මත් ජාවාරම්හි නිරත වූ බවට විමර්ශනවලදී අනාවරණය වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සාමාජිකයන් 18 දෙනා පිළිබඳ සිදු කෙරෙන විමර්ශන කඩිනම් කර නීතිපතිතුමා මඟින් අධි චෝදනා බාර දී වැරැදිකරුවන් වන සියලු නිලධාරින් හට 1979න් පසු මෙරට තුළ ක්‍රියාත්මක නොවූ මරණ දඬුවම ක්‍රියාත්මක කර උපරිම දඬුවම් පමුණුවීමට පොලිසියට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අසූහතර දහසක් පමණ වන ශ්‍රී ලංකා පොලිසියේ 18 දෙනෙක් විසින් සිදුකළ ජාවාරම් නිසාවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයක් සිදුව ඇති හෙයින් මෙකී නිලධාරින්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසද ඉල්ලා සිටි බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වන විට නිලධාරින් 18 දෙනා සතුව තිබී මුදලින් රුපියල් තුන්කෝටි විසිතුන් ලක්ෂයකට අධික මුදලක්ද,
වාහන 11ක් සහ ජාවාරම්වලින් උපයාගත් බවට අනාවරණය වන ඉඩම් කට්ටි 18ක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන ඇති බව පැවැසීය.
ඊට අමතරව මේ නිලධාරින් සමඟ තවත් නිලධාරීන් මෙකී ජාවාරම්වලට හවුල් වී ඇද්දැයි යන්න දිගින් දිගටම විමර්ශන සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නිලධාරින් 12 සහ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ පසුවන නිලධාරින් 6 දෙනා අතර පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, උපපොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක්, සැරයන්වරුන් පස්දෙනෙක් සහ කොස්තාපල්වරුන් අටදෙනෙක්ද සිටින අතර තවත් මෙකී ජාවාරම්වලට අදාළව සිවිල් පුද්ගලයන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන සිටී.