හෝ චි මිං නාමය අමරණීය කළ වියට්නාම් විමුක්ති අරගලය | සිළුමිණ

හෝ චි මිං නාමය අමරණීය කළ වියට්නාම් විමුක්ති අරගලය

අධිරාජ්‍යවාදී රටවල මෙන්ම, බොහෝ ධනවාදි රටවල ද ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇත්තේ විදෙස් රටවල් ආක්‍රමණය කිරීමය. ඒ බව ලෝක ඉතිහාසය විසින් සනාථ කර තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. එසේම, තවත් රටක් ආක්‍රමණ කරන්නට හේතුවක් ද එවැනි රටවලට අවශ්‍ය නොවේ. රටක අභ්‍යන්තර ප්‍රශ්නයකට මැදිහත් වීමෙන් හෝ ඒ සඳහා හේතුවක් නිර්මාණය කරගැනීමට ඔවුහු පසුබට නොවෙති.

1858 සිට 1945 දක්වා වසර 87ක් වියට්නාමය තම යටත් විජිතයක් බවට පත්කර ගෙන සිටි ප්‍රංශය එය සාධාරණීකරණය කරමින් කියා සිටියේ, ආසියාවේ නොදියුණු ප්‍රදේශ ශිෂ්ට සම්පන්න කිරීම සඳහා උපකාර කිරීම ඔවුන්ගේ වගකීමක් බවයි.

එසේ ම, 1955 නොවැම්බර් 01 වැනි දින සිට 1975 අප්‍රේල් 30 වැනි දින දක්වා වසර 20කට ආසන්න කාලයක් වියට්නාමය ආක්‍රමණය කළ ඇමෙරිකා එක්සත් ජනපදය තම ආක්‍රමණය සාධාරණීකරණය කළේ, එය කොමියුනිස්ට්වාදීන් දකුණු වියට්නාමය අත්පත් කරගැනීම වැළැක්වීම සඳහා ගත් පියවරක් බව කියමිනි. එහෙත්, එය කොමියුනිස්ට්වාදය පරාජය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වූ 'ඩොමිනෝ' සංකල්පයේ ම තවත් දිගුවක් බවත්, රටක අභ්‍යන්තර ප්‍රශ්නයකට කළ අනවශ්‍ය අතපෙවීමක් බවත් රහසක් නොවේ.

‘වියට්නාම් විමුක්ති අරගලයේ’ප්‍රධාන චරිතය සහ භූමිකාව වන්නේ වියට්නාමයේ ජාතික වීරයා වන ‘හෝ චි මිං’ ය. ප්‍රංශයේ දී දේශපාලන විද්‍යාව උගෙන 1924 රුසියාවට ළඟා වන ඔහු, එහි සිට කෙලින් ම ගියේ චීනයේ වියට්‌නාම් මායිමට ය.

ඒ, එහි රැඳී සිටිමින් වියට්‌නාම් විප්ලවය සංවිධානය කිරීමට ය. ප්‍රංශ අධිරාජ්‍යය, වියට්‌නාම් ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවත්, ප්‍රංශ පාලනය වියට්නාමයෙන් ඉවත් කරන ලෙසත් පෙත්සම් මගින් ඔහු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටියේ ය. එහෙත්, ඉන් පලක් නොවූ හෙයින්, 1925 සිට සැඟවී හිඳිමින් වියට්නාමයෙන් ප්‍රංශ හමුදාව නෙරපා දමන ආකාරය ඔහු සැලසුම් කළේ ය.

1931 දී හොංකොං හි දී ඔහු අත්අඩංගුවට පත්වූ අතර, බ්‍රිතාන්‍ය රජය ඔහු ප්‍රංශ පාලනයට බාර දෙනු වෙනුවට අත්අඩංගුවේ දී මියගිය බව ප්‍රකාශ කළේ ය. එහෙත්, 1933 ජනවාරි මාසයේ දී ඔහු නිදහස් කෙරිණි.

1940 සැප්තැම්බරයේ දී ප්‍රංශය ජපන් හමුදාවන්ට යටත් වීමේ ප්‍රතිඵලයක් ලෙස වියට්නාමය මුදාගැනීමේ විමුක්ති අරගලයට නව ජවයක් ලැබුණු අතර, එය ‘වියට්‌මින්’ (Vietminh) සංවිධානය ස්‌ථාපිත කිරීමට ද මග පෑදුවේ ය. දෙවැනි ලෝක යුද සමය තුළ සිදු වූ ජපානයේ පරාජයත් සමඟ 1945 සැප්තැම්බර් මාසයේ දී ‘වියට්‌නාම් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්‌ඩුව’ ප්‍රකාශයට පත් කළ ‘හෝචි මිං’, 1945 සිට 1955 දක්‌වා ම එහි අගමැති ධුරය දැරුවේ ය. එහෙත්, ප්‍රංශය ‘හෝ චි මිං’ ගේ නායකත්වය පිළිගන්නට සූදානම් වූයේ නැත.

මේ අතර, වියට්‌නාමය දෙකට බෙදා උතුරු වියට්‌නාමය චීනයටත්, දකුණු වියට්‌නාමය බ්‍රිතාන්‍යයටත් පාලනය සඳහා දෙන්නට එක්‌සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්‌වෙල්ට්‌, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්‌ටන් චර්චිල් සහ රුසියානු ජනාධිපති ජෝශප් ස්‌ටාලින් ‘පෝස්‌ට්‌ඩෑම්’ සමුළුවේ දී කරන ලද සැලසුම ක්‍රියාත්මක තත්ත්වයට පත් විය.

ඒ අනුව, උතුරු වියට්නාමය ‘වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය’ ලෙසත්, දකුණු වියට්නාමය ‘වියට්නාම් ජනරජය’ ලෙසත් රටවල් දෙකක් බවට පත් කෙරිණි. රට යළි එක්සත් කිරීම සඳහා මැතිවරණයක් පවත්වන බව ප්‍රකාශ වුව ද, දකුණු වියට්නාමය සහ එක්සත් ජනපදය කිසිවිටෙකත් ඊට එකඟ නොවී ය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශය නැවත වියට්‌නාමය තුළ ස්‌ථාපිත වන්නට උත්සාහ කළ අවස්ථාවේ ‘වියට්‌මින්’ ගරිල්ලන් දස දහස්‌ ගණනින් එක්‌ව ප්‍රංශ හමුදාවට විරුද්ධව සටන් වැදුණේ දැඩි විනය නීති රීති යටතේ ය.

හෝ චි මිං ගේ මග පෙන්වීම අනුව දුෂ්කර ගම්මානවල ගොවි ජනතාව සමඟ ඉතා සුහදශීලීව කටයුතු කරන්නට එහි දී ඔවුන්ට සිදුව තිබිණි. ගොවීන්ගේ බවභෝග බලෙන් පැහැර ගැනීම, සොරකම් කිරීම සපුරා තහනම් විය. ගොවීන්ගේ සියලු කටයුතු සඳහා හැකි සෑම විට ම ශ්‍රම දායකත්වයෙන් ඔවුන්ට සහයෝගය පළ කළ යුතු විය. ඒ අතර, අසීමිත චිත්ත ධෛර්යයෙන් යුක්‌තව ‘හෝ චි මිං’ තම අරගලය නොනවත්වා ඉදිරියට ගෙන ගියේ, වරින්වර ක්ෂය රෝගයෙන් ද පීඩා විඳිමිනි. එහෙත්, ඔහු සටන අත්හැරියේ නැත. ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරමින් අතිදුෂ්කර සටන දිගටම කරගෙන ගියේ ය.

1954 මැයි මාසයේ සිට දකුණු වියට්නාමය ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවති අතර, 1955 දී පැවති මැතිවරණයකින් ජනාධිපති ධුරයට පත් එන්ගෝ ඩින් ඩීම් එය ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය. වැඩිකල් යන්නට මත්තෙන්, උතුරු වියට්නාමයේ සහයෝගය ලබන ප්‍රාදේශීය කොමියුනිස්ට්වාදීන් විසින් ඩීම්ගේ ඒකාධිපති පාලනය අභියෝගයට ලක් කරන ලදි.

එහි ප්‍රතිඵලය වූයේ, දකුණු වියට්නාමයේ කොමියුනිස්ට් විරෝධී බලවේගවලට එරෙහිව ගරිල්ලා යුද්ධයක් ආරම්භ වීම යි.

එහි දී 'උතුරු වියට්නාම හමුදාව' විශාල හමුදා ඒකක සටනට යොදවමින් යුද තත්ත්වයක් නිර්මාණය කළේ ය. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් සහ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් 1941 අත්ලාන්තික් ප්‍රඥප්තියට අස්සන් කරමින් පශ්චාත් යුද ලෝකයේ නිදහස් ව්‍යාපාරවලට සහාය දෙන බවට ප්‍රතිඥා දුන්න ද, වියට්නාමයේ මෙම අභ්‍යන්තර යුද ගැටුමට එක්සත් ජනපදය අනවශ්‍ය ලෙස මැදිහත් වන අයුරු නිහඬව බලා සිටියෝ ය. එක්සත් ජනපද සහ දකුණු වියට්නාම් හමුදා, පාබල, කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර මගින් සතුරන් සොයා විනාශ කරන්නට ද, වියට්නාමය නැවත එක් කිරීම සඳහා සටන් වැදුණු උතුරු වියට්නාමයට එරෙහිව මහා පරිමාණ බෝම්බ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට ද පටන් ගත්තේ ය.

1960 මුල් භාගයේ දී එක්සත් ජනපද මැදිහත්වීම වර්ධනය වූ අතර, 1961 දී සහ 1962 දී යුද බලඇණි ප්‍රමාණය තෙගුණ කරන ලදි. 1964 වියට්‌නාමයේ පැවැති මැතිවරණයෙන් තෙමසකට පසු එක්‌සත් ජනපදය, වියට්‌නාමයට විරුද්ධව Operation Rolling Thunder මෙහෙයුම ආරම්භ කරන ලද අතර, ඇමෙරිකානු යාත්‍රාවක් 'ටොන්කින්' මුහුදු බොක්කේ දී උතුරු වියට්නාම වේ. ප්‍රහාරක යාත්‍රාවක් මගින් විනාශ කිරීමෙන් පසු ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් විසින් 'ටොන්කින් ගල්ෆ්' යෝජනාව හරහා එක්සත් ජනපද මැදිහත්වීම් තවදුරටත් වැඩි කළේ ය. ලාඕසයේ සහ කාම්බෝජයේ දේශසීමා ප්‍රදේශ උතුරු වියට්නාමය විසින් සැපයුම් මාර්ග ලෙස භාවිත කළ හෙයින්, ජාත්‍යන්තර දේශසීමා ඉක්මවමින් ද මෙහෙයුම් ක්‍රියාත්මක වන්නට වී ය. 1968 වනවිට යුද්ධය සඳහා වූ ඇමෙරිකානු සහභාගීත්වය උපරිමයකට ළඟා වී තිබුණෙන්, එම ප්‍රදේශ ද දැඩි ලෙස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයන්ට ලක් වී ය.

1968 දී උතුරේ කොමියුනිස්ට්වාදීන් විසින් වියට්නාමයේ නගර සහ මුරපොලවල් 100 කට වැඩි ගණනකට එකවර ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැලසුම් කරන ලදී.

මෙය දකුණු වියට්නාම් ජනතාව අතර කැරැල්ලක් ඇතිකොට ඊට මැදිහත්වීම සඳහා එක්සත් ජනපදය දිරිමත් කිරීමට ගත් උත්සාහයකි. එසේ ම, එහි තවත් අරමුණක් වූයේ දකුණු වියට්නාම රජය බලයෙන් පහ කිරීම යි. එම අරමුණු කිසිවක් ඉටු නොවූ නමුත්, එය යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වී ය. වසර ගණනාවක් තිස්සේ දකුණු වියට්නාම් යුද්ධයට දැවැන්ත ලෙස යුද වියදම් දරමින් යුද්ධය දිනන බවට ඇමෙරිකානු රජය සිදුකළ ප්‍රකාශ මායාවක් බව මෙම ප්‍රහාර මාලාව මගින් ඇමෙරිකානු ප්‍රජාවට ඒත්තු ගැන්වීමට හැකිවී ය.

දකුණු වියට්නාම් හමුදාවට හා ප්‍රබල ඇමරිකානු හමුදාවට එරෙහිව සටන් වැදුණු උතුරු වියට්නාම් හමුදාව හා 'වියට් කොන්' ගරිල්ලෝ 1972 වන විට තම යුද බලය ඇමෙරිකානුවන්ට හා දකුණු වියට්නාම්වරුන්ට හොඳින් ප්‍රදර්ශනය කරමින් සිටිය හ.

වියට්නාමයේ සිටි ඇමෙරිකානු භටයන්ගේ මරණ ගණන දිනෙන් දින ම ඉහළ යන බැවින්, යුද මෙහෙයුම්වල සිටි ඇමෙරිකානු භටයන් අදියර කිහිපයකින් නැවතත් මව් රටට ගෙන්වා ගැනීමට ඇමෙරිකාව කටයුතු කරන්නට පටන් ගත්තේ ය.

මේ අතර, 1972 වසරේ මාර්තු 30 වනදා තිස් දහසකට අධික උතුරු වියට්නාම් හමුදාවක් හා ‘වියට් කොන්ග්’ ගරිල්ලා හමුදාවක් යුද ටැංකි සියයක් පමණ පෙරටු කරගෙන කාලතුවක්කු වෙඩි බලය ද උපයෝගී කරගනිමින් දකුණු වියට්නාමයේ පළාත් පහකට තුන් පැත්තකින් කඩා වැදුණ හ.

‘පාස්කු ප්‍රහාරය’ (Easter Offensive) නමින් හැඳින්වුණු මෙම ප්‍රබල ප්‍රහාරය හමුවේ දකුණු වියට්නාම් හමුදාවට පසු බැසීමට සිදු වූ අතර, ගරිල්ලා හමුදාව විසින් දකුණු වියට්නාමයේ නගර කිහිපයක් අල්ලා ගනු ලැබී ය. මෙම යුද්ධයේ දී දකුණු වියට්නාමයට ඇමෙරිකානු ගුවන් හමුදාවේ සහාය හිමි වූ අතර, ඔවුහු ගරිල්ලන්ගේ ඉදිරි යුද පෙරමුණට ද, උතුරු වියට්නාමයේ ප්‍රධාන නගරවල ද ගුවනින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තෝ ය.

ඇමෙරිකානුවන් විසින් ‘ලයින්බැකර් මෙහෙයුම’ (Operations Linebacker) ලෙස හඳුන්වනු ලැබූ මෙම මෙහෙයුම මගින් ‘හැනොයි’ හා ප්‍රධාන නගර කිහිපයක තෙල් ගබඩා සංකීර්ණ විශාල ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළේ කොමියුනිස්ට් හමුදාවේ සැපයුම් අඩාල කිරීමට ය. මෙම මෙහෙයුමේ දී දළ වශයෙන් බෝම්බ ටොන් විසිදහසක් පමණ පතිත කළ බව සඳහන් වේ.

1972 අප්‍රේල් අවසානයේ දකුණු වියට්නාම් හමුදා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් බැවින්, තවත් මාස හතකට අධික කාලයක් යුද්ධය ඇදී ගියේ ය. මාස හතක් තිස්සේ පැවති යුද්ධයේ දී උතුරු වියට්නාමය විසින් අල්ලාගත් ප්‍රදේශවලින් කිහිපයක් මුදා ගැනීමට දකුණු වියට්නාම් හමුදා සමත් වූව ද, තවත් ප්‍රදේශ රැසක පාලනය පැවතියේ උතුරු වියට්නාමය සතුව ය.

1964 සිට 1975 දක්වා වූ වියට්නාම් යුද්ධයේ දී ඇමෙරිකානු සොල්දාදුවන් 47,434ක් මියගිය බව ජර්මානු සම්භවයක් ඇති ඇමෙරිකානු ගත් කතුවරයකු වන ගුන්ටර් ලුවි සිය ‘America in Vietnam’ කෘතියෙහි සඳහන් කර තිබේ.

ඔහුගේ සංඛ්‍යා ලේඛනවලට අනුව තවත් 10,786ක් යුද බිමේ දී ද, 58,220ක් ඉන් පිටත දී ද මිය ගොස් තිබේ. ඒ අතින් බලන විට ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධවල දී සිදු වූ එක්සත් ජනපද මරණ සංඛ්‍යාව 7,000කටත් වඩා අඩු ය.

එසේ ම, දකුණු වියට්නාම සිවිල් වැසියන් 40,000ක් උතුරු වියට්නාමය විසින් ඝාතනය කරන ලද බව ද ඔහු සඳහන් කරයි.

සටන් හේතුවෙන් දකුණු වියට්නාමයේ මියගිය ගණන 250,000ක් වනවිට උතුරු වියට්නාමයේ මියගිය ගොස් තිබෙන්නේ 65,000ක් තරම් සුළු පිරිසකි. තවත් සිවිල් වැසියන් 220,000ක් හමුදා මරණ ලෙස ගණන් බලා ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඔහු විසින් ඇස්තමේන්තු කර ඇති සමස්ත සිවිල් මරණ සංඛ්‍යාව 587,000කි. බොහෝ පුද්ගලයන් අර්ධකාලීන ගරිල්ලන් හෝ නිල ඇඳුම් හැඳගෙන නොසිටි කම්කරුවන් වූ බැවින්, සිවිල් වැසියන් සහ හමුදා නිලධාරීන් අතර වෙනස හඳුනා ගැනීම දුෂ්කර වී තිබේ. කෙසේ වුව ද, 1975 ඔක්තෝබර් 22 වන දා වියට්නාම් විමුක්ති අරගලය නිමවන විට ‘වියට් කොන්’ ගරිල්ලන් ප්‍රමුඛ උතුරු වියට්නාම් හමුදාවේ යුද හැකියාව පිළිබඳව ලෝකයේ ම අවධානය යොමු වී තිබිණි.

ඇමෙරිකානු හමුදා වියට්‌නාමයට හෙළු බෝම්බ ප්‍රමාණය ටොන් මිලියනය ඉක්‌මවා තිබිණි. එය දෙවන ලෝක යුද්ධයේ දී මුළුමහත් යුරෝපයට ම එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට වඩා වැඩි යැයි පැවසේ. මෙම සටනේ දී වියට්‌නාමයේ විනාශ වූ ආර්ථිකය ගණනය කළ විට ඊට වඩා වැඩි වියදමක්‌ වියට්‌නාමයට බෝම්බ හෙළීම වෙනුවෙන් ඇමෙරිකාව වැය කොට ඇති බව කියැවේ.

ඇමෙරිකාවට ‘කිසි දිනක අමතක නොවන පාඩමක්’ ඉගැන්වීමට සමාජවාදී වියට්නාම් වැසියනුත්, එයට නායකත්වය දුන් ‘ආලෝකය රැගෙන එන්නා’ යන අරුත ඇති ‘හෝ චි මිං’ සහෝදරයාත් සමත් වීම ලෝක ඉතිහාසයේ රන් අකුරින් සටහන් වී තිබේ.

විලංගු දැමූ පාවලින් යුතුව යුනෑන් සිරගෙදර සිරබත් කෑ, අවස්ථා දහයක දී හිස ගසා දැමීමෙන් ගැලවී ගත් ‘හෝ චිං මිං’ නම් වූ ඒ කුඩා ආශ්චර්යවත් මිනිසා ඉදිරියේ ලෝක බලවතුන් වන ප්‍රංශය, ජපානය, චීනය, බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව පරාජයට පත් වූ අතර, ඔහුගේ සිහිනය සැබෑ කර උතුර හා දකුණ එක් කරමින් වියට්නාම් සමාජවාදී ජනරජය බිහි විය. 1969 සැප්තැම්බර් 21 වැනි දා වියට්‌නාම් ජනතාවගේ ‘ආදරණීය හෝ චි මිං සහෝදරයා’ හෘදයාබාධයක්‌ වැළඳීමෙන් අභාවයට පත්වන අතර, ඔහු ගෙනගිය අරගලය අඛණ්‌ඩව ඉදිරියට ගෙන ගිය ඔහුගේ සගයෝ ‘හෝචි මිං’ සහෝදරයා ගේ මරණයෙන් සය වසකට පසුව එනම් 1975 දී නිදහස්‌ හා එක්‌සත් වියට්‌නාමයක අරුණලු දකින්නට සමත් වූහ.

Comments