තණමල්විල කොල්ලගෙ අවසන් කතාව | සිළුමිණ

තණමල්විල කොල්ලගෙ අවසන් කතාව

‘තණමල්විල කොල්ලෙක්’නිර්මාණය විඳපු කිසිවකුට ‘දීප්ත’කියන චරිතය හදවතින් මකා දාන්න ලෙහෙසි වෙන්නේ නෑ. දීප්තට පණ දුන් ධනුක දිල්ශාන්ගේ රංගන දිවියට ඒ චරිතය විසල් ආලෝකයක් ලබා දුන්නා කිවහොත් නිවැරදියි. මේ, ඒ ගැන ධනුක දිල්ශාන් කියන කතාවයි. ‘තණමල්විල කොල්ලෙක්’පිටපත ලැබුණු හැටි සිහි කරමින්ම ඔහු හඬ අවදි කළා.

“රොෂාන් රවීන්ද්‍ර අයියා දීප්තගේ චරිතයට මාව යෝජනා කළාට පස්සෙ මට තිර පිටපත ලැබුණා. ටික දවසකට පස්සෙ රොෂාන් අයියා කතා කරලා පිටපත කියෙව්වා නේද කියලා ඇහුවා. මං කිව්ව ඔව් කියල. එහෙම නම් අසූඅට වැනි සීන් එක කියන්න කිව්වා. මං ඒ වෙනකොට පිටපත කියවලා තිබුණෙ නෑ. පස්සේ මාව රොෂාන් අයියා අවිස්සාවේල්ලට එක්කගෙන ගිහින් දවස් හතරක් එහෙ ඉඳලා මේ ගැන කතා කළා. වැඩේ වගකීම මට දැණුනේ එතකොටයි.”

වචනවලින් අප්‍රකාශිත හැඟීම් ගොන්නකින් ගොඩනැඟී ඇති දීප්තගෙ චරිතය නිරූපණය කිරීම තමාට අපූර්වත්වයක් වූ බවයි ධනුක ගේ අදහස.

“මම ඉගෙන ගත්තේ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ. ඒ දවස්වල විද්‍යාලයේ නාට්‍ය කණ්ඩායමේ හිටියට රංගනය ගැන පුළුල් හැදෑරීමක යෙදෙන්න මට අවකාශයක් ලැබුණේ නැහැ. නමුත් දීප්තගේ චරිතය තුළ zero point act එක මට අවබෝධ වුණා. විශේෂයෙන්ම රොෂාන්, ප්‍රියන්ත අයියලා මේ චරිතය පිළිබඳ මාත් එක්ක කතා බහ කළා. මං හිතන්නේ මේ චරිතයට රොෂාන් අයියා මාව තෝර ගන්න හේතුව ඔහුට අවශ්‍ය දේ ඔහු මා තුළින් දැකීමයි.”

සාමාන්‍ය ප්‍රේමය ඉක්මවා ගිය වියපත් කාන්තාවක් වටා ගෙතෙන මානුෂීය සබඳතාවක් පිළිබඳ අභියෝගාත්මක සිද්ධි දාමයක් මෙම නිර්මාණය තුළ හමුවනවා. ඒ පිළිබඳ සිය හැඟීම් ධනුක පැවසුවේ මේ ආකාරයටයි.

“සමාජ මාධ්‍ය ජාල තුළ අසීමිත ප්‍රතිචාර ලැබුණු නාට්‍යයක් විදිහට ඒ සබඳතාව ගැන අලුත් පරම්පරාව බැලුවේ වපර ඇහැකින්. දීප්තගේ චරිතය මම නිරූපණය කරන්නේ වයස දාසයක සීමාවේ සිට පමණක් නොවෙයි. වයස අවුරුද්දේ පටන් චරිතය රඳවා ගැනීම වැදගත් වුණා. මෙහි අධ්‍යක්ෂවරයා වගේම තිර රචකයාත් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තාරුණ්‍යය ස්ථානගත වෙලා ඉන්න අර්බුදය ගැන කතා කරනවා. අද තාරුණ්‍යය සාහිත්‍යයෙන්, පොත පතෙන් ඈතට ගිහින්. තාරුණ්‍යය සංවේදී නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් අපට සුදුසු වටපිටාවක් වැඩිහිටියන් නිර්මාණය කර දීලා නැහැ.“ නාගරික තරුණයකු වූ තමා තණමල්විල දීප්ත බවට පත්වීමේ අභියෝගයට මුහුණ දුන් ආකාරය ගැන පැවසීමටද ධනුකට බොහෝ දෙවල් තිබුණා.

“ඒ අභියෝගය මට වගේම අධ්‍යක්ෂකවරයාටත් තියෙන්නට ඇති. මාව මේ චරිතයට තෝර ගත්තම මං හිතන්නේ නෑ බොහෝ දෙනෙක් එය අනුමත කරන්න ඇති කියලා. මම තණමල්විල ගියෙත් මේ නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ. අධ්‍යක්ෂවරයා මට කිව්වේ මිනිස්සු විදිහට අපේ හැඟීම් කාටත් පොදුයි කියලා. එතනදි මට අනිවාර්යෙන්ම දීප්ත වෙන්න සිදු වුණා. හැබැයි මේ චරිතය මට ලැබුණු පට්ටම චරිතයක්. ඒ නිසා කෙස් ගහේ ඉඳන් ඒ චරිතයට කැප වුණා. තණමල්විල පරිසරයට අනුගතව එක දිගට වැඩ කරද්දි හැමදේම ඒ පරිසරයට ගළපා ගැනීම නිසා තමයි ප්‍රේක්ෂකයා අපේ චරිත විශ්වාස කළේ. අව්වට පිච්වුණා. ඇඟ කෙට්ටු කරගන්න වගේම අන්තිමට පුෂ්ඨිමත් කරගැනීම වගේ බොහෝ කාරණා ප්‍රායෝගිකව අත්විඳින්න සිදු වුණා.”

දැන් තණමල්විල අස්වැන්න නෙළා අවසන්. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් නොඇසුවා නම් එය මේ කතාබහට අඩුපාඩුවක්. ධනුක ඒ ගැන කතා කළේ ගොඩක් සතුටින්.

“සමාජය තුළ හොඳ කතිකාවක් ඇති වුණා. මුල්ම වකවානුවේ රොෂාන් මේ මොකද්ද කරලා තියෙන්නෙ කියලා කුතුහලයෙන් තමයි බොහෝ දෙනා බැලුවෙ. නිර්මාණය ඉවර කරල තිබුණු නිසා අපි නිහඬව බලාගෙන හිටියා. අවසානයේ ප්‍රේක්ෂකයා තමයි තීරකයා වන්නේ. Music video සහ දීර්ඝ ටෙලි නාට්‍යවල සම්බන්ධ වුණ කෙනෙක් විදිහට මා වටා හිටිය පිරිසට අමතරව කලාවට ආදරය කරන හිතාගන්න බැරි පිරිසක් මේ නිර්මාණය තුළදී මට මුණ ගැහුණා. ටෙලි නාට්‍යයේ හැඩය වගේම අපි යන ගමන ගැන නිරන්තරයෙන් රොෂාන් රවීන්ද්‍ර අයියා මාත් එක්ක කතා කළා. ඒ හැමදේම මං වින්දා. දීප්තගේ චරිතය හරහා මම කිසියම් දුරක් ඇවිත් ඉන්නවා. මේ නිර්මාණයට සම්බන්ධ සියලු දෙනාට එයට ස්තුති කළ යුතුයි. මේක සාමූහික ප්‍රයත්නයක්. අපිට වතුර එකක් දෙන කෙනා ඉඳලා හැම දෙනාගෙම කැපවීම නැතිනම් දීප්ත ගැනවත් "තණමල්විල කොල්ලෙක්" ගැනවත් කතා කරයි කියලා මම හිතන්නේ නෑ.”

ෂර්ලි සමරසිංහ

[email protected]

Comments