46 - සමාජ දේශපාලන අරගලය සහ පූජ්‍ය වල්පොළ රාහුල හිමි | සිළුමිණ

46 - සමාජ දේශපාලන අරගලය සහ පූජ්‍ය වල්පොළ රාහුල හිමි

“1946 වර්ෂය ලංකා ඉතිහාසය පිළිබඳ වර්තමාන යුගයේ ඉතා සැලකිය යුතු කාල පරිච්ඡේදයක ආරම්භය විය. ලංකාවේ බුද්ධාගමත්, සිංහල ජාතියත්, සමාජයත්, දේශපාලනයත් පිළිබඳව කිසි කලක මේ රටේ ඉතිහාසයෙන් නොමැකිය හැකි බරපතල වැදගත් සිද්ධීන් කීපයක් මේ කාලයේ සිදුවිය.”

1946 ජනවාරි මස මුල දී ම ඩී. ඇස්. සේනානායක මහතා සහ තවත් අය, භික්ෂූන් වහන්සේලා මහජන කටයුතුවල යෙදීම අයෝග්‍යය යනුවෙන් ප්‍රසිද්ධ සභාවල දී අදහස් පළ කිරීම සිදු වෙමින් පැවතුණි. නමුත් මුල් කාලයේ මේ රටේ සියලුම වැදගත් කටයතු වලට භික්ෂූන්ගේ සම්බන්ධය පැවතුණ බවත්, ඉදින් අදත් භික්ෂූන් එම කටයුතු වලට සහභාගි වීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ඊට ප්‍රති පාර්ශවීයව අදහස් පළ කිරීමට දුර දිග පෙනෙන භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉදිරිපත් වුයේ යැයි පැවසේ අවසානයේදී එය බරපතල සමාජ දේශපාලන විවාදයක් බවට එකී සමය තුළ පත් වුණේ ය. පූජ්‍ය වල්පොළ ශ්‍රී රාහුල මහාචාර්යපාදයන් “භික්ෂුවකගේ උරුමය”ලියවෙන්නේ එවැනි පසුබිමේ ය. ඉහතින් දැක්වුණ අදහස් උපුටා ගත්තේ ද 1948 අප්‍රේල් 15 දින විද්‍යාලංකාර පිරිවෙනේ සිටිමින් එහි දෙවන සංස්කරණයට උන් වහන්සේ ලියූ පෙරවදනිනි. එහිලා රාහුල හිමියෝ තවදුරටත් මෙසේ ද පවසති.

“1946 ජනවාරි 26 වන දා කොටහේනේ කුමාර විද්‍යාලයේ පැවැත් වූ රැස්වීමක දී මම, සේනානායක මහතා සහ උන්නැහෙගේ අනුගාමිකයන් ගත් මතයේ වැරදි පැහැදිලි කොට ප්‍රසිද්ධියේ පිළිතුරක් දුනිමි. මේ ගැන පක්ෂවන්, විපක්ෂවත් සිංහල සහ ඉංග්‍රීසි පත්‍රවල කර්තෘ වාක්‍ය සහ ලියුම් මහත් රාශියක් පළ විය. ධනවත් බලවත් පක්ෂයට අවනත වු සමහර නායක ස්ථවිරයන් වහන්නේලා භික්ෂූන් දේශපාලන කටයුතුවල නොයෙදිය යුතුයයි සංඝාඥා පවා පත්‍රවල පළ කරවූහ.”

පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ මහතා පුජ්‍ය වල්පොළ ශ්‍රී රාහුල මහාචාර්යපාදයන් වහන්සේගේ භික්ෂුවගේ උරුමය දුටුවේ “රටක් හෙල්ලු පොතක්” වශයෙනි. ඒ අනුව ඔහු පවසන්නේ ලොව හොලවා අවදි කල විශිෂ්ට කෘති ලෝකයේ ඇති බව ය. මාක්ස්ගේ දාස් කැපිටාල්, චාල්ස් ඩාවින්ගේ වර්ජින් ඔෆ් ද ස්පයිසස්, මැකියාවෙලිගේ ප්‍රින්ස් මෙන්ම ප්‍රංශ විප්ලවයේ ගිනි දැල්ල වූ ජින් ජැක් රූසෝ ගේ ද සෝෂල් කොන්ටැක්ට් ඔහු ඊට උදාහරණ වශයෙන් ගනී.

“අපේ පැත්තෙන් බලන විට, ලංකාව වෙනස් කල නැතිනම් ලංකාව හෙල්ලූ පොත් අතර ප්‍රමුඛස්ථානය මහාචාර්ය වල්පොළ රාහුල ස්වාමින්ද්‍රයන් වහන්සේග් භික්ෂුවගේ උරුමයට හිමිවිය යුතු බව බුද්ධිමතුන්ගේ මතය යි.”

හතළිහේ දශකයේ දේශපාලනඥයන් බෞද්ධ භික්ෂුව පන්සල තුළ කොටුකර දැමීමට දැරූ ප්‍රයත්නය ලත් තැනම ලොප් කරමින් භික්ෂුව පන්සලෙන් එළියට ගෙන ජාතික සේවය යොමු කලේ -භික්ෂුවගේ උරුමය- පොත යැයි ද ලියනගේ මහතා වැඩිදුරටත් පවසයි.

අදාල කාලයේ දී ප්‍රස්තුථ කරුණ රට තුළ බලවත් නොසන්සුන්තාවක් ඇති කොට තිබුණ බව පැහැදිලි ය. එසේ හෙයින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වුවමනාව ද පැහැදිලි තැනක තිබුණි. 1946 පෙබරවාරි 13 වන දා “භික්ෂුව සහ දේශපාලනය” යන හිසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට විිද්‍යාලංකාර පිරිවෙන කටයුතු කලේ ඒ පසුබිමේ ය. ඒ අනුව භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රට වැසියාගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය වේවා එහි යෙදීමට භික්ෂුන්ට සුදුසුම යැයි ඒ ප්‍රකාශයේ සඳහන් වී තිබුණි.

ඉහත ප්‍රකාශයෙන් දවස 4 කට පසුව සමස්ත ලංකා භික්ෂු සම්මේලනය මෙහෙයවීමෙන්, විද්යෝදය පිරිවෙන්හි ආචාර්ය පණ්ඩිත පළන්නොරුවේ විමලධර්ම නායක ස්ථවිරයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ බෞූද්ධ මන්දිරයේ දී මහා සංඝ සභාවක් පවත්වන්නට යෙදිණි. එහි දී ගත් තීරණය වුයේ, භික්ෂුවකගේ ක්‍රියාමාර්ග භික්ෂුන් ව්ිසින්ම තීරණය කල යුතු බව යි. තවද එහිලා ගිහියන්ගේ මැදිහත්වීම වරදක් බව යි.

කෙසේ වෙතත් තත්වය ඒ නිසාම සමනයකට පත් වූයේ නැත. වල්පොළ රාහුල හිමියන්ගේම අදහසට අනුව ශත වර්ෂයකින් මෙහා මේ රටේ ඇති නොවු අන්දමේ මහජන උද්යෝගයක් හා උද්ඝෝෂණයක් ඊට අදාලව රට තුළ ඇති වුයේ ය. ප්‍රගතිශීලීහු හා ප්‍රතිගාමීහු දෙපසකට බෙදුණාහ. ඉනුත් නොනැවතී ගිහි හා පැවිදි වශයෙන්ද දෙපාර්ශවයක් ඇති විය.

උන් වහන්සේගේ දැනුවත් බවට අනුව එහි පසුබිමේ සිටියේ රටේ භික්ෂුවට පැවති අයිතිවාසිකම් හා නිදහස නැති කිරීමට සිය පෞද්ගලික අභිමථාර්ත මත පවතිමින් විවිධ ප්‍රයත්නයන්හි යෙදුණු ප්‍රතිගාමි බලවතුන් ය. ඒ අනුව භික්ෂුවගේ උරුමය ප්‍රකාශයට පත් වන්නේ යට කියැයවුණු සංසිද්ධි ජාලයේ ම ප්‍රතිඵලයක් හැටියට ය.

1946 මාර්තු 9 දින මහනුවර නගර ශාලාවේදී ආචාර්ය ඒ. පී. ද සොයිසා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රසිද්ධ ගිහි පැවිදි සභාවේ පූජ්‍ය වල්පොළ රාහුල මහාචාර්යපාදයන් පැවැත් වූ ඒ දේශනය ශාස්ත්‍රීය දේශනයක් ම වුයේ ය. පැය එකහමාරක තරම් කාලයක් පුර පැවති ඒ දසුම පොත් පිංචක් වශයෙන් පළ කරන්න යැයි බොහෝ දෙනෙක් කිහිප වතාවක දීම ඉල්ලා සිටීමේ ප්‍රතඵලය වුයේ සියලු කටයුතු මැද උන් වහන්සේ ඊට යොමු වීම ය.

“කටයුතු බහුලව පැවති ඒ දවස්වල එබන්දක් ලිවීමට අවකාශය ලබා ගැනීම ඉතා අපහසු කාරණයක් විය. කතාව පැවැත්වීමට පිළිවෙළ කරන ලද සටහන් ලග තබාගෙන ඉඩ ලැබුණු හැටියට එය ලියන්නට පටන් ගතිමි. යථාවකාශ පරිදි එහි සමහර තැන් ගැන යම් යම් අය සමග සාකච්ඡා පැවැත්වීමි. ලියා අවසන් කොට බැලු විට, බලාපොරොත්තු වුවාට වඩා එය දික් වී තිබෙන බව පෙනී ගියේ ය. එහෙත් කුමක් කරන්ට ද? එය ලියවී තිබුණු අන්දමටම -භික්ෂුවගේ උරුමය- නමින් 1946 ජුනි මාසයේ දී පළමුවනවර මුද්‍රණය කරන ලදී.”

පූජ්‍ය වල්පොළ රාහුල මහාචාර්යපාදයන්ගේ නිරීක්ෂණයට අනුව ඒ ගත වු ූකාලය තුළ එක්සත් භික්ෂු මණ්ඩලය ගත් සෘජු ක්‍රියා මාර්ගහේතු කොටගෙන රට තුළ පැහැදිලි වූත්, පුළුල් වූත් වෙනසක් ඇති වුයේ ය. උන් වහන්සේ එය මෙසේ ද පැහැදිලි කරති.

“එය ආගමික, සාමාජික, ආර්ථික මෙන්ම දේශපාලනය විෂයයිකව ඒ ගැටළුකාරී තත්ව සම්බන්ධයෙන් ගිහි පැවිදි දෙපාර්ශවය තුළ ම ඉගෙනීමක්, අවබෝධයක් හා හැගීමක් ඇති වූයේ ය. ධනයට හෝ බලයට වහල් නොවී, නිර්භීතව සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට පොදු සමාජය තුළ උද්‍යෝගයක් ඇති කිරීමට “භික්ෂු දේශපාලනය” නම් මේ ප්‍රශ්නය තරම් එකළ වෙනත් ප්‍රශ්නයක් ඇති නොවූ තරම් ය”

“මේ ව්‍යාපාරය නිසා ගැඹුරු අර්ථයක් හා ඵෙතිහාසික වටිනාකමක් ඇති භික්ෂු දේශපාලනය හා දේශපාලන භික්ෂු යන අලුත් වචන දෙකක් ද බෞද්ධ සාහිත්‍යයට එක් විය. භික්ෂු දේශපාලනය ද, ග්‍රන්ථ ධුරය මෙන්ම ශාසනික සම්ප්‍රදායක් වනවා ඇත එසේම කුහක වංක ප්‍රතිපත්ති වලින් තොර වූ, පිරිසිදු චරිතයෙන් යුත්, කාලෝචිත උසස් ඉගෙනීමක් ඇති, ධනයට බලයට වහල් නොවන, පොදු ජනයාගේ යහපත සඳහා වැඩ කරන, පරාර්ථගරුක, අභීත, අදීන බුද්ධ පුත්‍රයන් දේශපාලන භික්ෂූන් හැටියට සලකනවා ඇත.”

Comments