නිරෝධායන මධ්‍යස්ථාන 12 ක්: රියදුරු බලපත්‍ර වැඩත් නවතියි | සිළුමිණ

නිරෝධායන මධ්‍යස්ථාන 12 ක්: රියදුරු බලපත්‍ර වැඩත් නවතියි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා මේ වනවිට දිවයින පුරා මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කරයි. 
 
පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද හමුදා රෝහල සහ දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ එම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
 
මීට අමතරව , සියලු පහසුකම්වලින් යුත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දම්මින්න සහ රන්ටැඹේ ප්‍රදේශවලද ස්ථාපිත කර තිබේ.
 
එම මධ්‍යස්ථානවල වර්ගීකරණය කරන ලද පුද්ගලයන් 1723 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර විදේශිකයන් 08 දෙනෙකුද එහි සිටින බව යුද හමුදාව ප්‍රකාශ කළේය.
 
සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් සේවා හා ගුවන්තොටුපල අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධතාවයෙන් මෙම නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. 
 
‘කොවිඩ් - 19’ වෛරසයේ බලපෑමට ලක් වූ රටවලින් 2020 මාර්තු මස 1 සිට 9 දින දක්වා කාලය තුළ දිවයිනට පැමිණි නිරෝධායනයට ලක් නොවු පුද්ගලයින්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ජිවිත අවදානමට ලක්විය හැකි බැවින්, ඔවුන් පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට මෙන්ම හදිසි ඇමතුම් අංක 113 හෝ 117 වෙත දැනුම්දී නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කිරිමට සහයෝගය දක්වන ලෙස පොලිසිය සහ යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටීයි.
 
මේ අතර රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලුත්කිරීම හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයකට පැමිණීම 2020 මාර්තු 31 දක්වා තාවකාලිකව සීමා කිරීමට ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත.

Comments