සමාජ දුරස්ථකරණය 2022 වනතෙක් පවත්වා ගත යුතුයි | සිළුමිණ

සමාජ දුරස්ථකරණය 2022 වනතෙක් පවත්වා ගත යුතුයි

හාවර්ඩ් සරසවිය කියයි

කොවිඩ් ආසාදනය වීමෙන් වැළකීම සඳහා ලොව පුරා රටවල දැනට පවත්වාගෙන යන්නා සමාජ දුරස්ථකරණය 2022 වසර දක්වා පවත්වාගෙන යා යුතු වනු ඇතැයි හාවර්ඩ් සරසවිය නිවේදනයක් මගින් පවසා තිබේ. මේ වන විට කොවිඩ් - 19 සඳහා එන්නතක් හෝ වෙනත් කිසියම් ඖෂධයක් ‍නිෂ්පාදනය කර නොමැති අතර රෝගය පාලනය කර ගැනීම පමණක් උපක්‍රමිකව සිදු කෙරේ. මේ සඳහා ලොව පුරා කොවිඩ් අසාධිතයන් සිටින සෑම රටක්ම අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ සමාජ දුරස්ථකරණයයි. බොහෝ රටවල් තාවකාලිකව වසා දමා ඇති අතර ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස දැනුම් දී තිබේ.

දැනට රෝගය පාලනය කිරීමට ඇති මේ එකම ක්‍රමවේදය 2022 වසර දක්වා දීර්ඝව ක්‍රියාත්මක කළ යුතු වනු ඇතැයි හාවර්ඩ් සරසවිය අනුමාන ඉදිරිපත් කරන්නේ මේ දක්වා එන්නතක් පිළිබඳ සුභවාදී පුවත් අසන්නට නොලැබෙන බැවින් විය හැකිය. එමෙන්ම සරසවිය පෙන්වා දී ඇත්තේ රෝගය වරක් පාලනය කිරීමෙන් පසු ජනතාව සාමාන්‍ය දිවිපෙවෙතට නිදහස් කිරීමෙන් රෝගයේ දෙවැනි රැල්ලක් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. එසේ වීමෙන් රටරටවල සෞඛ්‍ය අංශවලට දැරීමට නොහැකි තරම් ආසාදිතයන් වර්ධනය වීමෙන් යළිත් විශාල මරණ සංඛ්‍යාවන් වාර්තා වනු ඇති බවයි.

මේ වන විට සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීම සඳහා අමෙරිකාව නීති පනවා ඇත්තේ අප්‍රේල් මස 30 වැනිදායින් අවසන් වන පරිද්දෙනි. එහෙත් විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ එම නීති යළිත් දීර්ඝ කළ යුතු බව බවයි. හාවර්ස් සරසවියේ පර්යේෂකයන් පවසා ඇත්තේ දැනට දක්නට ලැබෙන දත්ත අනුව තවත් වසර කිහිපයක් වයිරසය පාලනයකින් තොරව පවතිනු ඇති බව විශ්වාස කළ හැකි බවයි. මේ සම්බන්ධව ලිපියක් පළ කරමින් ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වාදෙන්නේ රටවල පැවැත්ම සඳහා නව නීති සම්පාදනය කළ යුතු වනු ඇති බවත් ඒ සඳහා නීති සම්පාදකයන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද එකසේ දායකත්වය දිය යුතු වනු ඇති බවයි. මේ අතර තවත් පර්යේෂකයන් පිරිසක් පවසා ඇත්තේ කොවිඩ් සම්පූර්ණයෙන් පාලනය කිරීමට 2025 පමණ වන තෙක් කල් ගත වනු ඇති බවයි.

කෙසේවුවද හාවර්ඩ් සරසවියේ පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ 2022 පමන වන තෙක් සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීමෙන් රෝගය පාලනය කිරීමට සාධාරණ කාලයක් සෞඛ්‍ය සේවාවට ලැබෙනු ඇති බවයි.

Comments