අත්හැරීම ද සැබෑ ආදරයම විය... | සිළුමිණ

අත්හැරීම ද සැබෑ ආදරයම විය...

 

මගේ කොමල පැටවුන්ගේ අප්පච්චී
මල් හී සර වැදුණාදෝ
රන් දම් බිඳ වැටුණේ දෝ
මගේ කොමල පැටවුන්ගේ අප්පච්චී

රන් යහනේ ඉඩමදිවාදෝ
මල් යහනට ඇය වැඩියාදෝ
මල් වාරම් කවි ඇසුණාදෝ
රන් කඳ මගෙ දෝස උනාදෝ

රැක පතිදම් අභිමන් සැමදා
තද දුක් ඉවසන්නම් මතුදා
පැටවූන් මවු බිසවුන් විලසා
මැසිවිල්ලක් නොකියමි කිසිදා
මගේ කොමල පැටවුන්ගේ අප්පච්චි


ගායනය- නිලක්ෂි හැලපිටිය‍
පද රචනය- තරින්ද ගුණවර්ධන
සංගීතය- දර්ශන වික්‍රමතුංග

 

 අලුත් ගී සොයන ඒ ගී රසවිඳින්නට කැමැති රසිකයන් වෙනුවෙන් මෙන්ම නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ අැගයීම සඳහා ලියන මේ සටහනට මෙවර අප තෝරා ගත්තේ මේ ගීතයයි. ගීතය ගයන්නේ නව පරපුරේ ගායිකාවක් මෙන්ම වේදිකා නාට්‍ය ශිල්පිනියක්ද වන නිලක්ෂි හැලපිටිය යි. නිතීඥ තරින්ද ගුණවර්ධන විසින් පද රචනා කරන ලද ගීතයේ තනු නිර්මාණය කරන්නේ දක්ෂ සංගීතවේදියකු වන දර්ශන වික්‍රමතුංගය. ජන ගී ආරට ගැයෙන මේ ගීතය ඇසෙන විට ගීතයේ පද අරුත් ගෙන බලන විට යශෝධරාවත සිහිපත් වේ.

සිඟිති රාහුල කුමරු උපන්දාම සිද්ධාර්ථ කුමරු සියලු ලෝ වැසියන් දුකින් මුදවා ගන්නා අරමුණින් බුදු බව පතා ගිහි ගෙය හැර යන්නේය. සිද්ධාර්ථ කුමරු සිඟිති රාහුල කුමරු හා තමන් තනිකර ගියද යශෝධරාවන් කිසිදු විටෙක සිය සැමියා පිළිබඳ අහිතක් සිතන්නේ නැත. ඇය ප්‍රාර්ථනය කරන්නේ සිද්ධාර්ථයන්ගේ යහපතයි. සිදුහත් කුමරා ගිහිගෙය නික්ම ගිය විට යශෝධරාවන්ගේ සිත තුළ සිද්ධාර්ථ කුමරු වෙනුවෙන් නැගි ප්‍රාර්ථනා ජනකවියා හැඟුම්බරව රචනා කර ඇත.

ජනකවියා දුටු යශෝධරාවගේ ප්‍රාර්ථනය එලෙස වුවද අද සමාජයේ නම් කුළුදුලේ උපන් දරුවා සමඟ බිරියක තනිකර ගිය සැමියකු වෙනුවෙන් ඈ සිතේ නැගෙන සිතුවිලි හාත්පසින්ම වෙනස්ය. එමෙන්ම ඒ දෙස උපේක්ෂාවෙන් බලන කෙනකු හමු වන්නේ කලාතුරකිනි. නිලක්ෂි විසින් ගයන ගීතයට පාදක වී ඇත්තේද දරුවන් හා බිරිය තනිකර දමා ගිය සැමියා පිළිබඳ ඒ බිරියගේ සිත තුළ ඇති සිතුවිලිය. එහෙත් අපට යම් චකිතයක් ඇතිවේ. එනම් අද වැනි සමාජයක දරුවන් සමඟ තමා අතහැර ගිය සැමියකු පිළිබඳ බිරියකගේ සිතේ උපේක්ෂාවක් ඇති විය හැකි ද යන්නය.

ගී පද රචක තරින්ද පවසන්නේ මෙවැනි අදහසකි.

“අද අපේ සමාජය තුළ අම්මා කියන සංකල්පය විනාශ වෙලා ගිහින්. අපි සමහර වෙලාවට හිතෙනවා බොහෝම කාරුණික, තමන් අතහැර ගිය, එහෙමත් නැත්නම් වෙනත් ගැහැනියක සමඟ ගිය සැමියා ගැන වෛර නොකරන ගැහැනිය ඉන්නේ අපේ සමාජයේ කියලා. යශෝධරාවන් බිරින්ඳාවරුන් අපේ රටේ පමණයි ඉන්නේ කියලා. නමුත් මම ජීවත් වන රටේ දවසක් මට කෝපි කඩේකදි සුදු ගැහැනුන් දෙන්නෙක්ගේ කතාවකට අහම්බෙන් සවන් දෙන්න ලැබුණා. එයාලගෙ කතාවෙදි මට දැනුණේ දෙන්නාගේම සැමියන් නැති බව. එක් ගැහැනියක් අනෙක් ගැහැනියට කියනවා “මේ මං වගේ ජොලියේ ඉන්න.“ කියා. ඒක අහන් හිටපු අනෙක් කෙනා කියනවා

“He is gone. I never blame him,I have a responsibility.That’s my kids.I will face the life.I know that I will definitely have to face tremendous problems But I will win this life with my kids I don’t need any man forever.“

මේ ටික ඇහුණාම මට මතක් වුණේ අපේ බෞද්ධ සාහිත්‍යයේ එන යශෝධරා. මේ කතාව මගේ හිතේ බොහෝ කල් සිතුවිල්ලක් ලෙසින් තිබුණා. අවසානයේ එය තමයි පද පෙළක් ලෙස ලියැවුණේ. මම මේ ගැයූම සඳහා නිලක්ෂි තෝරා ගත්තේ ඇගේ ජන ගී ආරේ කටහඬ නිසා. සංගීතවේදී දර්ශන වික්‍රමතුංග මේ පද පෙළට අපූරු තනුවක් නිර්මාණය කර දුන්නා.

තරින්ද පවසන්නේ තම ගී නිමැවුම ගැනය.

වසර විස්සකට ආසන්න කාලයක් සංගීත ක්ෂේත්‍රයේ රැඳි සිටින අගනා තනු නිර්මාණ රැසක් කර ඇති දර්ශන තම අලුත් නිර්මාණය ගැන පවසන්නේ මෙලෙසිනි.

“තරින්ද මේ පද පෙළ මට එවලා මගෙන් ඇහුවා මේ සඳහා ජන ගී ආරට යන තනුවක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. ඒ අනුව තමයි තනුව නිර්මාණය කෙරුණේ. නිලක්ෂි ගේ කටහඬ ඊටම ගැළපුණා.“

වේදිකා නිළියක ලෙසින් මෙන්ම ගායිකාවක ලෙසින් අද වන විට ජනප්‍රසාදයට පත්ව ඇති නිලක්ෂි නොබෝදා එළි දැක්වූ මේ ගීතය ගැන පවසන්නේ බොහෝ කැමැත්තෙනි.

“ මේ පද පෙළට මම බොහෝම කැමැතියි. එහි කියැවෙන ගැහැනියට මම ආදරෙයි. අද සමාජයේ මෙවැනි සිදුවීමකදි බොහෝම ආවේගශීලිව කටයුතු කරන අයයි අපට හමුවන්නේ.“

කුමන සමාජයක ජීවත් වුවද ගැහැනිය එක වගේය. විවාහය, ආදරය, දරුවන්, සැමියන් කෙරෙහි ඇති ඇල්ම නොවෙනස්ය. හදවතින් ආදරය කළ සැමියා හැර ගිය විටෙක ඔහුට වෛර නොකරන ඔහුගේ සැපත සතුටම පතන කෙනකු අපට මේ සමාජයේදී හමුවේනම් එය ඇරුමයකි. එක් අතකින් සැබැ ආදරය ඇත්තේ ද අත්හැරිම තුළයැයි කියන්නට ද පුළුවන.

ඉනෝකා සමරවික්‍රම

[email protected]

Comments