කරුණාකර ඒ පිස්සුව මට බෝ කළ මැනවි! | සිළුමිණ

කරුණාකර ඒ පිස්සුව මට බෝ කළ මැනවි!

 

ජීවක මපුත නුඹ
මිනිස් වග ගලවන්නට
මෙලොව බිහිවූ අප
මහා වෙදැදුරන් වන්නේ
එබැවින් නුඹේ මඟ
අන් වෙදුන් හට ලොව
මහා වෙද මාවතක් වන්නේ...

සතා සිව්පාවුන්
ගහකොළ ජලය නිල්වන්
සුරකින වෙදුන් ලොව
බිහිවිය යුතුය හැමදා

මහැදුරු සුනන්දයන්ගේ "ජීවක වත" කියවන්නේ කී වැනි වතාවටදැයි කීමේ මතකයක් නැත. ඒ තරම් ම එය කියවා ඇත්තෙමි. ඒ පොත දකින හා අතට ගන්නා සෑම වාරයක ම ඊනියා විචාරකයන් ගැන මගේ මුවට නැ‍ඟෙනා සෝපාහාස සිනාව නම් තවමත් මට වළක්වාගත නොහැකි ය. ඒ විචාරවාදීන් එදා නොකියා කීවේ මහාචාර්යතුමාට 'යම්කිසි පිස්සුවක්' වැළඳී ඇති බව ය. සත්‍යයකි, මම ද ඒ හැඳින්වීමට එකඟ ය. එහෙත් ඒ පිස්සුව නොවැළඳීමෙන් ගිලන් වූ සමාජයක් වෙනුවට මම කොන්දේසි විරහිතව මහාචාර්යතුමා අසලින් සිට ගන්නෙමි. කරුණාකර ඒ "යම්කිසි පිස්සුව" සාදාගැනීමට මට උදව් කළ මැනවි; මම මහාචාර්යතුමාගෙන් ආයාචනාත්මක ව ඉල්ලා සිටිමි. පටාචාරා සියල්ල අහිමි ව ඇඳිවතත් රහිතව බුදුන් වහන්සේ හමුවන්නට ගිය කල උන්වහන්සේ කීවේ කිසිවකු නොමළ ගෙයකින් අබ සුඟක් රැගෙන එන ලෙස ය. ගෙයක් ගෙයක් පාසා ගිය පටාචාරා අබ නැතිව ම බුදුන් වහන්සේ හමුවට පැමිණියා ය. "පිස්සු" යන්න ද එසේ ම ය. එය ද නොවැළඳුණු කෙනෙක් නැත; එමෙන් ම එය පිළිගන්නා කෙනෙක් ද නැත. එකී මෙකී සියලු පිස්සු අතරින් "පරිකල්පනීය පිස්සුව" කෙතරම් ආහ්ලාදජනක ද යන්න ගැන වැඩිපුර ම දන්නේ මහැදුරු සුනන්දයන් විය යුතුය. ඉඳින් මම කොන්දේසි විරහිතව ඒ පිස්සුව වැළැඳ ගැනීමට මඟ බලමි.

"ජීවක වත" පරිකල්පනීය ඉසව්ව ගැන වඩාත් ම හොඳ ඔත්තුව දෙන්නේ එය මෙකලට ආදේශ කර බලද්දීය. සුනන්දයන් කියන්නේ අපට ජීවකයකු නැති බව ය‍‍; නැති වුවත් එය අවැසි ම යුගයක් බව ය. ජීවක වතෙන් අප හඳුනන ජීවකයා බිම්බිසාර රජුගේ පුතා වන අභයරාජ කුමාරයාට දාව සාලවතී නම් නගරසෝභිනියට උපන් කෝමාරභච්ච ය. එහෙත් මේ ඒ වෙදැදුරු ම ද නොවේ යැයි සි‍තේ.

මේ ඔබ මා දන්නා ජීවක වෙදැදුරු ද නොවේ. පූජාවලියෙහි එන ජීවකගෙන් ප්‍රතිනිර්මිත ව මේ යුගයට ගැළපෙන වෙදැදුරකු අවැසි බව පමණක් දනිමි. දිසාපාමොක් ඇඳුරුදු ජීවක වෙදැදුරුට කියන්නේ බෙහෙතකට ගත නොහැකි වල් පැලෑටියක් සොයාගෙන එතොත් ගම රට බලා යන්නට ඉඩ දෙන බව ය. ඔහු මිහිපිට බෙහෙතකට ගත නොහැකි වල් පැලෑටියක් හෝ නැති බව ඉගෙන ගනී. ඒ මිනිසාත්, සතා සීපාවාත්, ගහකොළත් අතර ඇති සංයෝගය කිසිවකුටත් බිඳහෙළිය නොහැකි බව ය.

නිර්මාණකරුවාගේ පරිකල්පනීය ඉසව්වට "කාලය" අදාළ ම නොවන බව පෙනෙන්නේ මෙවන් නිර්මාණ පරිශීලනය කරන විට ය. එදා බුදුන් කල මෙන් ම අද ද ජීවක ඉසිවර අවැසි බව තිබෙනවා නොවේද?

නුඹ ගිය මඟ නොගිය
වෙදෙක් ඇත්නම් ලොව
හේ ජීව අසිරිය
නොදත්තා වූ කෙනෙක් වෙත්ම ය
බුබුළක් සේ බි‍ඳෙන
සිරුර නම් වූ කූඩුව
සුරකිනයුරු කියන
නුඹය ජීවක නමැති ඉසිවර....

කෘතිය පුරා සුනන්දයන් ඒත්තු ගන්වන්නේ ඉසිවර ජීවකයකුගේ අවශ්‍යතාව ගැන ය. අද බොහෝ දොස්තරලා ද ලෙඩ්ඩු ය; සාමාන්‍ය අපට වඩා ලෙඩ්ඩු ය. ඒ කායික ව්‍යාධියෙන් නොව මානසික ව්‍යාධියෙනි. මානසික ව්‍යාධිය නතර වන්නේ කායික ව්‍යාධියෙනි. මේ ගැන ඇන්ටන් චෙකොව් ද ලස්සනට ලියා ඇතැයි සිහිපත් වේ. "හයේ වාට්ටුව" හැකිනම් කියවා ගනු මැනවි. "අන්දරේයි යෙෆිමිච්" දොස්තර මෙන් අද බොහෝ දොස්තරලා සිය වාට්ටුවල ම නැවැත්විය යුතු දොස්තරලා බවට පත්වෙමින් සිටින්නේ නොවේද? හැබැයි අන්දරේයි යෙෆිමිච්ලාට වෙදකම් කරන්නන්ට නම් සුනන්දයන් වැනි; විචාරකයන්ට අනුව "යම්කිසි පිස්සුවකින්" පෙළෙන්නන් කැඳවිය යුතු දිනය වැඩි ඈතක නොවනු ඇත.

පරිකල්පනයෙන් කියැවෙන නිර්මාණවලට කාලයක්, දීපයක්, දේශයක් නැත. ඒවා සර්වකාලීන ය; සර්ව භෞමික ය. "ජීවක වත" ඇතුළු ඒ ගණයේ කෘති ගැනෙන්නේ මේ වර්ගයට ය. පරිකල්පනය මූලික ක්‍රියා තුනක ඵලයකි. ඒ ක්‍රියා තුන නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අපට බෙහෙවින් වැදගත් ය. ඒවා නම් "සිදුවීම් සිතට කාවැදීම, ඒ සිදුවීම් ස්මෘතියෙහි ප්‍රතිනිර්මාණය වීම හා ඒ ස්මෘති සටහන් ඔස්සේ නව සංකල්ප රූ බිහිවීම ය. ඕනෑම සාහිත්‍ය නිර්මාණයක අගය රඳා පවතින්නේ ඊට මුල් වූ වස්තුවෙහි ස්වායත්ත වටිනාකම උඩ නොව ඒ වස්තුව සාහිත්‍ය නිර්මාණයකට පරිවර්තනය කර ඇති ආකාරය අනුව ය. මෙන්න මෙවැනි පරිවර්තන කාර්ය කෙතෙක් සාර්ථක ද යන්න තීරණය වන්නේ රචකයාගේ පරිකල්පනයේ ද සීමා මායිම් අනුව ය. කාව්‍යයක වටිනාකම රඳා පවතින්නේ කාව්‍ය වස්තුව මත නොව කවියාගේ පරිකල්පනය මත බව වර්ඩ්ස්වර්ත් පවසන්නේ ඒ නිසා ය. මඳ සුළඟට පවා හැඬවෙන තත් ඇති වීණාවක් මෙන් නිර්මාණකරුවාගේ හදවත සංවේදී වීම අවැසි වන්නේ ඒ නිසා ය. නිර්මාණාත්මක ලේඛකයා සාමාන්‍යයෙන් අසාමාන්‍ය බවක් දකින්නේ ඒ අනුව ය. නිර්මාණකරුවන්ට "යම්කිසි පිස්සුවක්" තිබීම සාමාන්‍ය කරුණකි. ඒ "යම්කිසි පිස්සුව" නැති යම් අයෙක් වේද ඒ අය නිර්මාණකරුවන් නොවන බව මා කියන්නට මැලි නොවන්නේ ඒ නිසා ය.

මහැදුරු සුනන්දයෙනි, කරුණාකර ලේඛනයේ රන්සුනු සොයා යන අපට ඒ 'යම්කිසි පිස්සුව' බෝකර ගන්නට උදව් වන්නැයි මා උදක් ම ඉල්ලා සිටින්නේ ඒ නිසා ය.

[email protected]

Comments