සිනමාහල්වලට ප්‍රේක්ෂකයන් නැතිවීම නිර්මාණකරුවන්ගේ අර්බුදයක් | සිළුමිණ

සිනමාහල්වලට ප්‍රේක්ෂකයන් නැතිවීම නිර්මාණකරුවන්ගේ අර්බුදයක්

 

වසර තුන බැගින් දෙවරක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ලොකු පුටුව දරා ඇති හිටපු සභාපතිවරයා වෙත අප මුලින්ම යොමු කරනු ලැබුවේ පරිපාලන ප්‍රශ්නයක් නොවේ. අපගේ ප්‍රශ්නය වූයේ “මොකද මිනිස්සු හෝල් වලට නොඑන්නේ?”යන්නය.

ඒ සඳහා ඔහුගේ පිළිතුර වූයේද ප්‍රශ්නයකි.

“මොකටද මිනිස්සු හෝල් එකට එන්නෙ? මොකක්ද තියෙන ආකර්ෂණය?”යනු එයයි.

අප රටෙහි සිනමාවෙහි නියාමනය උදෙසා වගකිව යුතු තනතුර දෙවරක්ම දැරූ ඔහුගේ මෙම පිළිතුරෙහි ගැබ්ව ඇත්තේ අසීමිත බලතල සහිතව හැත්තෑ එකේදී ස්ථාපිත කරනු ලැබූ චිත්‍රපට සංස්ථාවට පවා පරිපාලනය කර ගත නොහැකි තත්වයට චිත්‍රපට කර්මාන්තය අවුල් වියවුල් වී ඇති බවය. ඔහුද එය පිළිගනියි.

“නමුත් මේකට හේතුව කොරෝනා නෙවෙයි හේතුව ශ්‍රී ලංකාවෙ සිනමාවට කොවිඩ් හැදුනෙ 2000 දි විතර නිසා” ඔහු කියයි.

අශෝක සේරසිංහ මහතාගේ අදහස වන්නේ කොවිඩ් මේ තත්වයට ආසන්නම හේතුව ලෙස දැක්විය හැකි වුවත් අද කූටප්‍රාප්තියට පත්ව ඇත්තේ 1989 න් පසුව ඇති වුණු සිනමාවේ ඇද වැටීම බවය. ඒ අනුව අද වන විට සිනමාව ජනතාවට එපා වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඉන් පළමුවැන්න මිනිසුන්ගේ සිත් සතුටු කළ හැකි චිත්‍රපට නැති වීමය.

දෙවැන්න චිත්‍රපට නැරඹීම සඳහා වූ විධිමත් සංස්කෘතියක් අපට නැති කමය.

ජනතාව අතර තිබිය යුතු සිනමා සංස්කෘතිය ලෙස ඔහු පෙන්වා දෙන්නේ අපගේ දෛනික අවශ්‍යතා වන ආහාර පාන ගැනීම ආදිය මෙන්ම චිත්‍රපටයක් බැලීමද ජීවිතයේ කොටසක් ය යන හැඟීම ද අප තුළ ඇතිවිය යුතු බවය.

“ඉන්දියාවේ යාචකයන් හිඟා කන්නේ කෑම සඳහා පමණක් නොවෙයි, චිත්‍රපට බැලීමටත් එක්කයි. සමහර හිඟන්නන් දිනකට චිත්‍රපට තුන හතර බලන අවස්ථාත් තිබෙන බව මා අත් දැක තිබෙනවා. එයින් ඔවුන් ඉමහත් මානසික තෘප්තියක් ලබන අතරම වායු සමීකරණයේ සිසිලසද විඳින්නට පුරුදුව සිටිනවා”

මෙතරම්ම නොවූවද අප රටේද චිත්‍රපට නැරඹීම පිස්සුවක් කරගත් පිරිසක් සහිත චිත්‍රපට සංස්කෘතියක් තිබූ බව ඒ යුගයේ කාටත් මතකය. අප රටේ තිබූ මෙම සිනමා සංස්කෘතිය නැතිවීමට ප්‍රධාන හේතුව නිර්මාණකරුවන්ගේ අර්බුදය යැයි හෙතෙම පවසන්නේ ඒ පිරිස අද නැති හෙයින් යයි අපි සිතමු.

අද මෙරටෙහි විශාල සිංහල පේක්ෂක පිරිසක් කිසිදු භාෂා ඥාණයකින් තොරව පවා ද්‍රවිඩ චිත්‍රපට රස විඳින බවත් එයට හේතුව එම කතා පුවතේ ඇති ශක්තිමත් භාවය සහ ඉදිරිපත් කිරීමේ විලාසය බවත් ඔහුගේ අදහසයි.

“මෙවැනි චිත්‍රපට ධාරාවකදී මුලින්ම ආකර්ෂණය වන්නේ නළුවාට. ඒ නළුවා කියන්නෙ තරුවක්. ඒ ඒ තරු කේන්ද්‍රකර ගත් සිනමාවක් තමයි ඉන්දියාවේ තියෙන්නේ. නමුත් ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, සන්ධ්‍යා කුමාරි සහ ජීවරාණි ආදී තරු මුල් කර ගත් සිනමාවක් අපටත් තිබුණා. ඒ නිසා යම් චිත්‍රපටයක් නැරඹීමට එහි ගාමිණි ෆොන්සේකා ඉන්නවාද සන්ධ්‍යා කුමාරි ඉන්නවාද කියන කාරණය හේතු වුණා. අප රටේ තරු නැති වීමත් මේ කඩා වැටීමට හේතුවක් වුණා.

චිත්‍රපටයක් ආකර්ෂණය වීමේ දෙවැනි කාරණය එහි ඇති කතා වස්තුව බවත් , ඒ නිසා ආකර්ෂණීය කතා පුවත් නොමැති වීමේ අඩුව නිසා ප්‍රේක්ෂකයා ඈත්වීම පුදුමයට කරුණක් නොවන බවත් ඔහු කියයි.

එහෙත් මේ කරුණුවලට අමතරව මෙන්ම එම කරුණු ඇතිවීමට බලපෑ හේතු සාධක තවත් විශාල ප්‍රමාණයක් දක්නට ඇතිබව අපි සේරසිංහ මහතාට පැවසුවෙමු. මක්නිසාද යත් චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වශයෙන් එම වගකීම් වලින් මිදීමට ඔහුටද සදාචාරාත්මක අයිතියක් නැති බැවිනි.

එයට පිළිතුරක් ලෙස ඔහු පැවසුවේ මුළින්ම තමා චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩ බාර ගන්නා අවස්ථාව වන විට සිනමාව උපරිමයෙන් බිඳ වැටීමට ලක්වී තිබූ බවය.

පහත් ගණයේ කාම චිත්‍රපට රැල්ලක් රට පුරා පැතිරී තිබූ අතර ජනාධිපති සම්මාන උලෙළේදී වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස සම්මානයක් දිනා ගැනීමට පවා එවැනි චිත්‍රපටයක් සමත් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඔහුගේ අදහසට අනුව “අබා”ගෙන් ඇරඹී ඓතිහාසික රජ කතා රැල්ලක් ව්‍යාප්ත වූයේ මීට විකල්පයක් වශයෙනි. නමුත් එහි උපරිමයට ළඟාවූ සිරි පැරකුම් වලින් අනතුරුව එයද වියැකී ගිය අතර අලි ඇතුන් සහ ළමුන්ගේ කතාවලටද දිගින් දිගටම පැවතීමට නොහැකි වූ බව ඔහුගේ අදහසයි.

සේරසිංහ මහතා පළමුවරට සභාපති ධුරයට පත් වූ අවස්ථාවේ දී කළ සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ “පනත මඟින් චිත්‍රපට සංස්ථාවට විශාල බලයක් ලැබී ඇති බැවින් මේ අවස්ථාවේ පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ඒ බලතල පාවිච්ච් නොකරන්නේ ඇයිද? ”යන්නය.

ඒ අවස්ථාවේදී ඔහු කියා සිටියේ පවතින තත්වයට අනුව පූර්ණ වශයෙන් එම බලතල පාවිච්චි කිරීමෙන් වැළකී නම්‍යශීලීව කටයුතු කර මෙම තත්වයට මුහුණ දීමට කටයුතු කරන බවය. මෙවර සාකච්ඡාවේදී අප ඔහුගෙන් විමසුවේ ඔහු එවර අනුගමනය කළ ක්‍රමවේදය තුළින්ද අපට ප්‍රතිඵලයක් දක්නට නොලැබුණේ ඇයි ද යනුවෙනි.

එයට දීර්ඝ පිළිතුරක් දුන් ඔහු පැවසුවේ තමා සභාපති ධුරය බාර ගන්නා අවස්ථාව වන විට සිනමාව දැඩි ලෙස ඇද වැටී තිබූ අතර සංස්ථාව පැවතියේද සියලු බලතල පූර්ණ ලෙස භාවිතා කළ නොහැකි මට්ටමක බවය. නමුත් තමා විසින් සිනමාවේ ප්‍රගමනය උදෙසා වටිනා උත්සාහයයන් කීපයක නිරත වූ බව සේරසිංහ මහතා කියයි.

එනම් ඉරානයේ “ෆරාබි පදනම” චීනයේ, “සාෆ්” නැමැති රාජ්‍ය ආයතනය සහ ඉන්දියාවේ “ජෙමිණි” චිත්‍රපට ආයතනය සමග චිත්‍රපට තැනීම පිළිබඳ වාසිදායක ගිවිසුම් වලට එළඹීමය.

මෙහිදී චීනය වසරකට එකක් වනසේ ජාත්‍යයන්තර සිනමා වෙළෙඳ පොළ සඳහා චිත්‍රපට තැනීමට ආධාරයක් ලබා දීමට එකඟ වූ අතර ඉරානයේ “ෆරාබි පදනමද”තම සහයෝගය අප රටට ලබා දීමට එකඟ විය. චීනයේ පළමුවැනි යෝජනාවෙන් අනතුරුව අප රටෙහි තිර නාටකද ඉල්ලා සිටියහ. ඒ සඳහා සුප්‍රකට චිත්‍රපට කරුවන් දෙදෙනෙකුගේ තිර රචනා දෙකක්ද යවන ලදී. ඉන්දියාවේ ජෙමිනි සමාගම හා කෙරුණ සාකච්ඡාවලදී දෙරටේම නළුවන් යොදා මෙරට තුළ චිත්‍රපට නිපදවීමේ සැලැස්මක්ද ඇති කර ගන්නා ලදී.

“චීනය සමඟ ඇති කර ගත්ත ගිවිසුම ක්‍රියාත්මක කරලා ඒ රටේ එක ප්‍රාන්තයක අපේ චිත්‍රපටයක් පෙන්න ගන්න ලැබුණ නම් ඒ ඇති” සේරසිංහ මහතා කියයි.

නමුත් ඔහුට වසර තුනකින් අනතුරුව රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් වැඩ බාර ගැනීමට සිදුවීම නිසා මෙම කටයුතු අඩාල වූයේය. දෙවැනි වතාවේද ඔහුට සේවය කරන්නට ලැබුණේ තෙවසරක කාලයකි .

සේරසිංහ මහතා පවසන්නේ රාජ්‍ය ආයතන නිළධාරීන් මේ ආකාරයට තනතුරු වෙනස්වීම්වලට ලක්වීම නිසා වැදගත් ව්‍යාපෘතීන් අඩාලවීම පිළිබඳව මෙය හොඳම උදාහරණයක් බවය. නමුත් ඔහු පවසන්නේ මෙම අවස්ථාව සිනමාව උදෙසා නව ප්‍රවේශයක් ලබා ගැනීමට භාවිතා කළ යුතු බවයි. ඒ අනුව මෙම තත්වය යටතේ පළාත් පාලන ආයතන විනෝද බද්ද වශයෙන් ලබා ගන්නා සියයට 15 ගෙවීම අවලංගු කර, අනෙක් කර්මාන්ත සඳහා ලබා දෙන විදුලි බිල් පත් සහනය ලබා දී , ප්‍රවේශ පත් ගාස්තු යම් පමණකට ලිහිල් කර සිනමා හල් විවෘත කළ යුතුව තිබුණා යයි ඔහු කියයි.

නමුත් මේ ආකාරයට මොන විදියේ සහන ලබා දෙනු ලැබූවත් මිනිසුන් සිනමා ශාලා වෙත ඇදෙනු ඇත්තේ තමාට රස විඳිය හැකි සිනමා කෘතියක් තිබේනම් පමනක් බව අපට අමතක කළ නොහැකි කරුණකි. සේරසිංහ මහතා මෙම සාකච්ඡාවේදී මුලින්ම සඳහන් කළ පරිදි ඇතිවී තිබෙන නිර්මාණ වල අවුලට කළ යුතු ‘ප්‍රතිකාරය’කුමක්දැයි අපි ඔහුගෙන් ඇසුවෙමු.

“අපට සිද්ධ වෙනවා සංස්ථාව පටන් ගත්ත තැන ඉඳලා ආයෙ පටන් ගන්න”.

හෙතෙම පැහැදිලි කළේය.

එම පැහැදිලි කිරීමට අනුව සංස්ථාව සතු බලතල කිසිත් තවම අඩුවී නැත. ඒ අනුව යමකු චිත්‍රපටයක් නිර්මාණය කිරීමට පළමු එම තිර නාටකයට අනුව ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගන්නා එකක්දැයි සුදුස ලෙස පත් කර ගන්නා විෂය පිළිබඳ ප්‍රාමාණිකයින්ගෙන් යුත් මණ්ඩලයක් ලවා තීරණය කරවා ගත යුතුය.

ඕනෑම කෙනෙකු චිත්‍රපටයක් කළ හැකිය යන්න වෙනස් කර ඔහු ඇත්තටම ඒ පිළිබඳව නිර්මාණාත්මක හැකියාව ඇත්තෙකුද යන්න ස්ථිර කර ගත යුතුය. බෙදා හැරීමේ ගාස්තුව සියයට 5 ක් කර ඉතිරි 5 සංස්ථාවට ලබා ගත යුතු අතර චිත්‍රපට කරුවාට තමන් කැමති මණ්ඩලයක් තෝරා ගැනීමට නිදහස ලැබිය යුතුය. රූපවාහිනී නාලිකාවල චිත්‍රපට ප්‍රදර්ශනය යම් සීමාවකට යටත් කළ යුතු බවද ඔහුගේ අදහසයි.

මේ හැරුණු කළ ප්‍රභූන් සැනසීමේ යෙදී සිටන කලා කරුවන්ට එසේම ඉන්නට ඉඩදී මෙම වැඩ කටයුතු සඳහා සුදුසු පුද්ගලයන්ට අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු අවධාරණය කරන්නේ එසේ නොවුණහොත් මෙම සැපසුම් වලින් කිසිදු ප්‍රතිඵලයක් ලැබිය නොහැකි බවද සඳහන් කරම

Comments