ගොරකා දඩමස් කළ වැලිකඩ හිටපු OICට වැඩ වරදී | සිළුමිණ

ගොරකා දඩමස් කළ වැලිකඩ හිටපු OICට වැඩ වරදී

සාධාරණය ඉල්ලා උද්ඝෝෂණය කළ මවුවරුන්

නීතිය ලොකු කුඩා කාටත් පොදු විය යුතුය. නීතිය නැමීමට හෝ නීතිය යට ගැසීමට හෝ කිසිවකුට හැකියාවක් නැත. එසේ කළහොත් අගතියට පත් පාර්ශ්වයෙන් නැඟෙන අඳෝනා කෙදිනක හෝ පස්සෙන් පැමිණ තමන්ට පහර දෙනු ඇත. ඒ ලෝක ධර්මතාවයයි. එමෙන්ම සත්‍යය හැංගීමට නොහැකිය.එවැනි එක් උදාහරණයක් අපට පෙන්වා දිය හැක්කේ මොරටුව ප්‍රදේශයෙනි. අඟුලාන ප්‍රදේශයේ කාන්තාවකට උසුළු විසුළු කෙළේ යැයි තරුණයින් දෙදෙනකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල විය. ඔහු වරදකරුවීමට පෙර පාදයක් කපා දැමීමට සිදු විය. නීතියද ඔහුට ක්‍රියාත්මක විය. මේ එක් කතාවක් පමණි

මෙවැනි තවත් කතාවක් අපට වාර්තා වුණේ 2016 වසරේ වැලිකඩ ප්‍රදේශයෙනි. ඒ යතුරු පැදියක් අනතුරට පත් කර පළා ගිය ප්‍රභූවරයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ කතාවයි. එවකට මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති ධුරය දැරූ පාඨලී චම්පික රණවකට අයත් ජීප් රථයක් රාජගිරිය ප්‍රදේශයේදී අනතුරට පත් වී යතුරු පැදියේ ගමන් කළ තරුණයකු බරපතළ තුවාල ලැබීය.එහිදී අදාළ ප්‍රභූ රිය පළා ගිය අතර පසුව යතුරුපැදිවලින් හඹා ගිය තරුණයන් පිරිසක් ජීප් රිය නවත්වා ගන්නට සමත් විය. තරුණයන් පවසන පරිදි එම ජීප්රිය පදවා ඇත්තේ බස්නාහිර සංවර්ධන ඇමැති ධුරය දැරූ පාඨලී චම්පික රණවක විසිනි. ඔවුන් අනතුර වූ අවස්ථාවේ තරුණයා රෝහල් ගත කිරීමෙන් පසුව වැලිකඩ පොලිසියට ගොස් ඒ ගැන පැමිණිලි කර ඇත. සිද්ධිය ඇසින් දුටුවේ යැයි පවසන තරුණයන් දෙදෙනකු පවසා ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ රථය පදවා ඇත්තේ පාඨලී චම්පික ඇමැතිවරයා බවයි. ඒ අප දන්නා කතාවයි.

අනතුර සිදුවූයේ 2016 වසරේ පෙබරවාරි 28 දින රාත්‍රියේය. පැමිණිල්ලට කළ හැක්කේ ඒ ගැන පැමිණිලි කිරීම පමණකි. පැමිණිල්ල ඉදිරියට ගෙන යාමේ කටයුත්ත ඇත්තේ නීතිය අකුරටම ඉටු කරන්නට පෙනී සිටින පොලිසියටය. තරුණයන්ට පසුව දැන ගන්නට ලැබී ඇත්තේ එදින රථය පදවා ඇත්තේ වෙනත් අයකු බවට පොලිසිය විසින් වෙනත් රියැදුරකුට චෝදනාවක් ගොනු කර ඇති බවත්ය. ඒ බව සැලවීමත් සමඟ පෙර සාක්ෂි ලබා දුන් තරුණයන් දෙදෙනා නැවතත් වැලිකඩ පොලිසියට ගොස් සිද්ධිය ඇසින් දුටුවේ ඔවුන් බවත් රථයේ ගමන් කෙළේ අදාළ ඇමැතිවරයාම බව තමන් දුටු අතර එය වෙනස් කිරීම කිසිසේත් නොකළ යුතු බවට යළිත් වරක් කට උත්තරයක් ලබා දී ඇත.

සිදුවීම් මාලාව දිගින් දිගටම ගලා ගිය අතර එදින රථය පැදවූයේ අදාළ ඇමැතිවරයාගේ රියැදුරකු බව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. වරදකරු විය යුත්තේ ජීප් රථයේ පසුපසින් පැමිණ ගැටීම සිදු කර ඇති තරුණයා බවත් යතුරු පැදිය සාමාන්‍ය මාර්ගයේ ධාවනය කළ නොහැකි අශ්වබල 1000කින් යුක්ත වූවක් බවද මෙහිදී කරළියට ආ කතා අතර විය.යතුරුපැදිය සාමාන්‍ය මහා මාර්ගයේ ධාවනය කළ නොහැකි නම් ඒ සඳහා නීතිමය වශයෙන් කටයුතු කළ යුතුය; දඩ ගැසිය හැකිය; එය රාජසන්තක කළ හැකිය. පසුපසින් පැමිණ ගැටුම සිදුවූවා නම් (යතුරු පැදිය ගැටී ඇත්තේ වාහනයේ පිටුපස ප්‍රධාන තිරිංග අනතුරු පහනක පැත්තෙනි) ඒ වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක කළ යුතුය. වරද ඇත්තේ තරුණයා අත නම් ඔහුට විරුද්ධව නඩු පැවරිය හැකිය.

එහෙත් අනතුරක් සිදු වූ වහාම කළ යුත්තේ තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කිරීමයි. සිදුවීම පොලිසියට වාර්තා කිරීමයි. එහෙත් මෙතනදී ඒ මූලික කරුණු දෙකම ඉටු වී නැත.

බරපතළ තුවාල ලැබූ සංදීප් සම්පත් නම් එම තරුණයා රෝහල්ගතව මාස ගණනාවක් සිටියේය. ඒ අතර අනතුර සිදු කළ බවට එහි වගකීම බාරගත් ඇමැතිවරයාගේ රියැදුරකුට විරුද්ධව පොලිසිය නඩු පැවරුවේය. නඩුව විභාග වුණු අතර නඩුව විභාග වෙද්දී ඇමැතිවරයා ඒ සඳහා කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවට පොලිසිය විසින් අධිකරණයට ගොනු කරන ලද කරුණු වාර්තා කිරීම නිසා ඇමැතිවරයා නිදහස් විය. එතැනින් සිදුවීම එක් පැත්තකින් පසෙකට විසි විය.අනතුරින් තුවාල ලැබූ සංදීප් සම්පත්ට සාධාරණයක් පතා ඔවුන්ගේ මවුපියන්, ඥාතීන්, හිතවතුන් වරින් වර කටයුතු කළත් එය සාර්ථක නොවීය. එහෙත් ඒ සම්බන්ධව පරීක්ෂණ තවත් පසෙකින් ක්‍රියාත්මක විය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මේ සිදුවීම් සම්බන්ධව කතාබහ යළි කරළියට ආවේය.

ඒ හිටපු ඇමැතිවරයාගේ රියැදුරු දිලුම් තුසිත කුමාරගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් දිගින් දිගටම සිදු කළ විමර්ශනවලදීය. ඒ අනුව ඔහු හෙළි කෙළේ ‘පාඨලී චම්පික රණවක ඇමැතිගේ ගේ ජීප් රථයේ තරුණයකු ගැටුණු අවස්ථාවේදී එම රථය පදවන ලද්දේ තමා නොවන බවයි. ඒ අදාළ අනතුර පිළිබඳ විමර්ශනයකට අදාළව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදීය. අනතුර සිදුවීමෙන් පසුව දිලුම් තුසිත කුමාර නැමැති රියැදුරාට ලැබුණු උපදෙස් මත වැලිකඩ පොලිසියට පැමිණ අනතුරේ වගකීම ඔහු විසින් භාරගෙන ඇති බව හෙළි විය. මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවුණු අතර ඔහු මේ කරුණු අනාවරණය කරන ලදී. ඔහු පවසා සිටියේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ රියැදුරකු වන තමන් හොඳින් දන්නා ප්‍රදීප් අල්විස් අනතුරට ලක්වූ ජීප් රථය පදවාගෙන විත් ‘ඇමැතිවරයා අතින් සුළු අනතුරක් වූ බවත් ඒ ගැන බියට පත් නොවී පොලිසියට ඉදිරිපත් වන ලෙසත්‘ පවසා ඇතැයි ඔහු අධිකරණයේදී ප්‍රකාශ කෙළේය. එසේම ඉක්මනින්ම ඔහු නිදහස් කර ගැනීමට කටයුතු කරන බවද අල්විස් නමැත්තා දැනුම් දී ඇතැයිද දිලුම් තුසිත කුමාර මෙහිදී පවසා තිබේ.

මෙම නඩුවේ දෙවැනි සැකකරු වන දිලුම් තුසිත කුමාර නැමැති රියැදුරා 2016 වර්ෂයේදී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව සිදුකළ ප්‍රකාශයට අනුව අධිකරණය ඊට අවස්ථාවක් ලබාදුන් අතර සැකකරු මේ වසරේ ජනවාරි 22 වැනිදා අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී අදාළ ප්‍රකාශය සිදු කළේය.කැලුම් තුසිත කුමාරට ලැබුණු උපදෙස් මත ඔහු කටයුතු කර ඇති බවත්, ප්‍රදීප් අල්විස් නමැත්තා පොරොන්දු වූ ආකාරයට සැකකරුට යම් සහනයක් ලැබෙන සේ පොලිසිය කටයුතු කර ඇති බවත්, සැකකරුගේ දෙවැනි ප්‍රකාශය ඔස්සේ පෙනී යන්නේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කළ විමර්ශනයේදී හෙළි වූයේ පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිවරයාගේ රථයේ ගැටී තරුණයා බරපතළ තුවාල ලැබීමෙන් පසුව වැලිකඩ පොලිසියේද සහායෙන් සාක්ෂි වසන් කර වෙනත් අයෙක් රියැදුරු ලෙස ඉදිරිපත් කර ඇති බවයි. ඒ සම්බන්ධව සිදු කළ පරීක්ෂණයෙන් පසුව 2019.12.18 දින පාඨලී චම්පික ඇමැතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට ඇප මත නිදහස්ව ඇත.

අනතුර සිදු කළ බව වගකීම බාරගෙන පොලිසියට ඉදිරිපත් වූ දිලුම් තුසිත කුමාර නැමැත්තා විසින් සිදුකළ ප්‍රකාශයට අනුව සිදු කළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ මේ සියලු කරුණු වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේද සහායෙන් සිදු කරන ලද්දක් බවයි.

නීතිය පසිඳලන ආයතනයක් විසින් මේ ලෙසින් කටයුතු කර තිබීම නීතියේ පිළිසරණ පතන සාමාන්‍ය ජනතාවට සිදුවන බලවත් අසාධාරණයක් නිසා ඒ සම්බන්ධව සිදු කළ විමර්ශන හමුවේ කතාවේ අනෙක් අගමුලද හෙළිවන්නට විය

ඒ අනුව එවකට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල ද මේ කතාවේ ප්‍රධාන චරිතයක් බව හෙළි විය. එම නිසා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබේ. හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස මෙලෙස නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේදී ඇසින් දුටු අය අනතුරින් පැයකට පමණ පසු වැලිකඩ පොලිසියට රථය පැදවූයේ ඇමැතිවරයා බවට පොලිසියට ප්‍රකාශ ලබා දුන්නද අනතුර සිදු කෙළේ ඔහු නොවන බව සටහන් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඬල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වූ පෙරේරා නැමැති පොලිස් නිලධාරියාට දැනුම් දී ඇති බව මේ වන විට විමර්ශනවලින් හෙළිව ඇත. රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ඒ සම්බන්ධව වැලිකඩ පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් සුරේෂ් හා පොලිස් කොස්තාපල් ලක්මාල් වෙත පවසා ඇත. ඒ අනුව අදාළ නිලධාරීන් විසින් අනතුර සිදුවූ අවස්ථාවේදී රථය පදවන ලද්දේ ඇමැතිවරයා නොව ඔහුගේ රියැදුරු විසින් බවට සටහන් කර ඇත්තේ සිද්ධිය සියැසින් දුටු අය කටඋත්තර ලබා දුන් පසුබිමකය.

අනතුර සිදුවූ දින සියැසින් දැක කටඋත්තර ලබා දුන්නද එම ප්‍රකාශ යටපත් වන බව දැනගන්නට ලැබුණු නිසා 2016 අප්‍රේල් මස 20 වැනිදා යළිත් වැලිකඩ පොලිසියට ගිය පෙර සාක්ෂි ලබා දුන් සංදීප්ගේ මිතුරන් දෙදෙනා කටඋත්තර ලබා දෙමින් අදාළ රථය පැදවූයේ ඇමැතිවරයාම බවත් ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා අගතියට පත් අය වෙනුවෙන් සාධාරණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත. එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් 2016.04.27 දින අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක දැනුම් දීමක් සිදු කර නොමැත.දිගින් දිගටම මේ සිදුවීම සම්බන්ධයෙන් කතාබහ දිග හැරෙද්දී වෙනත් පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විමර්ශන සිදු කර ඇත. එවන් විමර්ශන ක්‍රියාත්මක වෙද්දී 2017 වසරේ ජනවාරි 4 වැනිදා අධිකරණයට හදිසියේම කරුණු වාර්තා කරමින් පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ පාඨලී චම්පික ඇමැතිවරයා මේ සිදුවීම් සම්බන්ධව චෝදනාවක් හෝ වරදකරුවකු වීමට කිසිදු හැකියාවක් නොමැති බවත් මේ සිදුවීමට අදාළ පුද්ගලයා දිලුම් තුසිත කුමාර බවද ඔහු වගකීම බාරගෙන ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ විමර්ශනයේදී සියලු කරුණු අනාවරණය වීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට සෘජුවම චෝදනා එල්ල වී ඇත. ඕනෑම අයකුට වරදක් කර තමන් නොකළ බවට පැවසිය හැකිය. එහෙත් වරද ඇත්තේ කා අතද යන්න තීරණය කරන අධිකරණයට නිසි පරිදි කරුණු වාර්තා කළ යුතු පොලිසිය විසින් හිතාමතාම කරුණු වසන් කිරීම මෙන්ම සාවද්‍ය සාක්ෂි ගොඩනැඟීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව බලවත්ම වරදක් වන්නේය. විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 190, 198 හා 215 වගන්ති යටතේ පොලිස් අධිකාරි සුදත් අස්මඬල (එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපති), පාඨලී චම්පික හිටපු ඇමැතිවරයා හා දිලුම් තුසිත කුමාර යන තිදෙනා අධිකරණය නොමඟ යැවීමේ කුමන්ත්‍රණයක් සිදු කර ඇති බව මෙහිදී අනාවරණය විය. 2019 වසරේ දෙසැම්බර් 14 දින පොලිසියට බාර වූ දිලුම් තුසිත කුමාර විසින් 2020 ජනවාරි 4 වැනිදා ලබා දුන් ප්‍රකාශය ප්‍රථමයෙන් ලබා දුන් ප්‍රකාශයට වඩා හාත්පසින්ම වෙනස් බව තහවුරු වී ඇත. වැටත් නියරත් ගොයම් කා නම් ඒ අමාරුව කියන්නේ කාටදැයි යන්න අපට ගැටලුවක් වුවද දැන් නම් ඒ අමාරුව කියන්නට හැකියාව ලැබී ඇත. නීතිය ඉදිරියේ තවත් කරුණු ඉදිරියේදී හෙළි වනු ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබා ගැනීමට යෝජිත වූ සුදත් අස්මඬල පසුගිය 3 වැනිදා නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත ඔහු මුදා හරින ලෙස නියෝග කළාය. එසේම ලබන 8 වැනිදා සඳුදා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද ඇය නියෝග කළාය.

Comments