කොරෝනා කාලේ වද විඳි දරුවන්ගේ ඛේදවාචකය | Page 2 | සිළුමිණ

කොරෝනා කාලේ වද විඳි දරුවන්ගේ ඛේදවාචකය

ලෝකය දිනීමට සිටිනා දරුවන්ට හැකි අයුරින් ගුණාත්මක දෑ මෙන්ම නැණ නුවණ ලබාදීමද වැඩිහිටියන් වශයෙන් අප සියල්ලන්ගේම යුතුකමකි. යුතුකමකටත් වඩා එය වගකීමකි. ළමයින් මල් මෙන්ය. එසේ කීවේ ඔවුහු ශාරීරිකව මෙන්ම මට සිළුටු වූ මනසකින් ද යුක්ත බැවිනි. එවන් මල් වැනි වූ ළමා පරපුර ද මේ මොහොත වන විට වැඩිහිටියන්ගේ දැනුම්වත් කමින් මෙන්ම නොදැනුවත්කමින් සිදුවන නොයෙකුත් කටයුතු නිසා විවිධ හිංසනයන්ට ලක්වීම ලෝකය පුරා මෙන්ම ලංකාව තුළ ද බහුලව දක්නට ලැබෙන කරුණකි.

පසු ගිය කලක් පුරා ම ලංකාවේ ළමුන් සම්බන්ධයෙන් පවතින නීති රීති වලින් පවා රිංගා ගොස් දරුවන්ව විනාශකාරී මට්ටමේ සිදුවීම් කරා යොමු කරනා විවිධ ප්‍රවෘත්තීන් අපට අසන්නට දකින්නට ලැබුණි. ඒවා බොහෝ විට තැලීමි පෙලීම් පහරදීම් වැනි දෑ වලට යොමු වන අතර තවත් ආකාරයකින් එය සීමාව ඉක්මවා ගොස් ලිංගික හිංසනයන් දක්වාද ගෙන යන බව දැකිය හැක. බහුතරයක් කරුණු සලකා බැලීමේදී ප්‍රචණ්ඩත්වය මෙන්ම ළමා ලිංගික හිංසන සිදු ව ඇත්තේ ද තම පවුලේ ඥාතීන් තුළිනි. එසේත් නොමැති නම් තමා හොඳින්ම දන්නා සමීපතමයන්ගෙනි. මේ හා සම්බන්ධ කරුණු මූලික කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ 47 පවසන්නේ මෙවැන්නකි.

පසුගිය කොවිඩ් වසංගත සමයේදී දරුවන් සම්බන්ධයෙන් ගතහොත් ඔවුනට ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද වදහිංසාවලට ලක් වීමට සිදු වූ කාල පරිච්ඡේදයක් ගත කිරීමට සිදුවූ බව බවයි. එය අනෙකුත් කාල හා සංසන්දනය කර බැලීමේදී ඉතා ඉහළ අගයක් ගන්නා බව පවසන සභාපතිවරයා සමස්තයක් ලෙසින් ගතහොත් ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල 75% ක පමණ අඩු වීමක් දක්නට ලැබුණු බව ද ළමා ශ්‍රමික තත්ත්වය පිළිබඳව ලැබෙන පැමිණිලිවලද සැලකිය යුතු ප්‍රමාණයක අඩුවක් දක්නට ලැබුණු බව ද සඳහන් කරයි.

කෙසේ වෙතත් මාර්තු මස 16 වන දා සිට ජුනි මස 16 වන දා දක්වා කාලය තුළ ළමා අපයෝජනයන් සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි 3500 ක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණි. මේ කාලය තුළ දරුවන් 927 දෙනෙකු ක්‍රෑර ලෙසින් වද හිංසාවලට ලක් විය. එය මාර්තු මස 16 වන දිනට පෙර ලැබුණු සිදුවීම් හා සලකා බැලීමේදී 40% ක වැඩි වීමකි. ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශයට පත් කරන ආකාරයට මේවාට හේතු සාධක වන කරුණු ලෙසින් සලකා බැලිය හැක්කේ මෙම කාල සීමාව තුළ රට ලොක්ඩවුන් තත්ත්වයේ පැවතීමය. ඒ අනුව කිසිදු දරුවකුට වෙනත් ස්ථානවලට ගමන් කිරීමට සිදු වූ නොවූ නිසා සමස්තයක් ලෙස ගතහොත් වදහිංසාවලට ලක් වීම සිදුව ඇත්තේ තම පවුල ඇතුළතදීය.

එමෙන්ම තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් පසුගිය කොවිඩ් වසංගත සමයේ ලිංගික හිංසනය ද බහුලව සිදුව ඇති බව දක්නට ලැබෙන කරුණකි. මාර්තු මාසයේ පළමුවැනිදා සිට 30 වැනිදා අතර කාලයේදී ලිංගික හිංසනයන් 12ක් සිදුව ඇති අතර ඉන් පසු මාසයේ එනම් අප්‍රේල් මාසයේදී පමණක් එය 65 දක්වා ද මැයි මාසයේ එය 100 ඉක්මවා ද කෙමෙන් වර්ධනය වී ඇති බවත්ය. මේ ආකාරයට ලිංගික හිංසනය වර්ධනය වීම සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ මාර්තු මාසයේ එය ඉතා අඩු අගයක් ගැනීමට හේතු වී ඇත්තේ මුල් මාසයේ දී පැවැති තත්ත්වය වසංගත ආරම්භක සමය නිසා එකී පැවති තත්ත්වයට හැඩගැසීමට සියලු දෙනා සූදානම් වූ බවත් ඉන්පසුව ක්‍රමයෙන් ඔවුන්ගේ මානසික පීඩනයත් මානසික ආතතියත් වැඩිවීම කරණ කොටගෙන මෙවැනි දේට යොමුව ඇති බවත්ය.

ළමුන් සම්බන්ධයෙන් ගත් විට ලෝකය පුරාම දක්නට ඇති අනෙක් බරපතළම ගැටලුව බවට පෙනෙන්නට තිබෙන්නේ ළමා ශ්‍රමික ගැටළුවයි. එය වැඩිවශයෙන් දක්නට ලැබෙන්නේ තුන්වන ලෝකයේ රටවල්වලය. ඒ අනුව ශ්‍රී ලංකාව ද එයට ඈඳුණු එක් රටකි. මේ සම්බන්ධව ළමා ආරක්ෂක අධිකාරියට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන අතර කොවිඩ් වසංගත සමයේ දී එම ලැබෙන පැමිණිලිවල අඩුවක් දක්නට ලැබුණි. එය 1.5% පමණ ප්‍රමාණයේ පැවතුණි. වසංගත තත්ත්වය අහවරව රටේ ඇඳිරිනීතිය අවසන්වී රට කෙමෙන් විවෘත වූ පසු එය 3%ක් පමණ වූ බව ද දකින්නට තිබේ.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව එය ප්‍රධාන මූලධර්ම හතරක් මත පදනම් ව පවතී. එනම් ළමයාගේ මතයට ගරු කරනු ලැබීම, වෙනස් කොට නොසැලකීම, ළමයාගේ සංවර්ධනය පිළිබඳ අයිතිය හා දරුවාගේ උපරිම යහපත යන දෑය. කෙසේ වෙතත් මේ සියල්ල අභියෝගයට ලක්කරමින් වසංගත සමයේ වඩාත් දැඩි ලෙසින් සිදු වූ ළමා හිංසනයන් පිළිබඳව මනෝවෛද්‍ය උපදේශිකාවක වන එශාමා කාරියකරවන සඳහන් කරන ආකාරයට මේ සියලු දෑ වසංගතය පැමිණීමට පෙර සිටම ක්‍රමයෙන් තිබූ දේවල් බවයි. ලිංගික හිංසනයන් බොහෝවිට වැඩිහිටියන්ගෙන් මෙන්ම දරුවන්- දරුවන් අතර සිදුවිය හැකි බව පවසයි. ඒවා යම් දෙයක් ඇසුරෙන් සිදුවන අත්හදා බැලීම් විය හැකි බවත් බොහෝ අවස්ථා වල දී ප්‍රචණ්ඩත්වය ගලා යන්නේ ළමුන් මතින් බවයි. ළමා හිංසනය පැමිණීමට ප්‍රධාන කරුණ ලෙසින් දක්වන්නෙ ළමුන්ගේ නිහඬතාව බවත් ලිංගික හිංසනය සම්බන්ධව පැවසීමට ඇති සරලම කාරණාව වන්නේ ලබා දෙන පණිවුඩ දුර්වල මිනිසුන් නිවැරදි ආකාරයෙන් ග්‍රහණයට ලක්කර නොගැනීම බවත්ය.

සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක යන කරුණු සියල්ලන්ටම අනුකූලව පවුල යනු සමාජය තුළ පවතින කුඩාම වූ ශුද්ධ වූ ඒකකයයි. සියල්ලන්ගේම ආරක්ෂාව, සෙනෙහස, රැකවරණය රැඳී ඇත්තේ එකී පවුල් සංස්ථාව තුළ ය. විශේෂයෙන් ළමුන්ගේ ආරක්ෂාව කෙරෙහි සුවිශේෂී ම ස්ථානය වන්නේ තම නිවසයි. නමුත් මේ කරුණු අනුව සලකා බැලීමේදී එය බරපතළ ගැටලුවක් බවට පරිවර්තනය වී ඇත්තේ මෙම කාල සීමාව තුළ වැඩිම ළමා හිංසන ප්‍රමාණයක් වාර්තා වීමයි. ඒ අනුව උපකල්පනය කල හැකි ආකාරයට ඒවා බොහෝ සෙයින් වාර්තා වී තිබෙන්නේ තම නිවස තුළිනි.

මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය මෙයට හේතු ලෙසින් දක්වන්නේ වැඩිහිටියන් තුළ පවතින මනෝ විකෘතිභාවයයි. මිනිසුන් හුදෙකලා වීමට අකමැති නිසා තමුන්ගේ කාන්සිය මගහරවා ගැනීමට ලිංගික දර්ශන ආදිය නැරඹීමත් මෙවැනි කරුණු උදෙසා බලපා ඇති බවයි. එමෙන්ම සමාජයේ සංසරණය වන මත්ද්‍රව්‍ය ද මේ සඳහා බලපෑම් එල්ල කරන බව මහාචාර්යවරියගේ අදහසයි. පසුගිය කාලය පුරාම සමාජය තුල සැරිසැරූ වැඩිහිටියන් සමාජයෙන් විතැන්වීමට සිදුවීම නිසා ඔවුනට එය ඔරොත්තු නොදීමේ අපහසුතාව මත ආවේග පාලනය කර ගැනීමට නොහැකි වූ තැන සිදු වන්නේ එය කෙලෙස හෝ මුදාහැරීමයි. මෙවන් සමයක වැඩිහිටියන්ට පහසුවෙන්ම තම ආවේග මුදා හැරිය හැක්කේ තම නිවැසියන් තුළ නිසා වඩාත්ම එය යොමු වන්නේ දරුවන්ටය.

හොඳම දේ දරුවන්ට ලබා දිය යුතු ය යන කරුණ මත සලකා බැලීමේදී රටක අනාගතය භාර ගැනීමට සිටින පිරිසක් වශයෙන් අනිවාර්යයෙන්ම ඔවුන් එයට හිමිකම් පාන්නට උරුමකරුවන් වෙති. එසේ වීමේ දී ඔවුන් සතුව අයිතිවාසිකම් ප්‍රමාණයක් ද පවතී. මේ නිසාම ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබීමට නම් යම් ක්‍රමයක් අත්‍යවශ්‍ය වේ. මේ ගැන කරුණු සලකා බලා ළමා අයිතිවාසිකම් යනුවෙන් නීතිමය පිළිවෙත් කිහිපයක් ලෝකයට හඳුන්වා දෙන්නට ජාත්‍යන්තර ළමා ආරක්ෂක සංගමය පිහිටුවීය. වගන්ති 54 කින් යුත් එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය වෙනුවෙන් 1991 වසරේදී ශ්‍රී ලංකාව ද අත්සන් තැබීය. ලංකාව තුළ ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීම උදෙසා 1998 අංක 50 දරණ පනත මගින් අපයෝජනයට ගොදුරු වූ දරුවන් ගේ ප්‍රතිකාර කටයුතු මෙන්ම ආරක්ෂාව පිණිස සියලු ආකාරයේ ළමා අපයෝජනයට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවීමට තීරණය කළේය.

ඒ අනුව පසුගිය කොවිඩ් වසංගත සමයේ දරුවන්ට සිදු වූ මෙවන් හිංසන අරබයා කටයුතු කිරීමටද ළමා ආරක්ෂක අධිකාරිය මේ මොහොත වන විටත් කටයුතු සූදානම් කර තිබේ. මේ කරුණු වලට අනුව දරුවන්ට ශාරීරික, මානසික මෙන්ම ලිංගික හිංසනයන් කළ අය වෙනුවෙන් ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර එම අධිකාරිය පසුගිය මාස කිහිපයේදී මාපියන් හා දරුවන් වෙන්ව තිබූ පවුල් 19ක් එක් කිරීමටද කටයුතු කළේය. එසේම ජාතික ළමා කේන්ද්‍රීය මනෝ සාමාජීය සහන සේවය මගින් ඔවුන් පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට ද කටයුතු සූදානම් කර තිබේ.

 

Comments