අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්ෂ | Page 2 | සිළුමිණ

අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරික්ෂණයක් සිදු කරන්නැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව වැඩබලන පොලිස්පති සී. ඩි වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ අදාළ මාධ්‍යවේදියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල මාධ්‍යවේදී හැඳුනුම්පත හිමි අයෙකු බවය.

එම හැඳුනුම්පත හිමි මාධ්‍යවේදියෙකුට සිය නීත්‍යානුකූල රාජකාරිය බාධාවකින් තොරව සිදු කිරීමට අවස්ථාව හා සහයෝගය සලසාදීම සියලු පාර්ශවයන්ගේ වගකීම බව එම හැඳුනුම්පත මගින් රජය සහතික කර තිබේ.

ඒ අනුව මෙම සිදුවීමෙන් අදාළ මාධ්‍යවේදියාගේ වෘත්තීය අවස්ථා දැඩි ලෙස උල්ලංඝණය වී ඇතැයි නිරීක්ෂණය වනබව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ පිටපත් ජනමාධ්‍ය අමාත්‍යවරයාට එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශ ප්‍රධානී වෙත යොමු කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඊයේ(10) දහවල් ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කළේ ය.

ඒ, අදාළ මාධ්‍යවේදියා, ඔහුගේ ඡායාරූපයක් ගැනීමට යාමේදීය.

කොළඹ අංක 01 මහාධිකරණ පරිශ්‍රය තුළදී රංගජීවගේ ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔහු විසින් මාධ්‍යවේදියා අල්ලා ගෙන, පොලිස් මුරපොළ වෙත රැගෙන ගියේය.

 

Comments