඳ­හන් කළේය.

මේ ව්‍යාපෘ­තිය ක්‍රියා­වට නැවීම පිණිස 2001 වර්ෂයේ බල­යට පත් වූ රනිල් වික්‍ර­ම­සිංහ ආණ්ඩුව විසින් ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ණයක් ලබා­ගැ­නී­මට තීර­ණය කරන ලදී. ඒ අනුව මුලින් ශක්‍යතා අධ්‍ය­ය­න­යක් සිදු­කි­රී­ම­ටත්, වරාය අධි­කා­රිය ප්‍රති­ව්‍යූහ ගත­කි­රී­ම­ටත් තීර­ණය විය. මේ ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යේදී වරා­යට අයත් ජය­බ­හලු පර්ය­න්තය වරාය අධි­කා­රියේ ඍජු පාල­න­යෙන් ඉවත් කර එය පෞද්ග­ලික සමා­ග­මක් බවට පත් කර වෙනම ඒක­ක­යක් ලෙස ක්‍රියා­ත්මක කිරී­ම­ටත් වරාය අධි­කා­රි­යට බිම් අයි­තිය පම­ණක් ලබා­දී­ම­ටත් යෝජනා විය. ඒ අනුව ජය බහලු පර්යන්ත සමා­ගම නමින් සමා­ග­මක් පිහි­ටු­වන ලදී. පසුව ඒ සඳහා සේව­ක­යන් අනු­යුක්ත කිරීමේ කට­යුත්ත ආරම්භ කළ නමුත් ඇති වූ සේවක විරෝ­ධතා හමුවේ එම වැඩ­පි­ළි­වෙළ තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සිදු­විය. එහෙත් ආසි­යානු සංව­ර්ධන බැංකුව සමඟ සාකච්ඡා දිග­ටම සිදුවූ අතර ඉදි­රි­යේදී නැව­තත් ජය­බ­හලු පර්යන්ත සමා­ගම ස්ථාප­නය කිරි­ම­ටත්, සේව­ක­යන් අඩු කිරී­ම­ටත් යෝජිත වරායේ පර්යන්ත තුනම වරාය අධි­කා­රි­යට 15% පම­ණක් අයිති වන ලෙස පෞද්ග­ලික අංශ­යට ලබා දීම­ටත් රනිල් වික්‍ර­ම­සිංහ ආණ්ඩුව පොරො­න්දුවී තිබුණි. ඒ අනුව ණය ගිවි­සුම සකස් කිරී­මට ආසි­යානු සංව­ර්ධන බැංකුව කට­යුතු කළේය.

2005 වර්ෂයේ දී මහින්ද රාජ­ප­ක්‍ෂ­යන් ජනා­ධි­පති ධූර­යට පත්වී­මෙන් අන­තු­රුව නැව­තත් මෙම ව්‍යාපෘ­තිය ඉදි­කි­රීමේ අව­ශ්‍ය­තාව අව­ධා­ර­ණය කෙරිණි. ඒ අනුව අදාළ ණය ගිවි­සුම අත්සන් කිරී­මට කට­යුතු සුදා­නම් කරන ලදී. එහෙත් අත්සන් කරන දින­යේදී වරාය පර්යන්ත තුනම පෞද්ග­ලික අංශ­යට ලබා දීමට කර තිබූ යෝජ­නා­වට සහ වරාය අධි­කා­රිය ප්‍රති­ව්‍යූහ ගත­කි­රීමේ යෝජ­නා­වට මහින්ද රාජ­ප­ක්ෂ­යන් විරුද්ධ විය. අවම වශ­යෙන් එක පර්ය­න්ත­යක් හෝ වරාය අධි­කා­රිය සතු විය යුතු බව ඔහු ගේ යෝජ­නාව විය. ඒ අනුව සංශෝ­ධිත ගිවි­සුම එදි­නම ආසි­යානු සංව­ර්ධන බැංකුවේ අනු­මැ­තිය ගෙන පසු­දින අත්සන් කරන ලදී. එයට පර්යන්ත දෙකක් පම­ණක් පෞද්ග­ලික අංශ­යට ලබා­දී­ම­ටත් අනෙක් පර්ය­න්තය වරාය අධි­කා­රිය විසින් සංව­ර්ධ­නය කිරී­ම­ටත් එකඟ වන ලදී.

ශක්‍යතා අධ්‍ය­ය­නය අව­සන් වීමෙන් පසුව මිල ගණන් කැඳවා තෝරා­ගත් හුන්ඩායි සමා­ගම විසින් 2008 වර්ෂ­යේදී ඉදි­කි­රීම් ආරම්භ කරන ලදී. වරාය අධි­කා­රිය එහි ඉංජි­නේ­රු­වන් සමඟ එක්ව සැල­සුම් සකස් කර ක්‍රමා­නු­කු­ලව නැගෙ­න­හිර පර්ය­න්තයේ ඉදි­කි­රීම් උප­ක්‍ර­ම­ශී­ලිව කර­ගෙ­න­යන ලදී. ඒ අනුව දැනට බහලු ගබඩා කිරී­මට සුදා­නම් කර ඇති භුමි ප්‍රමා­ණය වරාය අධි­කා­රිය විසින් කිසිදු විය­ද­මක් දැරී­ම­කින් තොරව ඉදි­කර ගැනී­මට හැකි විය. දෙවැනි පිය­වර ලෙස අදාළ දිය­ක­ඩ­නය ඉදි­කි­රී­මේදී සහ තටා­කයේ කැණීම් කට­යුතු සිදු­කි­රී­මේදී ඉවත් කරන වැලි ප්‍රයෝ­ජ­න­වත් ලෙස යොදා­ගැ­නී­මට තීර­ණය කරන ලදී. වරාය අධි­කා­රියේ ඉංජි­නේ­රු­වන් විසින් කරන ලද යෝජ­නා­ව­කට අනුව එලෙස හාරන වැලි මුහු­දට ගෙන යෑම වෙනු­වට නැගෙ­න­හිර පර්ය­න්තය ඉදි­කි­රී­මට යෝජිත ප්‍රදේ­ශ­යට දැමී­ම­ටත් ඒ සඳහා කැණීම් යාත්‍රාවේ පතු­ලෙන් මුදා­හැ­රීම වෙනු­වට පොම්ප කිරී­ම­ටත් යෝජනා කරන ලදී.

නැගෙ­න­හිර  පර්ය­න්තයේ නව  ගැන්ට්‍රි දොඹ­කර සවි­කර ඇති ආකා­රය
 

ඒ අත­ර­තුර පර්ය­න්ත­යට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනී­මට අවශ්‍ය කට­යුතු සිදු කළ අතර ඒවා මිලදී ගැනී­මට අදාළ ගිවි­සුම ද 2014 වන­විට අත්සන් කර තිබුණි. ඒ සඳහා ඇම­රි­කානු ඩොලර් මිලි­යන 65 කට අසන්න මුද­ලක් විය­දම් කිරී­මට යෝජිත වූ අතර එම මුදල වසර 5 කින් ගෙවී­ම­ටත් 3%ක වාර්ෂික පොලි අනු­පා­ත­ය­කට ලබා­ගැ­නී­ම­ටත් අදාළ ගිවි­සුම් ද අත්සන් කර තිබිණි. 2015 දී බල­යට පත් වූ යහ­පා­ලන රජය එකී ගිවි­සුම අනුව කට­යුතු කළේ නම් 2015 අව­සාන වන­විට එම යන්ත්‍ර­සුත්‍ර වරා­යට ලැබේ. එසේ වූයේ නම් මේ වන­විට එම පර්ය­න්තයේ සිදු­වන මෙහෙ­යුම් මඟින් වර්ෂ­ය­කට අවම වශ­යෙන් ඇම­රි­කානු ඩොලර් මිලි­යන 100 (රු. බි.17.5) කට ආසන්න ආදා­ය­මක් වරාය අධි­කා­රි­යට ලබා ගැනී­මට හැකිව තිබුණි. මේ නිසා 2016 වර්ෂයේ සිට මේ දක්වා වරාය අධි­කා­රි­යට රුපි­යල් බිලි­යන 60කට අධික පාඩු­වක් සිදු ව ඇත.

එහෙත් 2015 වර්ෂයේ ජන­වාරි මාස­යේදී සිදු වූ ආණ්ඩු පෙර­ළි­යත් සමඟ යන්ත්‍ර­සුත්‍ර මිලදී ගැනී­මේදී අක්‍ර­මි­කතා සිදු­වූයේ යැයි පවසා මෙම ව්‍යාපෘ­තිය තාව­කා­ලි­කව අත්හිටු වූ අතර, ගිවි­සුම ද අව­ලංගු කෙරිණි. ඉන් නොනැ­ව­තුණු යහ­පා­ලන ආණ්ඩුව මේ පර්ය­න්තය ඉන්දි­යා­වට හා ජපා­න­යට ලබා­දී­මට සුදා­නම් වූ අතර, එහිදී ඇති වූ සේවක විරෝ­ධ­තා­වත්, ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විරෝ­ධ­තා­වත් හේතු­වෙන් එම වැඩ­පි­ළි­වෙළ මද කල­කට ප්‍රමාද විය. පසුව එම පර්ය­න්ත­යට යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනීම සඳහා උත්සාහ කළ ද ලැබූ මිල ගණන් මුල් අව­ස්ථා­වට වඩා 25-30% ප්‍රමා­ණ­ය­කින් මිල වැඩි වීම නිසාත්, ලබා­ගැ­නී­මට සැල­සුම් කළ පොලිය 5-6% අතර පැවතී නිසාත් එය ව්‍යර්ථ විය. යහ­පා­ලන ආණ්ඩුවේ මෙම අදූ­ර­දර්ශී තීර­ණය නිසා වරාය අධි­කා­රි­යට පම­ණක් නොව රටට ද විශාල පාඩු­වක් සිදු විය.

මුලින් සැල­සුම් කළ පරිදි මෙම ව්‍යාපෘ­තිය සිදු කළේ නම් අම­තර කිසිදු ණයක් ලබා­ගැ­නී­මෙන් තොරව එම පර්ය­න්ත­යෙන් ලැබුණු ආදා­ය­මින් ඒ සඳහා වැය­වෙ­තැයි ඇස්ත­මේ­න්තු­ගත කර තිබූ ඇම­රි­කානු ඩොලර් මිලි­යන 325 ක පමණ වන මුදල සම්පූ­ර්ණ­යෙන් විය­දම් කර සියලු ඉදි­කි­රීම් සිදු කිරී­මට හැකි­යාව තිබුණි. එසේ වූයේ නම් මේ කලා­පයේ ඇති විශා­ලම බහලු මෙහෙ­යුම් පර්ය­න්ත­යට හිමි­කම් කීමට අප රටට හැකි­යාව තිබුණි. එමෙන්ම මේ වන­විට වරායේ මෙහෙ­යුම් ප්‍රමා­ණය වර්ෂ­යක බහ­ලුම් මිලි­යන 8 ඉක්මවා යාම­ටත් හැකි­යාව තිබුණි. එසේම ලොව ප්‍රධාන වරා­ය­වල් 30 අත­රට ඒමේ හැකි­යාව ද තිබුණි. තවද වරාය අධි­කා­රි­යට වාර්ෂි­කව රුපි­යල් බිලි­යන 80 ඉක්මවූ අදා­ය­මක් ලබා­ගැ­නී­මට හැකි­වන අතර එම­ඟින් රාජ්‍ය අදා­යම වර්ධ­නය කර­ගෙන ජන­තාව මත පටවා ඇති බදු බර පවා අඩු­කි­රීමේ හැකි­යාව ලැබේ.

 

 

Comments