අපේ කොල්ලෝ දින 6කින් ඉදිකළ අඩි 235 ක් දිග වේල්ල | සිළුමිණ

අපේ කොල්ලෝ දින 6කින් ඉදිකළ අඩි 235 ක් දිග වේල්ල

  • වේල්ල ඉදි­කළේ මහ­වැලි ග‍ඟේ අඩි 15 – 20ක් කිමි­දිලා වැලි අරන්
  • වැලි කොට්ට 8,000කින් ඉදි­කළ වේල්ලේ උස අඩි 15යි පළල අඩි 4යි
  • මැරෙන්න ගිය කුඹුරු අක්කර 25000ක් අස්වද්දා වී බුසල් ලක්ෂ 2ක් ගනී
     

ලොව වාරි තාක්ෂණයන් අතර අපේ රටේ වාරි තාක්ෂණයට ලැබී ඇත්තේ ඉහළම ස්ථානයකි. ඒ අනුව ලොව ප්‍රථම වැව ඉදිකර ඇත්තේ අපේ රටේ ය‍. ඒ අනුරපුරයේ අභය වැවයි. ඊට අමතරව බුලතා හැදූ සොරබොර වැව හා මිනිපේ පැරැණි අමුණ ආදිය අපේ පුරාණ වාරි ක්ෂේත්‍රයේ විස්කම් දස්කම් පැහැදිලිව පෙන්වයි. ඊට අමතරව 2010 – 2015 වකවානුවේදී දැදුරුඔය මහ හා රඹකැන්ඔය මහ ජලාශ ඉදිකිරීමේදී එහි ඉපැරැණි වේලිවල හා පිටවානේ පුරාවිද්‍යාත්මක නටඹුන් හමුවීම ද අනුව අතීතයේ අපේ වාරි තාක්ෂණයේ දියුණුව හා කාර්යක්ෂමතාව මනාව පෙන්නුම් කරයි. අපේ වැව් බැඳි රාජ්ජේ වැව් අනුව අපේ රටේ වාරි තාක්ෂණය ඉපැරැණි රජ දවස සිටම ලොව ඉහළම මට්ටමක තිබුණු බවට ඕනා තරම් සාක්ෂි ඇත.

මේ අපේ පැරැණි වාරි තාක්ෂණය අනුව ඇළ වේලි වැව් ජලාශ ඉදිකිරීමට එක්වූ අපේ රජ සමයේ සෙබළු සිහිපත් කරමින් මහවැලි ගඟ හරහා අඩි 235 ක් දිග අඩි 15 ක් උස මහ වේල්ලක් ඉදිකිරීම සිදුවී තිබේ. නැගෙනහිර මුතුර් ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා තනිකරම වැලි‍ කොට්ටවලින් ඒ වේල්ල ඉදිකළේ අපේ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් විසින් ඉතා සුවිශේෂී කරුණකි.

සිංහල දෙමළ මුස්ලිම් පවුල් 15,000 ක් අස්වැද්දූ කුඹුරු අක්කර 25,000 ක් සඳහා ජලය ලබාගන්නා මාවිල්ආරු ජලාශයට අවශ්‍ය ජලය ලබාදීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතුර් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා මෙම වේල්ල ඉදිකර ඇත්තේ සිවිල් ආරක්ෂකයන් 110 දෙනෙක් සාමූහිකව කටයුතු කරමිනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පොලොන්නරුව ප්‍රධාන අණදෙන නිලධාරි මේජර් එම්.ඒ. දිනේෂ් කුමාර මහතා අප සමඟ පැවසුවේ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ගේ අධීක්ෂණය මත සිවිල් ආරක්ෂක පොලොන්නරු බළකාය මගින් මේ වේල්ල දින 6 ක් තුළ ඉදිකළ බවයි.

“පසුගිය කාලයේ කොරෝනා වසංගතය වැඩිපුර පැතිර ගිය කාලයේ මැයි ජූනි මාසවල මුතුර් ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇල්ල කන්තලේ ව්‍යාපාරයේ මහවැලි ජලයෙන් අස්වද්දන කුඹුරු අක්කර 25000 කට පමණ ජලය අඩු වුණා. මේකට ජලය දෙන්නේ මාවිල්ආරු ජලාශයෙන් ඒ ජලාශයට මැයි ජූනිවලට ලැබෙන වතුර අඩුයි. ඒ ජලාශයට වතුර ලැබෙන්නේ මහවැලි ග‍ඟේ අතු ගංගාවක් වන කන්දකාඩු ඇළෙන්. මේ කාලෙට ඒ අතු ඇළට මහවැලි ග‍‍ඟෙන් ජලය එන්නේ අඩුවෙන්. මහවැලි ග‍ඟේ පතුල මට්ටමට වඩා මේ අතු ඇළේ පතුලේ මට්ටම ඉහළ නිසා‍ මහවැලි ග‍ඟේ ජල මට්ටම අඩුවූ විට මේ ඇළට ජලය ගලායාම අඩුයි. එවිට මාවිල්ආරු ජලාශයට වතුර අඩු නිසා අල්ල - කන්තලේ ව්‍යාපාරය යටතේ ඇති කුඹුරු ඉඩම් අක්කර 25000 ක් විතර ජල හිඟය නිසා ‍විනාශ වෙන්න ඉඩ තිබුණා. මේ පිළිබඳව මුතුර් වාරිමාර්ග අධ්‍යක්ෂතුමා අප වෙත පෙන්වාදී මෙම වේල්ල ඉදිකර දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කළා. ඒ අනුව මගේ සෙබළු 110 ක් දවස් 6 ක් යොදවා මහවැලි ගඟ හරහා අඩි 235 ක් දිග අඩි 4 ක් පළල අඩි 15 ක් විතර උස වේල්ලක් වැලි කොට්ටවලින් ඉදිකළා” මේජර් දිනේෂ් පවසයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව අණදෙන නිලධාරි මේජර් දිනේෂ් තවදුරටත් පවසන්නේ මේ සඳහා වැලි කොට්ට 8000 ක් පමණ පාවිච්චි කළ බවයි. මේකට වැලි ලබාගන්නට අපේ සෙබළු අඩි 15 -20 ගැඹුරට මහවැලි ග‍ඟේ කිමිදුණා. සමහර අයට සෙම්ප්‍රතිශ්‍යාව පවා හැදුණා. සියලු දෙනා කැලේ මැද වාඩි ගහලා ඒ දින 6 තුළ උයාගෙන කාලා තමයි මේ වැඩේ කළේ. උදේ හයේ සිට සවස 6 දක්වා දැඩි වෙහෙස නොබලා වේගයෙන් වැඩ කරලයි මේක ඉදිකළේ. මහවැලි ග‍ඟේ ජල පහර නොසලකා අපේ සෙබළු මේ වැඩේ කළා කවුරුවත් මේ තරම් දිග වේල්ලක් දින 6 කට බැඳලා නැහැ. මේ පිළිබඳව මම ඒ සෙබළුන්ට ස්තුතිවන්ත වෙනවා” මේජර් දිනේෂ් පවසන්නේ මවුබිමට කළ යුතු යුතුකමක් තමාගේ මෙහෙයවීමෙන් කළ සතුට සමරමිනි.

මේ වැලි වේල්ල නිසා ප්‍රතිලාභ ලැබුණු පවුල් ගණන 15000 කට අධිකය. ඒ අනුව නැගෙනහිර පළාතේ මුතුර් ප්‍රාදේශීය ලේකම් බල‍ ප්‍රදේශයේ කල්ලාරු සේරුවිල, මුතුර්, වේරුගල්, ඉච්චලන් පත්තු වැනි ප්‍රදේශවල සිංහල දෙමළ හා මුස්ලිම් පවුල්වල 40000 ක් පමණ දෙනා මේ වේල්ල ඉදිකිරීම නිසා සතුටට පත්ව සිටිති. “මේ වේල්ල හැදුවේ නැත්නම් යල කන්නේ අපේ කුඹුරු ටික වේළිලා යනවා. ගොයම් පිදෙන කාලෙට හැමදාම මේ ජලාශවල ජලය අඩු වෙනවා. වෙනදාට සිංහල දෙමළ මුස්ලිම් ගොවි සංවිධාන 42 ක් එකතු වෙලා වේල්ලක් බඳිනවා. ඒත් මේ සැරේ කොරෝනා රෝගය නිසා අපිට එකතු වෙලා ඒ වැඩේ කරන්න බැරි වුණා. ඒ අතර තමයි මාවිල්ආරු ජලාශයේ වතුර අඩු වුණේ. සිවිල් ආරක්ෂක නිලධාරීන් අපේ පිහිටට ආවේ නැත්නම් අපිට ඉදිරි මාස 6 බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. මේකට අපේ වාරිමාර්ග ඉංජිනේරු අකිලන් මහත්තයා තමයි පෙරමුණ ගත්තේ ඒ මහත්තයා තමයි සිවිල් ආරක්ෂක නිලධාරින්ගෙන් මේක කරලා දෙන්න කියල ඉල්ලුවේ” ප්‍රදේශයේ ගොවි සංවිධාන නායකයෝ පවසන්නේ මේ සද්කාර්යයට එක්වූ සියලු දෙනාට කෘතවේදිත්වය පළ කරමිනි.

මේ පිළිබඳව දැන් කරුණු දැක්වූ මුතුර් වාරිමාර්ග අධ්‍යක්ෂ කමලනාදන් අකිලන් මහතා පැවසුවේ අල්ල -කන්තලේ ගොවි සංවිධාන 42 ක් වගාකරන අක්කර 25000 ක් සඳහා සිදුවූ ජල හිඟය මැඩ පැවැත්වීමට මේ වේල්ල ඉදිකළ බවයි. “වෙනදාට මේක ගොවි සංවිධානවල 2000 – 3000 ක් එකතු වෙලා කරනවා. ඒත් මේ සැරේ කොරෝනා නිසා ඒක කරන්න බැරි වුණා. පස්සේ මම මේක කරලා දෙන්න කියලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තු සහිතව ඉල්ලා සිටියා. ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පොලොන්නරු අණදෙන නිලධාරිතුමාගේ මෙහෙයවීමෙන් හිතුවාටත් වඩා ඉක්මනින් වෙනදාට වඩා හොඳට ඒ වැඩේ කරලා දුන්නා. මේ නිසා අල්ල කන්තලේ ගොවි ව්‍යාපාරයෙන් මෙවර යල් කන්නයේ වී බුසල් ලක්ෂ 2 කට වැඩි වී අස්වැන්නක් ලබාගන්නට හැකිවෙනවා” වාරි ඉංජිනේරු අකිලන් පවසයි.

මොන භයානක තත්ත්ව යටතේ වුවත් අපේ රටට ත්‍රස්ත තර්ජන, රෝගාබාධ, වසංගත, ආපදා, ගංවතුර, නියඟ ආදී සියල්ල ආවත් එයට පිහිට වෙන හොඳ හදවතක් ඇති රණවිරුවෝ රැසක් අපට සිටිති. ඒ අතර රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හැමදාම දිවි නොතකා කැපවූ කැපවෙන සිවිල් ආරක්ෂකයන් කළ මේ මහ මෙහෙය ද අගය කළ යුතු වෙමු.

 

Comments