හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

ශේෂාද්‍රිට සතුට ඉහවහ ගිහින්...

පසුගිය දා ගායක ක්‍රිශාන් පෙරේරා සමඟ එකතු වෙලා ශේෂාද්‍රි අලුත් ගීතයක් එළිදැක්වූවා. ශේෂාද්‍රි මේකට දායක වුණේ පෙම්වතියගේ චරිතය රඟදක්වමින්. මේ 'මායාවී ආ' නමින් නිකුත් වු ගීතය දෙමළ ගී තනුවක්. ඉතින් ශේෂාද්‍රි මේ අලුත් ගීතය කොලිවුඩ් ප්‍රවීණ නළු ආර් මාධවන්ට අහන්න යවලා තිබුණා. නොසිතු විදියට මාධවන්ගෙන් ලැබුණු පිළිතුරෙන් ශේෂාද්‍රි පුදුමයටත් සතුටටත් පත් වෙලා. ඒ පණිවුඩයේ තිබිලා තියෙන්නේ ඔහු ඒ ගීතය ඉතා කැමැත්තෙන් රසවිඳි බව සහ එය ඉතා හොඳ නිර්මාණයක් බවයි.

 

මහේෂිට ගෞරව නාමයක්...

මේ දිනවල විකාශනය වන ඇය ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ ජනප්‍රිය නිළි මහේෂි මධුශංකා එම නාට්‍යයෙන් ඉවත් වීම ගැන නොයෙක් කතා පැතිරෙද්දි ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ඇය පසුගිය දවසක සිය සමාජ ජාලා ගිණුමට පින්තූරෙකුත් එක්ක සටහනක් තබා තිබුණා. ඒ පසුගිය දවසක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම මගින් පැවැත්වුණු උත්සවයකදී ඇය 'කලා කීර්ති අභිමානී' කියන ගෞරව නාමයෙන් පිදුම් ලබපු බවයි. එය මහේෂිගෙ ජීවිතේට ලැබුණු ලොකු සතුටක් සහ භාග්‍යයක් කියලත් ඇය එහි සටහන් කර තිබුණා..

 

හවුලේ වැඩක්...

ජනප්‍රිය නළු ඩබලක් වන ගිරිරාජ් සහ ප්‍රියන්ත මේ දවස්වල හවුලේ වැඩකට අත ගහලා වැඩේ තමයි 'ගිරා with ප්‍රියා'. ඒ දෙන්නා එකතු වෙලා පටන් ගන්න අලුත්ම යූටියුබ් චැනල් එක කියලා ගිරා අපිට කිව්වා. මේ දෙන්නගේ අවසරයක් නැතුව එයාලා කරපු හාස්‍ය රංගන වෙනත් යූටියුබ් චැනල් වලින් ප්‍රසිද්ධ කිරීම නිසා තමයි මේ චැනල් එක පටන් ගන්න හේතුව වෙලා තියෙන්නේ. බාල මහලු බේදයක් නැතුවම අවශ්‍ය අනවශ්‍ය හැමදේම මිනිස්සු අතරට යන නිසා මේ වැඩේ පටන් ගන්න ඔවුන් තීරණය කළාලූ. කොරෝනා කාලෙ යූටියුබ්වලට වැඩිම ඉල්ලුමක් ලැබෙන නිසාත්, ප්‍රේක්ෂකයන්ට හොඳ දේ විතරක් දෙන්න ඕනි නිසාත් ගිරා with ප්‍රියා මිනිස්සු අතරට එන්න තීරණය කළා කියලත් ගිරා රසඳුනට කිව්වා.

 

එලන්ගේ වෙස් පෙරළෙයි...

එලන් ඩීජෙනරස්ගේ The Ellen Show කිව්වාහම මේ ලෝක ප්‍රසිද්ධ වැඩසටහන ගැන නොදන්න කෙනෙක් ඉන්නවද.. එලන් හරිම විනෝදශීලී, සමාජශීලි චරිතයක් විදිහටයි මෙතෙක් හැමෝම දැනන් හිටියේ.. නමුත් එහෙම හොඳ නමක් කාගෙත් ආදරේ දිනා ගත්තු එලන් ගැන ළඟඳි ඉඳන් පැතිරෙන ආරංචි නම් එච්චර හොඳ නැහැ. එයා දැන් නොසෑහෙන්න වෙනස් වෙලා, නපුරු වෙලා කියලයි ඒ ආරංචිවලින් කියන්නේ.. මෑතකදි එයාගේ වැඩසටහනට සහභාගී වු කිහිප දෙනෙක්ම ගොඩක් කැමැත්තෙන් එයට සහභාගී වුණත් එලන්ගේ හැසිරීම ඔවුන්ව පුදුමයට පත් කළ බව පවසා තිබුණා. එලන් ගේ සමීපතයින් මේ ගැන ප්‍රශ්න කර තිබුණත් ඇය ඒ කිසිම දේකට උත්තර දෙන්න ඉදිරිපත් වෙලා තිබුණෙ නැහැ. ඒ නිසාම සුප්‍රසිද්ධ එලන්ගේ සැබෑ ස්වරූපය මේක වෙන්න ඇති කියලයි දැන් ගොඩක් දෙනා කියන්නේ.

 

ප්‍රියංකාට දැන් අවුරුදු විස්සයි...

නෑ නෑ.. අපි මේ කතා කරන්නේ සුප්‍රකට බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාගේ වයස ගැන නෙවෙයි. ඇගේ රංගන ජීවිතය ගැනයි. ප්‍රියංකා යි ජෝනාසුයි ඇයගේ රංගන ජීවිතයේ විසි වන වසර පසුගිය දවසක සැමරුවා. එදින ඇගේ රංගන දිවියට මූලික අඩිතාලම වූ 2000 වසරේ ලෝක රූ රැජණ කිරුළ ගැනත් 2003 වසරේදී Hero : Love story of a spy නමින් ඇයට බොලිවුඩයට ඇතුළු වෙන්න මං තැනූ චිත්‍රපටය ගැනත් ප්‍රියංකා සිහි කළා. ඒ වගේම Baywatch චිත්‍රපටයෙන් හොලිවුඩයට ඇය මුලින්ම පා තැබූ විදියත් ඇය එදා මතක් කළා.

 

මේගන්ට බයයිලූ...

මේ දිනවල නැවතත් හැරී - මේගන් පිළිබඳ නොයෙක් පුවත් මාධ්‍ය පුරා සංසරණය වෙනවා. ඒ අස්සේ එළිසබත් මහ රැජන දැන් ප්‍රසිද්ධියේම මේගන්ට තම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නත් පටන් අරන්. එළිසෙබත් මහ රැජනගේ මේ හැසිරීම නැවතත් ගැබ්බරව සිටින මේගන් කුමරිය සිත් තැවුලට පත් කර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නමුත් ඇත්තටම එය සිත් තැවුලකට එහා ගිය බයක්. මේ දවස්වල බොහොම නිහඬ පිළිවෙතක් රකින මේගන්, ජීවිතය ගැන අවධානමක් දැනෙන බවත් තම සැමියාගේ මවට අත් වූ ඉරණනම තමාටත් අත්වේවි යන බියකින් තමා පසු වන බවත් ඇගේ මිතුරියකට ලිපියක් මඟින් දන්වා තිබූ බව මාධ්‍ය පවසනවා. නමුත් තමන් බිය වන්නේ කාටද සහ එසේ බිය වීමට හේතුව ගැන ඇය එම ලිපියේ කිසිවක් සඳහන් කර නැහැ.

නෙත්මි යශෝධා සන්දීපනී

[email protected]

Comments