මිනිසත්කම වෙනුවෙන් දිවිදුන් රිස්වාන් | Page 2 | සිළුමිණ

මිනිසත්කම වෙනුවෙන් දිවිදුන් රිස්වාන්

කඳුකරයේ ජලාශ සියල්ලම පාහේ පසුගිය මාස තුන හතරක කාලය තුළ සිඳී ගියේ ප්‍රමාණවත් වැසි නොලැබීමෙනි. අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමත් සමඟ තෝරතෝංචියක් නැතිව ඇද වැටුණු වර්ෂාව දින දෙක තුනක් තුළ ජලාශ සියල්ල පුරවා දැම්මේ වාන් මට්ටමටද එපිටින් යන ලෙසනි. ඉහළ කොත්මලේ ජලාශයද ජල පහස උපරිමයෙන් විඳිමින් සිටින මොහොතේ ප්‍රදේශය පුරා පැවතියේ දැඩි නිහඬ බවක් හා සීතකි. ඒ නිහඬ බව සුණු විසුණු කරමින් මැයි 21 බ්‍රහස්පතින්දා දහවල් ජලාශය දෙසින් මහ ඝෝෂාවක් පැතිර ගියේ

21 හැවිරිදි තරුණියක් දිවිහානි කරගැනීමේ අරමුණින් ජලාශයට පැන තීබීම හේතුවෙනි. දැඩි ශීත නිසා සාක්කු වලට අත්හොවා උණුසුම සොයමින් සිටි පිරිස් වලට හීන් දහඩිය දැම්මේ කොත්මලේ ජලාශයේ ගිලෙමින් යළි යළිත් දිය මතුපිටට පැමිණෙන තරුණිය දැකීමෙනි.

ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලමෙන් ඇය ජලාශයට පැන තිබුණේ පෙරවරු 10.00 ට පමණය. ඒ වනවිටත් පාලම මතට පැමිණ සිටි දෙසීයක පමණ පිරිසක් තරුණිය දෙස සුසුම් හෙළමින් බලා සිටියේ ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා දියට පැනීමට කිසිවකුටත් දිරියක් නොතිබීම නිසාය.

වෘත්තියෙන් පෙදරේරුවකු වන විසි අට හැවිරිදි හමීඩ් රිස්වාන්ද පාලම මතට පැමිණියේ අවට සිටි පිරිස්වල කෑකෝ ගැසීම අනුවය.ලිඳුල රත්නිල්ලකැලේ පදිංචි දෙදරු පියකු වන රිස්වාන් ජලාශයට නුදුරු ස්ථානයක ඉදිකෙරුණු ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුුතු වල නිරත වෙමින් සිටි අතර; මෙහි පැමිණි රිස්වාන් වටපිට බැලුවත් කිසිවකුත් තරුණිය බේරා ගැනීමට ඉදිරිපත් වන බවක් නොදැක්කේය. ලණුවක්ද රැගෙන දෙවරක් නොසිතා ජලාශයට පනින ලද රිස්වාන් දියේ ගිලෙමින් යළි මතුවෙමින් සිටි තරුණිය වෙත වේගයෙන් ළඟා වුණේය. තමන් අතවූ ලණුව රිස්වාන් තරුණිය වෙත දුන්නත් ඇයට එය අල්ලා ගැනීමට නොහැකිවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ඒ මොහොතේ වරලසින් තරුණිය අල්ලා ගැනීමට රිස්වාන් උත්සහ කරත්දී දෙදෙනාම දියේ ගිලී නොපෙනී ගොස් තිබේ. සුළු මොහොතකින් යළිත් තරුණිය පමණක් දිය මතුපිටට පැමිණියේ කිසිවකුටත් අදහාගත නොහැකි ලෙසිනි.

ඒ වනවිටත් තලවාකැලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ එම ස්ථානයට ළඟාවී සිටියහ. තවත් තරුණයින් පිරිසක් ඒ වනවිටත් තරුණිය බේරා ගැනීම සඳහා ජලාශයට පැන තිබූ නමුත් ඔවුන් කිසිවෙකුත් තරුණිය අසළට ළඟාවී නොතිබුණේ රිස්වාන්ට අත්වූ ඉරණම තමන්ටද අත්වේයැයි යන බිය නිසාය.

ජලයේ දඟලමින් සිට තරුණිය ක්‍රමයෙන් අඩපණ වනබව දුටු පොලිස් ස්ථානාධිපතිවරයා තවත් බලා සිටීමෙන් සිදුවන්නේ ඇගේ ජීවිතය ජල රකුසාට බිලි වීම යැයි තේරුම් ගත්තේය. නිල ඇඳුම ගලවා දමා පොලිස් කොස්තාපල් (73627) රූබන්ද සමඟ හුළං පිරිවූ ටියුබයක් සමඟ ලණුවක්ද රැගෙන ජලාශයේ පිහිනා ගිය රුවන් ප්‍රනාන්දු විනාඩි කිහිපයකදී තරුණිය වෙත ළඟා වීමට සමත් වුණේය. ලණුව ගැටගසා තිබූ ටියුබය මතට තරුණිය නැංවීමත් සමඟ ජලාශ ඉවුරේ සිටි පොලිස් නිලධාරීන් විසින් ලණුව ඇද තරුණිය ගොඩට ගනු ලැබූහ. ඒ වනවිටත් ජලය පෙවී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තරුණිය ලිඳුල රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පැය භාගයක පමණ කාලයක් ජල රකුසා සමඟ පොරබදමින් සිට මරණය වෙනුවට ජීවිතය යළි ලබාගත් තිරිචෙල්වම් ශ්‍රියානි තලවාකැලේම පදිංචිකාරියකි. දිගු කලක පටන් පැවැති ප්‍රේම සම්බන්ධතාවකට දෙමව්පියන් විරුද්ධවී ඇයව වෙනත් පුද්ගලයකුට විවාහ කරදීමට යෝජනා කර තිබේ. මෙම විවාහයට දෙපාර්ශ්වයම එකඟවී තිබෙන්නේ ශ්‍රියානිගේ දැඩි අකමැත්ත කිසිදු අයුරකින් මායිම් නොකරය. ශ්‍රියානි වෙනත් තරුණයකුට විවාහකර දීමට සුදානම් වන බව දැනගත් නානුඔය පදිංචි ඇගේ පෙම්වතා සියදිවි හානි කරගෙන තිබේ. ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබී ඇත්තේද ශ්‍රියානි ජලාශයට පනින ලද දිනයේම බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන තලවකැලේ පොලිසියේ පොලිස් සැරයන් එස්.එම්.විලියම් (55662) පැවසීය.

ශ්‍රියානිගේ දිවි බේරීමට ගොස් දිවි අහිමි කරගත් රිස්වාන් හිත හොඳ කාගේත් දුකට පිහිට වෙන අයකු බව ප්‍රදේශවාසීහු පවසති. ඔහුගේ පියා මුස්ලිම්ය; මව සිංහලය.

‘අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. දෙවැනි පුතා තමයි රිස්වාන්. එයා අපේ ගේ ළඟම ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. පුතාට අවුරුදු 12 ක දුවෙක් හා අවුරුදු 09 ක පුතෙක් ඉන්නවා. දරු පවුලත් එක්ක එයා හොඳින් ජීවත් වුණා. අපිටත් පුළුවන් විදිහට සලකනවා. පුතා වීරයෙක් කියලා හැමෝම කියනවා. ඒත් අද එයා නැහැ. මට බය එයාගේ දරුවෝ දෙන්නගේ අනාගතය ගැනයි‘ රිස්වාන්ගේ මව නිල්මිණි කුමාරි කීවාය.

‘මගේ ගම බණ්ඩාරවෙල. මට දරුවන් සිව්දෙනෙක් ඉන්නවා. මහජනතාව සහ මහජන දේපළ ආරක්ෂාකර ගැනීමට බැඳී සිටින නිලධාරියකු ලෙස මම මගේ වගකීම ඉෂ්ට කළා. විශාල පිරිසක් බලා සිටියදී රිස්වාන් තමන්ගේ ජීවිතය ගැන පවා නොහිතා තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ආත්මාර්ථය උඩුදුවා තිබෙන සමාජයක මේවගේ හිතන අය හරි අඩුයි. තරුණියගේ ජීවිතය බේරා ගැනීමට ලැබීම සතුටක්. ඒත් රිස්වාන් වගේ පරාර්ථකාමි පුද්ගලයකුගේ ජීවිතය අහිමි වීම ගැන ඇති වන්නේ දුකක්‘

තලවාකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ජාති,ආගම් බේද සියල්ල ජලයේ යටපත් කරමින් දුක, වේදනව, ආදරය, සතුට, ත්‍රාසය, වීරත්වය, පරිත්‍යාගය, මනුෂ්‍යත්වය ඇතුළු බොහෝ දේවල් මෙම සිදුවීමෙන් මතුව ආවේය. දිවිතොර කරගැනීමට ජලයට පනින ලද තරුණිය ද්‍රවිඩ ජාතිකයෙකි. ඇය බේරා ගැනීමට ගොස් මරණය වැළඳ ගත් තරුණයා මුස්ලිම්ය. පොලිස් ස්ථානාධිපතිවරයා සිංහල බෞද්ධය. මෙම සිදුවීමෙන් රිස්වාන්ගේ ජීවිතය අහිමි වුවද ජාති,ආගම් බේද මතුකරමින් ප්‍රශ්න ඇතිකරන්නට වෙර දරන අයට අලුතින් හිතන්නට යමක් එය ඉතිරිකර තිබේ.

 

Comments