කේක් හදන්න මෙහෙමත් පුළුවන්... | සිළුමිණ

කේක් හදන්න මෙහෙමත් පුළුවන්...

කේක් හැදිල්ලත් අපි හිතපු තරම් අමාරු නැහැ කියලා අද මේ කියලා දෙන කේක් රෙසපි ටික කියවූ විට ඔබට වැටහේවි.

 

අයිස් ක්‍රීම් මග් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය -

 

තමන් කැමැති අයිස් ක්‍රීම් වර්ගයකින් තේ හැඳි හතරක්

පාන් පිටි තේ හැඳි දෙකක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

 

මග් එකට අයිස් ක්‍රීම් ටික දමා හොඳින් දිය කරගන්න. ඉන්පසු එයට පාන් පිටි සමඟ බේකිං පවුඩර් දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් විනාඩි තුනක් පමණ මයික්‍රෝවේව් තබාගන්න..

*******************

ජාති තුනෙන් ලාවා කේක්

අවශ්‍ය ද්‍රව්‍ය -

පොඩි චොක්ලට් බිස්කට් පැකට් දෙකක්

කිරි කෝප්ප දෙකක්

චෝක්ලට් අවශ්‍ය පමණට

 

චොක්ලට් බිස්කට් කෑලි කිහිපයකට කඩා බ්ලෙන්ඩරයට දමා හොඳින් කුඩු කර ගන්න. දැන් භාජනයකට දමා කිරි ටික ටික එකතු කර ගනිමින් විනාඩි පහක් පමණ හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් තේ කෝප්පයක් ගෙන එහි බාගයක් පමණ පිරෙන්නට මේ මිශ්‍රණය වත් කර ගන්න. ඉන්පසු චෝක්ලට් කෑලි තුන බැගින් එක තේ කෝප්පයකට දමා ගන්න. තැටියක් ලිප මත තමා එයට උඩින් සෝස් පෑන් එකක් තබා විනාඩි පහක් පමණ රත් වෙන්න හරින්න. දැන් මිශ්‍රණය දැමූ තේ කෝප්ප හතර සෝස් පෑන් එකේ තබා පියනකින් වසා විනාඩි 30ක් පමණ මද ගින්දරේ තබන්න.

******************

ෆේමස් කේක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය -

 

ඇඹුල් කෙසෙල් හැර

ඕනෑම කෙසෙල් වර්ගයක්

බිත්තරයක්

සීනි ග්‍රෑම් 100

කිරි මිලි ලීටර් 150

පිටි ග්‍රෑම් 150

දෙහි යුෂ ස්වල්පයක්

එළවළු තෙල් මිලි ලීටර් 60

ලුණු කුඩු ස්වල්පයක්

බේකිං පවුඩර් තේ හැඳි 01

වැනිලා තේ හැඳි 01

 

භාජනයකට බිත්තරය, ලුණු, වැනිලා දමා හොඳින් මිශ්‍ර කරගන්න. එයට කිරි සහ එළවළු තෙල් ද එකතු කරන්න. ඉන්පසු සීනි එකතු කර හොඳින් දිය වන තුරු මිශ්‍ර කරගන්න. බේකිං පවුඩර් ද එක් කළ පසු එයට පිටි ටික ටික එකතු කර ගනිමින් හොඳින් කලවම් කරන්න. අවසානයේ දෙහි යුෂ ස්වල්පයකුත් එක් කරගන්න. දැන් සෝස් පෑන් එකක් ගෙන සීනි අතුරා ඊට උඩින් කෙසෙල් පෙති කපා අතුරා ගන්න. පසුව ඒ මතට සකස් කරගත් මිශ්‍රණය වත් කරගන්න. පියනකින් වසා මද ගින්දරේ විනාඩි30 ක් පමණ ලිප මත තබන්න. විනාඩි 30 කට පසු පරෙස්සමට කේක් එකේ පැත්ත මාරු කරගන්න. විනාඩි 3 ක් පමණ පියන නොවසා මද ගින්දරේ ලිප මත තබන්න.

*********************

ටෝස්ටරයෙන් හදන කේක්

අවශ්‍ය ද්‍රව්‍ය -

 

බටර් ග්‍රෑම් 100

බිත්තර දෙකයි

සීනි ග්‍රෑම් 100

පිටි ග්‍රෑම්100

වැනිලා තේ හැඳි 1 1/2

බේකිං පවුඩර් තේ හැඳි 01

 

භාජනයකට සීනී සහ බටර් එකතු කර සීනි දියවෙන තුරු හොඳින් බීට් කරගන්න. ඉන්පසු වරකට එක බිත්තරය බැගින් එක් කර බීට් කරගන්න. එයට වැනිලා ටිකත් එකතු කරමින් පිටි ටිකෙන් ටික එකතු කරන ගමන් මිශ්‍ර කරගන්න. එයට බෝකිං පවුඩර් දමා කලවම් කරන්න. හොඳින් රත්වූ ටෝස්ටර් එක ඇතුළේ බටර් ස්වල්පයක් ආලේප කර, සකස් කරගත් මිශ්‍රණය එයට දමා විනාඩි 15ක් පමණ ටෝස්ට් කරගන්න.

*******************

ලිපේ හදන කොෆී කේක්

අවශ්‍ය ද්‍රව්‍ය -

 

ක්ෂණික කෝපි කුඩු තේ හැඳි දෙකක්

සීනි ග්‍රෑම් 100

කිරි මිලි ලීටර් 150

විනාකිරි තේ හැඳි එකක්

එළවළු තෙල් මිලි ලීටර් 60

බේකිං පවුඩර් තේ හැඳි එකක්

උණුවතුර ස්වල්පයක්

පිටි තේ හැඳි දෙකක්

 

මුලින්ම කෝපි කුඩු තේ හැන්දක් සීනී තේ හැන්දක් සහ උණු වතුර ස්වල්පයක් ගෙන ක්‍රීම් වනතුරු හොඳින් මිශ්‍ර කර ගන්න. එයට එළවළු තෙල්, ඉතිරි සීනි, කිරි සහ විනාකිරි එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු එයට පිටි සහ බේකිං පවුඩර් එකතු කර කැට නොසිටින ආකාරයට මිශ්‍ර කරන්න. ලිප මත භාජනයක් තබා ඒ තුළ කූලිං රැක් එකක් තබා භාජනය වසා මද ගින්නේ විනාඩි 10ක් රත් වෙන්න තබන්න. ඒ අතරවාරයේ තවත් භාජනයක් තුළ තෙල් ස්වල්පයක් ආලේප කර තෙල් කඩදාසියක් අතුරා එය මතට සකස් කරගත් මිශ්‍රණය වත් කරගන්න. ඉන්පසු රත්වු භාජනයේ කූලිං රැක් එක මත මිශ්‍රණය සහිත භාජනය තබන්න. විනාඩි 35 ක් භාජනය වසා බේක් කරගන්න. කේක් එක බේක් වනතුරු කෝපි කුඩු තේ හැඳි 1/2 ක්, සීනි තේ හැඳි 2ක් සහ උණු වතුර ස්වල්පයක් දමා නැවතත් ක්‍රීම් එකක් සකස් කරගන්න. අවශ්‍ය නම් එයට චොකලට් සිරප් තේ හැන්ඳක් ද දැමිය හැකියි. විනාඩි 35 කින් පසු කේක් එක බේක් වී උණුසුම පහව ගිය පසු සකස් කර ගත් ක්‍රීම් එක කේක් එක මත අතුරා අවශ්‍යය පරිදි සරසා ගත හැක.

 

  දිළිණි උදාරි 

 

Comments