මානසික ව්‍යාකූල වූවන්ගේ අවසාන අවිය | සිළුමිණ

මානසික ව්‍යාකූල වූවන්ගේ අවසාන අවිය

ලොව පුරා සෑම තත්පර 40කට වරක් එක් පුද්ගලයකු සියදිවි නසා ගනී

ශ්‍රී ලංකාව පසුවන්නේ සියදිවි නසාගැනීම්වලින් 29 වැනි ස්ථානයේ

උපදින සෑම අයකුටම මරණය නියත උරුමයක් වුවද තමා විසින්ම ජීවිතය නසාගැනීම අනුමත කළ නොහැක්කකි. එහෙත් අවාසනාවකට මෙන් සියදිවි හානිකර ගැනීම් මෙන්ම ඒ සඳහා උත්සාහ කිරීම් ද නිරන්තරයෙන් වාර්තා වේ. පසුගිය සතියේ එවැනි මරණ කිහිපයක්ම වාර්තා විය. කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංවි සිටි තිලිණි පවිත්‍රා නමැති ප්‍රාදේශීය යොවුන් මාධ්‍යවේදිනිය පසුගිය 16 වැනිදා මරණයට පත්වූයේ සියදිවි හානිකරගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසටය. පවුලේ ප්‍රශ්නයක් හේතුවෙන් ඇතිවූ සිත් තැවුලක් එම මරණයට හේතුව බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එදිනම අලුයම මාදම්‍පෙ පොලිසියේ සේවය කළ 26 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු ද සියදිවි නසාගෙන තිබිණ. ඔහු යාපනයේ කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. ඊට පෙර සතියේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී 64 හැවිරිදි පුද්ගලයකු රජිව් ප්‍රකාශ් වෙඩි තබා ගැනීමෙන් සියදිවි නසාගත්තේය. එම සතියේදීම සුවහසක් බොලිවුඩ් රසිකයන් කම්පාවට පත්කරමින් ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් වූ 34 හැවිරිදි සුෂාන්ත් සිං රාජ්පුත් සිය දිවි නසාගත්තේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව සෑම තත්පර 40 කට වරක් එක් පුද්ගලයකු සියදිවි නසා ගනී. ඒ අනුව සෑම වසරකම සියදිවි නසා ගැනීම් හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවක් මියයයි. 2020 වර්ෂය සඳහා අපේක්‍ෂිත ගෝලීය සියදිවි නසා ගැනීමේ අනුපාතය සෑම තත්පර 20 කට වරක් එකක් ලෙස ඉහළ යා හැකි බවද එම සංවිධානය අනතුරු අඟවා තිබේ. ලොව පුරා වයස අවුරුදු 16-25 අතර පසුවන්නන්ගේ අකල් මරණවලට දෙවැනි හේතුව වන්නේ සියදිවි නසාගැනීම්ය. එමෙන්ම ලොව පුරා සියදිවි නසාගැනීම්වලින් වැඩිපුරම මියයන්නේ පිරිමින් බව ද සමීක්ෂණවලින් හෙළි වී තිබේ. 1995දී ශ්‍රී ලංකාව ලොව වැඩිම සියදිවි හානි මරණ අනුපාතය සහිත රට ලෙස වාර් තා විය. 1990 දශකය මැද භාගය වන විට එම අනුපාතය ජනගහනය 100,000 සිට 47ක් වූ අතර දිනකට සියදිවි නසාගැනීම් 25ක් වාර්තා වී තිබිණ.

2019 සංඛ්‍යා ලේඛණ අනුව එම අනුපාතය සියයට 14.5ක් වන අතර මේ වනවිට ශ්‍රී ලංකාව පසුවන්නේ සියදිවි නසාගැනීම්වලින් 29 වැනි ස්ථානයේය. සියයට 31.9 අනුපාතයක් සහිත ලිතුමේනියාව මේ වන විට සියදිවි නසාගැනීම්වලින් පළමු ස්ථානයේ පසුවන අතර අසල්වැසි ඉන්දියාවේ එම අනුපාතය 16.3ක් වන අතර 21 වැනි ස්ථානයේ පසුවේ.

සියදිවි නසාගැනීම් මරණ අඩුකිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙනඇති ක්‍රියාමාර් ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්ව තිබේ. අධික අනතුරුදායක පළිබෝධනාශක භාවිතය තහනම් කිරීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වඩාත්ම හොඳින් අධ්‍යයනය කරන ලද රට ශ්‍රී ලංකාව බවත් ඒ හේතුවෙන් 1995 සහ 2015 අතර සියදිවි නසාගැනීම් සියයට 70කින් පහළ වැටී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබේ.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සංඛ්‍යාලේඛන අනුව 2018 වසරේ සියදිවි හානිකරගැනීම් නිසා මරණ 3281ක් සහ 2019 වසරේ 3135ක් සිදුව තිබේ. එම වසර දෙකේදීම සියදිවි නසාගැනීම්වලින් වැඩිපුරම මරණයට පත්ව ඇත්තේ පිරිමින්ය. එසේ ලොව පුරා සියදිවි හානි කරගැනීම්වලින් මියයන පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට බලපාන හේතු පිළිබඳව අප අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යේෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මියගෙන් විමසුවේ එහි වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මිකා විජේසිංහ ප්‍රමුඛ කාර්ය මණ්ඩලය රටේ ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර් ධනය කිරීමෙහි ලා විශාල සේවයක් ඉටුකරමින් සිටින නිසාය.

“කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩියි. එසේ මත්වන අවස්ථාවලදී ඔවුන් ගන්නා තීරණ නිවැරදි නොවීම වගේම කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට දරාගැනීමේ හැකියාව අඩුවීමත් ඊට හේතුවනවා. මැදි වයස වන විට කාන්තාවන්ගේ දරාගැනීම් හැකියාව වැඩිවනවා. ජිවිතය එපා වන තරම් ප්‍රශ්න තිබුණත් දරුවන් නිසා හෝ ඔවුන් ඒවා දරාගන්නවා. ඒ වගේම කාන්තාවන් තමන්ගේ ප්‍රශ්න ගැන කා සමග හෝ කතා කරනවා. ඒ වගේම කාන්තාවන්ට උදව් කිරීමට ඉදිරිපත් වන පිරිසත් වැඩියි. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා. නමුත් පිරිමින් ප්‍රශ්න කතා කරන්නේ නැහැ. හිතේ හිරකරගෙන සිටින විට පීඩනය වැඩියි. සියදිවි නසාගැනීම් ගැන කතා කරනවාට වඩා වැදගත් වන්නේ වළක්වා ගැනීමයි. ඒ සඳහා අවදානම් සාධක හඳුනාගැනීම, අතුරු සංඥා ගැන දැනුමත් වීම සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීම අවශ්‍යයි. ”

කෙනෙකුට සියදිවි නසාගැනීමට සිතෙන අවදානම් සාධක අතර පවුලේ සියදිවි නසාගත් පුද්ගලයන් සිටීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය, මානසික රෝග, පෞරුෂත්ව ගැටලු මෙන්ම සමාජ සම්බන්ධතා සහ කුසලතා අඩුවීම, සහයෝගය දීමට සිටින ජාලය අඩුවීම ආදී කරුණු මූලික වේ. එවැනි අවදානම් සාධක සහිත පුද්ගලයන් පළකරන අවදානම් සංඥා හඳුනාගෙන කඩිනමින් ක්‍රියාකාරී වීමෙන් සියදිවි නසාගැනීමක් වළක්වා ගත හැකි බව විශේෂඥ මනෝ වෙද්‍යවරිය පවසන්නීය.

පුද්ගලයකු සුපුරුදු සන්සුන් චර්යාවන්ගෙන් මිදී අධික ලෙස කෝපයට පත්වීම, ආවේගකාරී ලෙස හැසිරීම, ජීවිතය නැතිකර ගැනීමට සිතෙන බව නිතර නිතර කීම, ජීවිතය පිළිබඳ ඉච්ඡාභංගත්වයක් පෙන්වීම සහ කලකිරීමෙන් සිටීම එවැනි සංඥා කිහිපයකි. එමෙන්ම විෂාදය ආදී මානසික රෝගවලට ප්‍රතිකාර ලබන පුද්ගලයන් ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. අප රටේ මෙන්ම දියුණු රටවලද වයස්ගත ප්‍රජාව අතර සියදිවි නසාගැනීම් ප්‍රවණතාව වැඩිවීමට හේතු ලෙස විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ පවසන්නේ සුලබ නොවන නිදන්ගත රෝගවලින් පෙළීම, විශ්‍රාම දිවිය සුවදායක නොවීම, ආර් ථික ශක්තිය අහිමි වීම හෝ ආදායම අඩුවීම, යැපෙන්නන් බවට පත්වීම, දරුවන් දුරස්වීම, බිරිඳ මියයෑම හෝ දුරස් වීම වැනි හේතු නිසා ඇතිවන පාළුව, කාන්සිය සහ එවැනි හැඟීම්වලින් මිදීම සඳහා මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැනි කරුණු ය.

පුද්ගලයකු සියදිවි නසාගැනීම සඳහා පෙලඹෙන්නේ ඇයි? එය කිසියම් මානසික රෝගයක්ද? ඒ පිළිබඳව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ‍විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මෙසේ පැහැදිලි කළේය.“සියදිවි නසා ගැනීමට උත්සාහ කරන්නන් සහ සියදිවි නසාගන්නන් ලෙස දෙයාකාර තත්ත්වයක් තිබෙනවා. පසුගිය දශක දෙක තුළ සියදිවි නසාගත් ප්‍රමාණය අඩුවෙලා තිබුණත් ඒ සඳහා උත්සාහ කරන්නන් අඩුවී නැහැ. සියදිවි නසාගැනීමට යොමුවන අය අර විවිධ මානසික ගැටලු සහිත පුද්ගලයන් සහ විෂාදයෙන් පෙළෙන පුද්ගලයන් සිටිනවා. ඇතැම් අය විෂාදයෙන් පෙළෙන බව හෙළිවන්නේ සියදිවි නසාගැනීමෙන් පසුවයි.

ඒ වගේම විවිධ පෞරුෂත්ව දුර්වලතාවලින් පෙළෙන අය සියදිවි හානිකරගැනීමට පෙලඹෙනවා. ඔවුන්ට කෝපය පාලනය කරගැනීම, ආවේග පාලනය කරගැනීම අපහසුයි. ඒ නිසා නිවැරදි තීරණ ගන්නට බැහැ. ඒ තුළ ඇතිවන මානසික වේදනාව දරාගත නොහැකි වීම තුළ සියදිවි නසාගැනීම හැර වෙනත් විකල්පයක් දකින්නේ නැහැ. ”

මානසික ගැටලුවකින් හෝ විෂාදයෙන් නොපෙළෙන අයකුට පවා ජීවිතය නැතිකරගැනීමේ සිතිවිල්ලක් පහළ විය හැකිදැයි අප විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගෙන් විමසුවෙමු.

“සියදිවි නසාගැනීමක් කියන්නේ විවිධ මානසික රෝග සහ ගැටලුවලින් පෙළෙන පුද්ගලයන් විසින් ඒ මානසික පීඩනය තුළ ගන්නා නිවැරදි නොවන තීරණයක්. ඇතැම් විට කෙනෙක් තුළ විෂාදයක් නැතිවුවත් ජීවිතය නැතිකරගැනීමේ සිතිවිලි ඇති විය හැකියි. නමුත් බොහෝ විට ඒ සිතිවිලි ක්‍රියාකාරී ඒවා නෙවෙයි. ක්ෂණිකව ඇවිත් නැවත යන සිතිවිලි මිස ඒවාට මතුපිටට ඇවිත් ක්‍රියාකරන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒ සිතිවිලි ඉබේම නැතිවී යනවා. ඒ වගේම සමහර අය මැරෙන්න ඕන කියමින් හිත හිතා ඉන්නවා. නමුත් විවිධ හේතු නිසා ඔවුන් මරණය කරා නොයා ආරක්ෂා වෙනවා. සමහර අය දරුවන්ගේ බැඳීම් නිසා, ආත්ම ගරුත්වය සහ ආගමික විශ්වාස නිසා සියදිවි හානිකරගැනීමේ සිතිවිලි මැඩගන්නවා. නමුත් විෂාදය සහිත පුද්ගලයකු සියදිවි නසාගැනීම විසඳුමක් ලෙස තෝරාගැනීමේ නැඹුරුව වැඩියි. ඒ වගේම ඇතැම් පුද්ගලයන් තමන්ගේ ප්‍රශ්නයට කොයිතරම් විසඳුම් පෙනෙන්නට තිබුණත් මැරෙන්න ඕන කියන සාධකය ප්‍රබල නම් ඔවුන් මරණය සැලසුම් කරනවා. ඒ නිසා කෙනෙක් සියදිවි නසාගනිවි කියලා සැකයක් තිබෙනවා නම් ඒ සඳහා බලපාන හේතුවලට වහාම නිසි පිළියම් යෙදිය යුතුයි. මනස අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්නවලට නිසි විසඳුම් නොලැබුණොත් නැවත නැවත ඒ ප්‍රශ්න මතුවනවා. එවිට එය කෙළවර වන්නේ සියදිවි නසාගැනීමකින්ම විය හැකියි.

විෂාදයත් සමග ඇතිවන රසායානික වෙනස්කම් නිසා ඇතැම් තත්ත්වයන් ප්‍රතිකාරවලින් ඉක්මනින් සුව කරන්නත් අපහසුයි. බොහෝ වෙලාවට විෂාදයෙන් පෙළෙන පුද්ගලයන් වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව නොවුණාම ප්‍රතිකාර වැඩක් නැහැ කියලා අතහරිනවා. නමුත් එහෙම මුල් අවස්ථාවේ සුව නොවන රෝග සඳහා ඊට වඩා ප්‍රබල ප්‍රතිකාර අවශ්‍යයි. ඒ වගේම සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරුන්, උපදේශකයන්ගෙන් පමණක් උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමත් වැදගත්. අන්තර් ජාලය තුළ උපදේශනයේ යෙදෙන අය බහුලව අපි දකිනවා. නමුත් එවැනි උපදේශවලින් තත්ත්වය තවත් බැරෑරුම් විය හැකියි.”

සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සිය සමීපතමන්ට සවන් දීම සහ අවදානයෙන් සිටීම අප කා අතිනුත් සිදුවිය යුතුම දෙයක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යේෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ මහත්මිය පවසන්නීය. ඇතැම් විට කුමක් හෝ ප්‍රශ්නයකින් පීඩා විඳින ඔබේ හිතවතකු ඔබ සමඟ ඒ ප්‍රශ්නය කතාකිරීමට අකැමැති විය හැකිය. නමුත් ඒ මොහොතේ ඔහු තනි නොකර ළඟ රැඳී සිටීම පවා ඔහු සියදිවි නසාගැනීම වළක්වා ගැනීමට ඉවහල් විය හැකිය‍.

එපමණක් නොව ඔබ කුමන හෝ මානසික ගැටලුවකින් පීඩා විඳිනවා නම් නොපමාව ඔබට විශ්වාස කළ හැකි කෙනෙකු සමඟ කතා කරන්න. නැතහොත් උපදේශනය සලසා ගත හැකි විශ්වාසවන්ත ආයතනයක සුදුසුකම් ලත් උපදේශකයකු වෙත යොමුවන්න. ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර් ධනය කිරීම වෙනුවෙන් කැපවූ රජයේ ආයතනය වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකරන අතර පැය 24 පුරාම ක්‍රියාත්මක 1926 උපකාරක සේවාව ඇමතිය හැකිය. මොබිටෙල් සහ ස්ථාවර දුරකථනවලින් එම අංකය සදහා ලබාගන්නා ඇමතුම් නොමිලේ වීම ද විශේෂත්වයකි. ගැටලුවේ ස්වරූපය අනුව උපදේශනය සහ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම අවශ්‍ය නම් නීති ආධාර ලබාදීම සඳහා යොමුකිරීම ද එම සේවාව මගින් සිදුවේ.

‘සුමිත්‍රයෝ’ ප්‍රජා සංවිධානය ද සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා උපදේශනය ලබාදීම මෙන්ම ගැටලුවේ ස්වාභාවය අනුව නීති ආධාර ලබාදීම සඳහා අවශ්‍ය ආයතන වෙත යොමුකිරී මද සිදුකරයි. දින 365 පුරාම උදේ 9 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වන එම ආයතනයේ උපදේශන සේවය සමග දුරකථන, ඊමේල්, වට්සප් සහ ස්කයිප් මාර් ගයෙන් සම්බන්ධ විය හැකිය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය පහව ගිය පසු සුපුරුදු පරිදි එම ආයතනයට පැමිණ සේවය ලබාගත හැකිය. මත්පැන් හා මත්ද්‍රව්‍යවලට මෙන්ම විවධාකර ඇබ්බැහිවීම්ලට ලක්වූවන් සියදිවි නසාගැනීම වැළැක්වීම සඳහා ද සුමිත්‍රයෝ හි විශේෂ මධ්‍යස්ථානයක් මැල් මැදුර උපකාරක සේවය නමින් පවත්වා ගෙන යනු ලබයි. 0112693460/0112694665 අංක තුළින් එම සේවාව ලබාගත හැකි අතර 0112 2683555, 0112696666 සහ 0112692909 අංක මගින් සුමිත්‍රයෝ ආයතනය ඇමතිය හැකිය. නොමිලේ සපයන එම සේවාවන්හි නිරත ස්වෙච්ඡා සේවකයන් සේවාව ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට බැඳී සිටින බව සුමිත්‍රයෝ හි සමාජීය නිලධාරිනියක පැවසුවාය. “සුමිත්‍රයෝ ආයතනය කියන්නේ අනුකම්පාව වෙනුවට සංවේදනය, උපදෙස් වෙනුවට සවිබල ගැන්වීම සහ සම්පූර් ණ රහස්‍යභාවය පිළිබඳ සහතික වන ඔබට සවන් දෙන නමුත් ඔබව විනිශ්චය නොකරන ආයතනයක්. ඒ නිසා ඔබට ඔබේ සිතේ තිබෙන ඕනෑම මානසික වේදනාවක්, පීඩාකාරී හැඟීමක් අප සමඟ බෙදාගත හැකියි.” ඇය වැඩිදුරටත් පැවසුවාය.

සියදිවි නසාගැනීම් පිළිබඳව මාධ්‍ය වාර්තාකරණය ඉතා වැදගත් වන අතර ප්‍රවේශම් සහගත විය යුතු බවද විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා අවධාරණය කළේය. සියදිවි නසාගැනීම් සම්බන්ධ‍යෙන් වාර්තා කිරීමේදී දිවි නසාගත් ක්‍රමය පිළිබඳ විස්තර කිරීම සහ ඡායාරූප ප්‍රදර්ශනය නොකිරීමට ද ප්‍රවේශම් විය යුතුය. සියදිවි නසාගැනීම ප්‍රශ්නවලට විසඳුම් වශයෙන් හුවා දැක්වෙන ආකාරයට හෝ වීරත්වයක් ආරෝපණය වන ලෙස වාර් තා කිරීම ද සුදුසු නොවේ.

සෑම මරණයක්ම පවුලේ අයට, මිතුරන්ට සහ සමීපතමයන්ට ඛේදවාචකයක්, නිමා නොවන වේදනාවක් බව සැබෑවකි. එහෙත් සියදිවි නසාගැනීමක් යනු වළක්වා ගත හැකි මරණයකි. එම මරණ වැළැක්වීමේ උපාය මාර්ග ජාතික සෞඛ්‍ය හා අධ්‍යාපන වැඩසටහන් සඳහා ඇතුළත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

රටක් ලෙස බලධාරීන් ඒ වගකීම ඉටුකරද්දී අප ද අපට හැකි පමණින් අපේ වගකීම ඉටුකරමු. ඔබේ සමීපතමයකු හෙට දිනයේ සියදිවි නසාගැනීමකින් ජීවිතය අවසන් කරගත් බව අසන්නට හෝ නොදකින්නට අදම අනෙකාගේ මානසික තැවුල, වේදනාව ගැන විමසිලිමත් වෙමු.

Comments