සිතුම් පැතුම් වෙනස් නිසා ජීවිතේ නීරස නැහැ | සිළුමිණ

සිතුම් පැතුම් වෙනස් නිසා ජීවිතේ නීරස නැහැ

 ඔහු නීතිඥ ලලිත් පියුම් පෙරේරා ය. ජාතික ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපතිත්වය දරන ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයටත් අනතුරුව නීති විද්‍යාලයටත් ඇතුළත් වන ඔහු පශ්චාත් උපාධිය ලබන්නේ එංගලන්තයේ කිංග්ස්ටන් විශ්ව විද්‍යාලයෙනි. මෙරටට පැමිණීමෙන් පසු සාගර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වන ලලිත් පියුම් පෙරේරා, 2010 වසරේදී ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ සභාපතිත්වයට පත්වේ.

"කුඩා කාලයේ සිටම මම විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදුණා. මහර කුමාර කණිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය පාස්වෙලා මම රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. ශිෂ්‍ය නායකයකු ලෙස වගේම විවාද කණ්ඩායමත් නියෝජනය කළා. නීති විද්‍යාලයේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රතිශීලී ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටි නිසාම අවසන් වසර වන විට ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති විදිහට පත්වුණා. මේ වන විට මම SLIIT ආයතනයේ බාහිර දේශකයකු ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන කොවිඩ් 19න් පසු තරුණයන්ගේ හැසිරීම කෙසේ විය යුතුද යන්න පිළිබඳ වැඩසටහනකටත් මේ දිනවල සහභාගි වෙනවා”

සිය වෘත්තීය ගමන් මඟ සිහිකරමින් ලලිත් පියුම් පෙරේරා එසේ කීවේය.

“තරුණ පරපුරට මගේ දැනුම සහ අත්දැකීම් ලබා දීමට මම වඩාත් කැමතියි. තරුණ කටයුතු සම්බන්ධයෙන් මම විශාල වශයෙන් හදාරා තිබෙනවා. කාලයක් මම ජනමාධ්‍යවේදියකු ලෙසත් කටයුතු කළා. අපි වයසට ගියත් අපේ අත්දැකීම්වලි‍න් තරුණ පරපුර වෙනුවෙන් විශාල කාර්යයක් ඉටුකළ හැකි යැයි මම විශ්වාස කරනවා. තරුණ පරපුරට ඉදිරියට ඒමට අවස්ථා පුළුල් කළ යුතුයි.”

වගකීම් සහ අභියෝග සපිරි වෘත්තියක නියැළෙන ඔහුගේ ජීවන සහකාරිය පායාතාමරී ජයසිංහය. හුරතල් හුරුබුහුටි දරුවන් තිදෙනකුගේ මවුපියන් වන ලලිත් පියුම්-පායාතාමරීගේ ආදරණීය කැදැල්ල පිහිටා ඇත්තේ නුගේගොඩ කන්දෙවත්ත ටෙරසයේ නිහඬ නිසංසල පරිසරයකය.

“මිනිහෙක් සම්පූර්ණ වෙන්න නම් විවාහ වෙලා පවුලක් නිර්මාණය කළ යුතුයි. දරුවන් හැදිය යුතුමයි. පවුලක් හදන තුරු කෙනකුට තම මවුපියන්ගේ වටිනාකම තේරුම් ගන්න බැහැ. ඒ වගේම දරුවෙක් හදන්න, රැකබලා ගන්න, උස්මහත් කරන්න කොයිතරම් ‍වෙ‍හෙස මහන්සියක් දැරිය යුතුද කියලා තේරුම් ගන්න නම් මවුපියෝ වෙන්නම ඕන”

විවාහ දිවියේ වටිනාකම් ගැන ලලිත් පියුම් පෙරේරා එසේ කියද්දී ඔවුන්ගේ ආදර කතාවේ සොඳුරු යටගියාව ගැන පායාගේ මතකය අවදි කළෙමු.

"මුලින්ම අපි හඳුනා ගත්තේ 2001 දී මගේ මිතුරියක මාර්ගයෙන්. ඒ දවස්වල මම ලැට්වියාවේ මෙඩිසින් කරනවා. එයා හිටියේ එංගලන්තෙ. ඉන්ටර්නෙට් හරහා කතාබහ කළාට අපි අතර ආදර සම්බන්ධයක් තිබුණේ නැහැ. මම ලංකාවට ආවට පස්සේ ගෙදරින් විවාහ යෝජනා ගෙනාවත් ඒ එකකටවත් මගෙ හිත ගියේ නැහැ. ඔහොම ඉන්නකොට 2005 දී ආයෙත් පියුම් කතා කරන්න පටන් ගත්තා. එතකොට මම ඇහුවා මේ අර අවුරුදු පහකට කලින් කතා කරපු පියුම්ම ද කියලා. මොකද ඒ කාලේ මම ඒ නමට කැමැතිම නෑ. මගේ වෙබ් කැම් එකක් තිබුණු නිසා ෆේස්බුක් එක හරහා කතා කරද්දි එයා මාව දැක්කට මම එයාව දැකලා තිබුණෙම නැහැ. පස්සේ එයත් කැම් එකක් දාලා මට එයාව පෙන්නුවා. තට්ටෙ නිසා ටිකක් වයස පාටට දැක්කේ. ඒත් එයා මට වඩා අවුරුදු හතරයි වැඩිමහල්. දවසක් එයා එකපාරටම ලංකාවට ඇවිත් මාව පුදුම කළා. ඒ ඇවිත් ගියාට පස්සේ අපි දෙන්නා වැඩිපුර චැට් කරන්න ගත්තා. හැබැයි මම එයාට කිව්වා “කතා කළාට වැඩක් නැහැ කේන්දර ගැළපෙන්නේ නැත්නම් බඳින්නෙ නෑමයි” කියලා. මොකද අපේ අම්මා මුල ඉඳලම ඒක කියලා තිබුණේ“

ඒ ආදර කතාවේ රසමුසු, සොඳුරු මතක රැසක් පායා සිහි කළේ හිනැහෙමිනි. හදවත් මෙන්ම කේන්දර ද අපූරුවට පෑහුණු ඔවුන්ගේ විවාහය සිදුවූයේ 2008 වසරේ ජුනි 23 වැනිදා බව පායා කීවාය‍.

“ඉස්සර එයා පියුමක් වගේම ගොඩාක් මෘදුයි”පායා හිනැහෙමින් කියන්නීය.

“ඒ ආදරණීය චරිතය දැන් ඔහුගෙන් දුරස් වෙලාද?”

”නැහැ නැහැ, මම කිව්වේ දැන් එයාට තියෙන වගකීම් එක්ක ඉස්සර තරම්ම මෘදු නැහැ කියලයි. එයා මගෙත් බබාලගෙත් හැම අවශ්‍යතාවක් ම හොයලා බලලා ඉටු කරනවා. ඕනම දෙයක් කියන්න විතරයි තියෙන්නෙ. එයා ඒ සේරම කරලා දෙනවා. නිතරම ආදරේ ප්‍රකාශ කළේ නැති වුණත් මං ගැන ගොඩක් හිතනවා. හැබැයි එයාට හැමදේම පිළිවෙලට වෙලාවට තියෙන්න ඕනේ. ටයි එකේ, මේස් එකේ ඉඳලා ගළපලා ලෑස්ති කරලා දෙන්න ඕනේ. ගෙදරදි මම තමයි එයාගේ සෙකට්‍රි”

“මම වැඩ කරන්න ගත්තාම දවසකට පැය 15 -16ක් වැඩ කරනවා. ඒ වගේම නිවාඩු දවස් කියලා නිවාඩු ගන්නෙත් නැහැ. වැඩක් බාරගත්තම ඒ දේ උපරිම හොඳින් කිරීමේ වුවමනාව තමයි මට වැදගත්. ඒ වගේ වෙලාවට මට පවුල මඟහැරෙන අවස්ථා වැඩියි. බිරිය තමයි ඒ හැමදේම කළමනාකරණය කරගෙන පවුල පවත්වා ගෙන යන්නේ.”ලලිත් පියුම් සිය බිරියට කෘතවේදීත්වය පළ කළේ එලෙසය.

වෘත්තියෙන් වෛද්‍යවරියක වන පායා සිය පවුල සහ දරුවන් වෙනුවෙන් වෘත්තීය ජීවිතය කැප කළ දයාබර මවකි.

“ආසිරි රෝහලේ වැඩ කරමින් සිටි මම ඉන් ඉවත් වුණේ චූටි දුව ලැබෙන්න ඉද්දියි. දුවට අවුරුදු තුනක් වුණාට පස්සේ තමයි මම නැවත රැකියාවට යන්නේ. ලොකු බබාලා දෙන්නට අවුරුදු 3ක් වෙනකම් මම රැකියාවට ගියේ නැහැ. දරුවො වෙනුවෙන් මම ඒ කැපකිරීම කරන්නේ ගොඩක් කැමැත්තෙන්, ආදරෙන්. මහත්තයා කොච්චර කාර්යබහුල වුණත් මම එයාව හොඳින් තේරුම් අරගෙන ඉන්න නිසා අපි අතර ප්‍රශ්න අඩුයි.“

ලලිත්- පායාගේ ආදරණීය කැදැල්ලේ වැඩිමහල් දරුවා ටියාලි ඩිනාරා (11)ය. ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ 6 වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. දෙවැන්නා පුතු ෂමෙල් ඉන්දීවර (10) කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකි. තෙවැන්නා වයස අවුරුදු එකහමාරක් වන පවුලේ සුරතලිය කිමායා කේෂ්‍යාය.

“උපන් වෙලාව අනුව ලැබුණු අකුරුවලින් ඒ තුන් දෙනාටම නම් දැම්මෙ මමයි”පායා කියන්නේ ආදරණීයව ය. යුවතිපතින් අතර බැඳීම රැක දෙන සාධක ලලිත් දකින්නේ වෙනස් ම අයුරිනි.

“අපි දෙන්නාගේ විනෝදාංශ, සිතුම්පැතුම් ඒ හැමදේම ගොඩක් වෙනස්. මම අහන්නෙ සිංහල සින්දු. එයා කැමැති ඉංග්‍රීසි සින්දුවලට. මම දේශපාලනයට, ක්‍රිකට්වලට ආස වුණාට ඇය ඒවට කැමැති නැහැ. ගස්වැල්, සත්තු ගැන මට කිසිම අවබෝධයක් නැහැ. හැබැයි ඇය ඒ ගැන ගොඩක් දන්නවා. මම හිතන්නේ ඒ විදිහට ‍වෙනස් ‍දෙන්නෙක් එකතු වෙන එක හොඳයි. නැත්තම් ජීවිතේ ඒකාකාරී වෙනවා."

වත්මන් සමාජය තුළ දික්කසාද ඉහළ යෑමට හේතු වී ඇති කරුණු ගැන ද නීතිඥ ලලිත් පියුම් පෙරේරා ට බොහෝ අත්දැකීම් තිබේ.

"මගේ අත්දැකීම් අනුව අපේ රටේ තරුණ තරුණියන් බහුතරයක් දික්කසාද වෙන්නේ හේතුවක් නැතිව. සන්නිවේදනය අඩුකම, අනවබෝධය, සැකය, අවිශ්වාසය වගේම නිවැරදි උපදෙස් නොලැබීමත් දික්කසාද වැඩිවීමට හේතුවක්. ප්‍රතිපත්තියක් විදිහට මම කවදාවත් කිසිම කෙනකුට දික්කසාද වෙන්න යෝජනා කරන්නේ නැහැ. නැවත හිතලා බලලා එන්න හරවලා යවනවා. නීතිඥයෙක් කියන්නෙත් මිනිහෙක්. අපිට පුළුවන් නම් මොකක් හරි ක්‍රමයකින් පවුලක් ගැටගහන්න ඒකට අනිවාර්ය මැදිහත්වීමක් නීතිඥයෙක් සහ මිනිහෙක් විදිහට කළ යුතුයි.”

පායා ද ඊට තවත් අදහසක් එකතු කළාය.

“අමාරුකම් මැද්දේ ආදරේ කිරීම සුන්දරයි. ඉස්සර මහත්තයා පිටරට ඉන්නකොට අපි කතා කළේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකෙන්. එයා එංගලන්තෙ ඉඳලා පාන්දර 3ට ලෑන්ඩ් ෆෝන් එකට රිංග් කරද්දි අපේ ගෙදර හැමෝම ඇහැරෙනවා. බැරිම තැන අම්මා මගෙ කාමරේට වෙනම ෆෝන් එකක් ගෙනත් දුන්නා. දැන් වුණත් ගෙදර වැඩිපුර තාක්ෂණය ගැවසෙනවාට මම කැමති නැහැ.”

“විවේකයක් ලැබුණාම ක්‍රිකට් බලනවා. යාළුවෝ හමුවෙනවා. මොන්ටිසෝරියේ ඉඳන් හිටපු යාළුවෝ මට තාමත් ඉන්නවා.”ලලිත් එසේ කියද්දි බිරියක, ගෘහණියක සහ මවක ලෙස දවස ගත කරන හැටි අපි පායාගෙන් ඇසුවෙමු.

“මහත්තයාට විවේකය ගොඩක් අඩු නිසා විවේකයක් ලැබුණොත් එයා වැඩිපුර නිදාගන්නවා. බබාලට පාඩම් වැඩ කියලා දෙනවා. මමයි මහත්තයයි බලන්නෙ කළු සුදු චිත්‍රපට. ඒ ඇරුණාම බබාල එක්ක මම එයාලා ආස චිත්‍රපට බලනවා. කේක්, ඩෙසර්ට් වගේ කෑම හදලා අසල්වැසි දරුවො එක්ක බෙදාගැනීම මගෙ විනෝදාංශයක්. මහත්තයා මස් හැර මම හදන ඕනම කෑමක් කනවා. පහුගිය කාලේ ගෙදරම හිටපු නිසා මහත්තයා ගෙදර වැඩත් ගොඩක් වැඩ කළා. බබාල එක්ක ඉන්නත් වෙලාව තිබුණා. අපි දැන් ඉන්නේ අපේම ගෙදරක. තවම මේ ගේ සම්පූර්ණයෙන් හදලා ඉවර නැති වුණත් අපි හරිම නිදහසේ ජීවත් වෙනවා. මෙහේ ගොඩක් නිදහස් පරිසරයක් තියෙනවා. ගස්වැල් ගොඩක් තියෙන නිසා කුරුල්ලෝ වගේම එක එක ජාතියේ සත්තුත් එනවා. ඒ නිසා දැන් කොහෙවත් නොයා ගෙදරම ඉන්න තමයි අපි කැමැති”පායා පැවසුවේ සුන්දර මදහසකිනි. විශ්වාසය, අවබෝධය සහිත යුවතිපතින් වෙසෙන නි‍වෙසක සියලු දෙනාම සතුටින් සැනසීමෙන් බවට ඒ සොඳුරු මදහස කදිම සාක්ෂියකි.

 

සුරේකා නිල්මිණි ඉලංගකෝන්

[email protected]

ඡායාරූප - සුජාන් ජයසිංහ

  

Comments