අකාලයේ දිවියට සමුදුන් ආණමඩුවේ පහන් සිළුව අශෝක වඩිගමංගාව | සිළුමිණ

අකාලයේ දිවියට සමුදුන් ආණමඩුවේ පහන් සිළුව අශෝක වඩිගමංගාව

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අශෝක වඩිගමංගාව නොසිතු මොහොතක පසුගිය 5 වන දින පස්වරු අභාවප්‍රාප්ත විය. දේශපාලනය කෙසේ වෙතත් මෙම හදිසි මරණය සම්බන්ධයෙන් වු පුවත දැන ගත් වයඹ පළාතේ වැඩි පිරිසක් දැඩි ලෙසින් කම්පනයට පත් වු බවත් ඒ සමඟ වාර්තා විය. කුරුණෑගල සිට නිකවැරටිය පුත්තලම මාර්ගය ඔස්සේ තනිවම ස්වකීය මෝටර් රථය පදවා ගෙන එන අතර වාරියපොළ පාදෙණිය මාරගස්ගොල්ල හන්දියේ දි ඔහු පැමිණි මෝටර් රථය ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක් හා මුහුණට මුහුණ ගැටී මේ අනතුර සිදුවු බව වාරියපොළ පොලිසිය කියයි. අනතුරින් බරපතළ ලෙසින් තුවාල ලබා සිටි වඩිගමංගාව වාරියපොළ මුලික රෝහලට ඇතුළත් කිරිමට ගෙන යමින් සිටිය දී මිය ගිය බව පොලිසිය කියයි. ඔහුගේ රථයේ ගැටුණ ලොරි රථයේ සිටි රියදුරු ද තුවාල ලබා නිකවැරටිය මුලික රෝහලට ඇතුළත් කර ඇත.

කිසියම් කටයුත්තකට සහභාගි වී තනිවම ආණමඩුවේ පිහිටි තම නිවස වෙත ගමන් කරමින් සිටිය දි මෙම ඛේදවාචකයට අශෝක වඩිගමංගාව මුහුණ දී තිබුණි. ඔහු සිටි මෝටර් රථය පදවා ගෙන යන අතර අනතුර සිදුවු ස්ථානයට ආසන්න වන විටම රථය වැරදි පැත්තට ගමන් කර ඉදිරියෙන් පැමිණි රථයේ හැපී මේ අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇති බව පොලිසිය කියයි. රථයේ එන අතර ඔහුට නොසිතු ලෙසින් නින්ද යෑම අනතුරට හේතුව විය හැකි බවත් පොලිසිය කියයි‍. මේ සම්බන්ධයෙන් වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර රථවාහන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ධර්ම කුමාර සැරයන් උපාලි (56573) යන අය පරික්ෂණ සිදු කළහ.

අශෝක වඩිගමංගාව උපත ලැබුවේ 1952 ජුලි මස 1 දා ය. ආණමඩුව මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඔහු පාසල් වියේ පටන් වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂයකු මෙන්ම එම ක්‍රීඩාව නගා සිටුවන්න දැඩි කැමැත්තක් දැක්වූ අයෙකි. ‍වඩිගමංගාව තරුණයා 1977 මහ මැතිවරණය වන විට ආණමඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධත්වයට පත් වුයේ එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය නායකයකු ලෙසිනි. ඔහු එම පක්ෂයේ ආසන සංවිධායකකම ලබා ගැනීම‍ට දැඩි ලෙසින් වෙහෙස ගෙන කටයුතු කර ඇත. එහෙත් එවකට පක්ෂ නායක ජේ.ආර්.ජයවර්ධන ඔහුට ආසන සංවිධායක ධුරය හෝ 1977 මහා මැතිවරණයේ දි ආණමඩුව මැතිවරණ කොට්ඨාසය සඳහා තරග කිරිමට අපේක්ෂකත්වය පවා නොදුන්නේය. එම අවස්ථාව හිමි වුයේ ආණමඩුවේ එම්.එම්.චන්ද්‍රසේනය. එහෙත් වඩිගමංගාව පක්ෂ නායකත්වයේ තීරණයට අභියෝග නොකළ අතර ඔහු හැකි පමණ චන්ද්‍රසේන ට ජය පතා සිය දායකත්වය දී තිබුණි.

එම මැතිවරණයේදී හයෙන් පහක බලයක් ලබා ගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමට ජේ.ආර්.ජයවර්ධනට හැකි වුවත් ආණමඩුව ආසනය දිනා ගැනීමට ඔහුට නොහැකි විය. ආණමඩුව ප්‍රදේශයේ එජාප පාක්ෂිකයන් එදා කීවේ අශෝකයන් ඉදිරිපත් කළේ නම් දිනිය හැකිව තිබු බවය. එම ජන්දයෙන් ජය හිමි වුයේ සමගි පෙරමුණෙන් ඉදිරිපත් කළ අපේක්ෂක සද්ධාතිස්ස වඩිගමංගාවයි. ඔහු අශෝකගේ ඥාතියෙක්ද විය. සද්ධාතිස්ස මහතා ජය ගනු ලැබුවද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ප්‍රමුඛ පිරිසක් විසින් ඔහුට එරෙහිව ජන්ද පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් ක‍ර තිබුණි. එහි තීන්දුව වුයේ සද්ධාතිස්ස මහතාට අසුන අහිමි වීමය. මේ අනුව 1980 දි පැවැති ආණමඩුව අතුරු මැතිවරණයට ඉදිරිපත් කර තිබු එජාප අපේක්ෂක අශෝක මහතා ජය ගනු ලැබීය. අශෝක මහතා ජාතික දේශපාලනයට ඇතුළත් වුයේ එලෙසය. සිය ජයග්‍රහණයෙන් පසු ඔහුට අවශ්‍යය වුයේ සංවර්ධනයේ අරුණලු ආණමඩුව කරා රැගෙන ඒමටය. විශේෂයෙන්ම ඔහු ද එවකට නිවාස ඇමති රණසිංහ ප්‍රේමදාස මහතා මෙන්ම නිවාස නොමැති අයගේ හිසට සෙවණක් ලබා දීමට දැඩි රුචිකත්වයක් දැක්විය.

මේ අනුව ඔහු තමන් වටා සිටි තරුණ කැල එකතු කර ගෙන ආණමඩුව සිට කතරගම දක්වා පා ගමනක් ගොස් ආපසු ඒමට පියවර ගත්තේය. එම ගමනින් එකතුවන මුදල් යොදා ආණමඩුවේ නිවාස ලබා දීමට පියවර ගත්තේය. සැතපුම් 660 ක් දුරැති එම ගමන සිතු ලෙසින් යාමට ආශෝක මහතාට හැකි විය.ඊට උපහාරයක් පිණිස එවකට නිවාස ඇමති ප්‍රේමදාස මහතා ආණමඩුව කේන්ද්‍ර කර ගෙන 1988 දි පුත්තලම දිසාව තුළ නිවාස වැඩසටහනක් දියත් කර අාණමඩුවේ උදාගම් ප්‍රදර්ශනය පැවැත්වීය.

අශෝක වඩිගමංගාව සිය දේශපාලන ගමනේ දි ආණමඩුව ගොවි ජනතාවගේ ජල පවස සංසිදුවන්න පියවර රැසක්ම ගෙන ඇත. ඉගිනිමිටිය තබ්බෝව ගල්කිස්ස අමුණ යන ජලාශයන් ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු දැඩි ලෙසින් වෙහෙස ගෙන කටයුතු කළේය. වරක් ඔහු රාජ්‍ය ඉඩම් ඇමතිව කටයුතු කළ කාලයේ දි දිසාවේ ජනතාවගේ ඉඩම් ගැටලු රැසක්ම විසඳීමට කටයුතු කර ඇත. අලුතින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආරම්භ කිරීම, රෝහල් ආරම්භ කිරීම, පාසල් ආරම්භ කිරීම මෙන්ම තම පළාතේ උගත් තරුණ තරුණියන් රැසකටම ඔහු දේශපාලනය නොබලා රැකියා ලබා දි තිබුණි.භුමිතෙල් පහනින් රැය ආලෝකය ඇති කර ගත් ආණමඩුව ප්‍රදේශයේ ජනතාවට විදුලිය ලබා දීමට ද ඔහු පියවර ගෙන ඇත. අශෝක වඩිගමංගාව විසින් තමන් බලයේ සිටිය දී සිදු කරන ලද විශිෂ්ට සේවය මෙරට සියලු දේශපාලකයින්ට මහගු ආදර්ශයක් විය යුතු බව ඔහු සම්බන්ධයෙන් විස්තර විමසු අවස්ථාවේ දී ආණමඩුවේ ජනතාව කීහ. අදටත් එම ජනතාව ඔහු හඳුන්වන්නේ ආණමඩුවේ අප්පච්චි කියාය.

හොඳ කථිකත්වයකින් හෙබි වඩිගමංගාව වයඹ රීදි සීනුව යයි හැඳින්වුයේ ඒ නිසා විය යුතුය‍. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරිමේ විශාල මෙහෙයක් සිදු කළ වඩිගමංගාව මහතාට 2000 මහ මැතිවරණයේ දි තම පක්ෂයේම ඇතැමුන් අමානුෂිකව සැලකීම නිසා ඔහුට එම මැතිවරණයට එක්වීමට පවා ඉඩක් නොලැබුණි. මේ නිසාම ඔහු වරක් මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරිම පිණිස එක්සත් ජනතා නිදහස් පෙරමුණට ද එක්වි දේශපාලනය කර ඇත.

කෙසේ වෙතත් ඔහු වරක් වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය ක්‍රීඩා යෞවන කටයුතු ඇමති ධුරය මෙන්ම එහි විපක්ෂ නායක ධුරය ද දරා ඇත. දේශපාලනයේ දී තම පක්ෂයේම ඇතැමුන්ගේ නිහීන ක්‍රියාවන් නිසා දැඩි ලෙසින් මානසිකව වැටි සිටි නමුත් ඔහු 2015 දි යළි තම පක්ෂයට එක්වී ඇත. මෙවර මහා මැතිවරණයේ දි ඔහු සමගි ජන බලවේගයේ පුත්තලම දිසා අපේක්ෂකත්වය ලබා මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටිය දී මෙසේ සියල්ලන්ගේ පැතුම් බොඳ කරමින් අවසන් ගමන් ගියේය.

මෙතුමා ගේ විවාහ ජිවිතය ද සිදුවී ඇත්තේ අපුරු ආකාරයට බව බොහෝ දෙනෙක් කියති. කලක් ඇසුරු කළ තම පෙම්වතියගේ අත ඔහු විසින් නිත්‍යානුකුලව ලබා ගෙන ඇත්තේ එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ මැදිහත්වීමෙනි.

කෙසේ වෙතත් අශෝක ප්‍රේමලාල් වඩිගමංගාව මේ වන විට පුත්තලම ජනතාව අත්හැර සිය දිවියෙන් සමු ගෙන ගොස් ඇත. ඔහුගේ දේශපාලන දිවිය කොයි කාටත් සිය දේශපාලන ගමනට හොඳ මාර්ගයක් කර ගත හැකිවේ නම් එය ද වැදගත් වේ.

 

'ඉගිනිමිටිය නිහඬයි.

නීල බැම්ම හඬා වැටෙයි.

රදවි බැඳි ඇල්ල නිසොල්මන්.

ආණමඩුවේ අප්පච්චි සදා සුව නින්දක'

Comments