‍ලෝකේ කොයි මුල්ලක සිටි­යත් වාහන ආදා­යම් බල­පත විනා­ඩි­යෙන් | සිළුමිණ

‍ලෝකේ කොයි මුල්ලක සිටි­යත් වාහන ආදා­යම් බල­පත විනා­ඩි­යෙන්

ද බොහෝ දෙන­කුගේ කාලය ගෙවී යන්නේ “ඔන් - ලයින්” තුළය. කෙනෙකු යූ ටියුබ් ඔස්සේ චිත්‍ර­පට නර­ඹන අතර තවත් අයෙක් ගීත­ව­ලට සවන් දෙති. සම­හරු මුහුණු පොතේ ගිලී සිටිති. ඔවුන්ට බස්රිය, දුම්රිය කියා වගක් නැත. සිට­ගෙන හෝ ඉඳ­ගෙන කියා වෙන­සක් නැත. තරුණ පර­ම්ප­රා­වට නම් කන බොන වේලාව කියා හෝ ඉන් මද වේලා­ව­කට මිදෙ­න්නට සිතක් නැත. කවු­රුත් ඔන්- ලයින්ය. ත්‍රීරෝද රථ රියැ­දු­රන්, වෛද්‍ය­ව­රුන් හමු­වී­මට යන රෝගීන් පවා තම වාරය පැමි­ණෙන තුරු සිටින්නේ ඔන් - ලයින් තුළ සිර­ගත වීගෙ­නය. වර්ත­මා­නය වන විට භාණ්ඩ ඇණ­වුම් කිරී­ම­ටත් නිවාස දේපළ සහ වාහන විකුණා ගැනී­ම­ටත් ඔන් - ලයින් ප්‍රයෝ­ජ­න­යට ගන්නා පිරි­සක් සිටිති.

එහෙත් පැය 24 පුරාම “ඔන් - ලයින්” සිටි­යත් බොහෝ දෙනකු එය සිය ජීවි­තය පහසු කර­ගැ­නී­මට යොදා ගන්නා බවක් පෙනෙ­න්නට නැත. වැඩි දෙනෙකු සිදු කර තිබෙන්නේ ඩේටා සඳහා මුදල් සහ කාලය නාස්ති කර ගැනීම පමණි.

අප එසේ සඳ­හන් කරන්නේ “ඔන් - ලයින්” මඟින් මෝටර් රථ­වා­හන ආදා­යම් බල­පත්‍ර ලබා­ගැ­නීම වසර 10 ක පටන් ලංකාවේ ක්‍රියා­ත්මක වුවද තව­මත් එම සේවය ලබා­ගෙන තිබෙන්නේ 3% ක් වැනි සුළු පිරි­සක් වන නිසාය.

මෝටර් රථ වාහන ආදා­යම් බල­පත්‍ර ඔන්- ලයින් මඟින් ලබා­ගැ­නීමේ පහ­සු­කම මෙරට ආරම්භ වූයේ 2009 වර්ෂ­යේ­දීය. එහෙත් එදා එය බස්නා­හිර පළා­තට පම­ණක් සීමා විය. නමුදු 2015 වර්ෂය වන විට දිව­යින පුරා විසිරී සිටින අයට මෝටර් රථ වාහන ආදා­යම් බල­පත්‍ර අලු­තෙන් ලබා ගැනී­ම­ටත් පරණ බල­ප­ත්‍රය අලුත් කිරී­ම­ටත් හැකි E revenue licence හෙවත් ඉලෙ­ක්ට්‍රො­නික ආදා­යම් බල­පත්‍ර ලබා­ගැ­නීමේ සේවය ව්‍යාප්ත විය. මේ වන විට ඉලෙ­ක්ට්‍රො­නික ආදා­යම් බල­පත්‍ර ලබා­ගැ­නීමේ සේවා­වට වසර 10 ක් සම්පූර්ණ වී තිබේ.

“සාමා­න්‍ය­යෙන් වාහන ආදා­යම් බල­ප­ත්‍ර­යක් ගන්න යනවා නම් වාහන ලියා­ප­දිංචි සහ­ති­කය, ආදා­යම් බල­ප­ත්‍රය, රක්ෂණ සහ­ති­කය, දුම් සහ­තික වගේ ලිය කිය­විලි ෆයිල් එකක් ගෙනි­යන්න ඕනෑ. පෝලිමේ ඉන්න ඕනෑ. හදි­ස්සි­යේ­වත් ලිය­වි­ල්ලක මොකක් හරි ප්‍රශ්න­යක් තිබු­ණොත් ආයෙ­මත් දව­සක එන්න ඕනෑ. ඒත් ඉලෙ­ක්ට්‍රො­නික ආදා­යම් බල­පත්‍ර සේවාව මඟින් විනාඩි 2ක් වැනි සුළු කාල­ය­කින් ගෙදර ඉදලා බල­ප­ත්‍රය ගන්න පුළු­වන්. කාලය සහ ධනය ඉතිරි වෙනවා. ඒ නිසයි අපි ඉලෙ­ක්ට්‍රො­නික ආදා­යම් බල­පත්‍ර හඳුන්වා දීමේ වැඩ­පි­ළි­වෙ­ළ­කට ගියේ.” යනු­වෙන් සඳ­හන් කළේ ශ්‍රී ලංකා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ නියෝ­ජි­තා­ය­ත­නයේ(ICTA) උප­දේ­ශක උදය කස්තු­රි­රත්න ය.

E – Revenu Licence හෙවත් ERL ක්‍රම­යට පිවි­සීම සඳහා gov.lk වෙත පිවි­සිය යුතුය. ඉන්ප­සුව erevenulicence යනු­වෙන් සට­හන් කර ඉලෙ­ක්ට්‍රො­නික ආදා­යම් බල­පත්‍ර සේවාව සඳහා ඇතුළු විය හැකිය. මෙහිදී ඔබේ විද්‍යුත් තැපෑල හෙවත් ඊ - මේල් ලිපි­නය අත්‍ය­වශ්‍ය වේ. මෙම ක්‍රම­යට ආදා­යම් බල­පත්‍ර ලබා­ගැ­නී­මේදී වාහ­නයේ අංකය සහ ආදා­යම් බල­පත්‍ර අංකය පම­ණක් සට­හන් කිරී­මට සිදු වේ.

ඉන්ප­සුව වාහ­නය රක්ෂ­ණය කර තිබෙන සමා­ගම් නම සහ දුම් පරී­ක්ෂණ ආය­ත­නයේ නම ඉල්ලා සිටිනු ඇත. එවිට එම විස්තර ඇතු­ළත් කළ යුතුය. එම අව­ස්ථා­වේදී දුම් පරී­ක්ෂණ සහ­ති­කය හෝ රක්ෂණ සහ­ති­කය ලබා­ගෙන නැති නම් ඒ බව පරි­ග­ණක තිරයේ දිස්‍ වේ. එකී තොර­තුරු නිවැ­රදි නම් පම­ණක් ඉදි­රි­යට යෑමට අව­ස්ථාව ලැබේ.

ERL ක්‍රම­යට ආදා­යම් බල­පත්‍ර ලබා ගැනී­මේදී ගෙවීම් සිදු කළ යුත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් මඟිනි. ඉන්ප­සුව ඔබේ ඊ- මේල් ලිපි­න­යට තාව­කා­ලික ආදා­යම් බල­ප­ත්‍ර­යක් ලැබේ. ඔබ කළ යුත්තේ එහි පිට­පත් ලබා­ගෙන සුරැ­කිව ළඟ තබා ගැනීම පමණි. ඔබේ ස්ථිර ආදා­යම් බල­ප­ත්‍රය දින කිහි­ප­යක් ඇතු­ළත තැපෑ­ලෙන් ඔබේ නිව­ස­ටම ලැබෙනු ඇත. එතෙත් ඔබේ ඊ- මේල් ලිපි­න­යට එව් තාව­කා­ලික ආදා­යම් බල­ප­ත්‍රය පාවිච්චි කළ හැකිය.

ERL ක්‍රම­යට මෝටර් රථ වාහන ආදා­යම් බල­ප­ත්‍රය නිවසේ හෝ කාර්යා­ලයේ සිට ලබා­ගත හැකිය. ඒ සඳහා ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ව­ලට ගොස් පෝලී­ම්වල වරු ගණන් ගත කර­මින් රස්ති­යාදු විය යුතු නැත. කාලය ඉතිරි වේ. ධනය ද ඉතිරි වේ. නමුත් වාහන ආදා­යම් බල­පත්‍ර මිලි­යන 6ක් ලබා ගන්නා අපේ රටේ ERL ක්‍රම­යට ආදා­යම් බල­පත්‍ර රැගෙන තිබෙන්නේ 3% ක් පමණි. දිවා රෑ නොතකා ඔන් - ලයින් ගැලී සිටින පිරි­සක් සිටින අපේ රටේ, ඔන් - ලයින් ක්‍රම­යට ආදා­යම් බල­පත්‍ර ලබා ගැනී­මට යොමු නොවීම නම් ඇත්ත වශ­යෙන්ම කන­ගා­ටු­දා­ය­කය.

“ඔන් - ලයින් මඟින් රථ­වා­හන ආදා­යම් බල­පත්‍ර ලබා ගැනීම ගැන ගොඩාක් දෙනා දැනු­වත් වී නැති බවක් අපට පෙනෙ­නවා. ඒ නිසා මේ ගැන අපි ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මඟින් දැනු­වත් කර තිබෙ­නවා. ඒ වගේම තමයි සම­හරු ඔන් - ලයින් හිටි­යාට ඔන් - ලයින් ඉන්නේ කියලා දන්නේ නැති­කම. මේකට මම හොඳ උදා­හ­ර­ණ­යක් කිය­න්නම්. අපි එක්තරා පරී­ක්ෂ­ණ­ය­කට සහ­භාගී වූ තරුණ කණ්ඩා­ය­ම­ක­ගෙන් ඔන් - ලයින් ගැන ප්‍රශ්න කීප­යක් ඇහුවා. ඒ අය ඔන් - ලයින් යන්නේ නැහැ කිව්වා. ඒ ගැන විශ්වා­ස­යක් නැති බව පෙන්නුවා. බිය­කුත් තිබුණ බව අපිට පෙනුණා. ඊට පස්සේ මම ඇහුවා ෆේස්බුක් නැද්ද කියලා. ෆේස්බුක් ඉන්නවා කිව්වා. යූ ටියුබ් යනවා කිව්වා. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඒ දේව­ලුත් අයිති ඔන් - ලයින් එකට කියලා.” යනු­වෙන් ශ්‍රී ලංකා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ නියෝ­ජි­තා­ය­ත­නයේ උප­දේ­ශක උදය කස්තු­රි­රත්න පැව­සුවේ සිනා­සෙ­මිනි.

ඔන් - ලයින් කෙරෙහි ඇති බිය සහ විශ්වා­ස­යක් නැති­කම සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ගනු­දෙනු නොක­රන පිරිස් සමා­ජයේ බහු­ලව සිටී­මද ERL ක්‍රමය මඟින් වාහන ආදා­යම් බල­පත්‍ර ලබා නොගැ­නී­මට හේතු වී තිබේ. විශේ­ෂ­යෙන් ත්‍රීරෝද රථ රිය­දු­රන් වෑන් සහ කුඩා ලොරි හිමි­යන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගනු­දෙනු කරන්නේ නැත. ඔවුන්ගේ ඊ - මේල් භාවි­ත­යක් ද නැත. ලීසිං ක්‍රම­යට ත්‍රීරෝද රථ­යක් හෝ ඩීමෝ බට්ටා වැනි ලොරි­යක් මිල දී ගෙන කුලී රථ සේවයේ යෙදෙන ඔවුන් ක්‍රෙඩිට් කාඩ් මඟින් ගනු­දෙනු කරන කාල වක­වා­නු­වක් ගැන තව­මත් පැහැ­දිලි අද­හ­සක් අපට නැත. අනෙක, ERL ක්‍රම­යට අනුව වාහන ආදා­යම් බල­පත්‍ර ලබා­ගත හැක්කේ නිවසේ හෝ කාර්යා­ල­යක තිබෙන පරි­ග­ණ­ක­ය­කින් පමණි. බොහෝ ත්‍රීරෝද රථ රිය­දු­රන් ජංගම දුර­ක­ත­න­යෙන් අන්ත­ර්ජා­ලයේ සැරි­සැ­රු­වද නිවෙස් තුළ පරි­ග­ණක නැත. එකී කාර­ණ­යද ERL ක්‍රම­යට වාහන ආදා­යම් බල­පත්‍ර ලබා­ගැ­නී­මට යොමු වීම ඈත් කරන සාධ­ක­යක් වී ඇත.

“අවු­රුදු 10 ක් තිස්සේ ERL ක්‍රමය ගැන අව­ධා­නය යොමු කළ මෝටර් රථ­වා­හන බල­පත්‍ර දෙපා­ර්ත­මේ­න්තුව මෙහි අඩු­පාඩු සහ වැඩි දියුණු කළ යුතු කරුණු හඳු­නා­ගෙන තිබෙ­නවා. ඒ අනුව අපි 2020 දී මෙය තවත් වැඩි දියුණු කර හඳුන්වා දෙනවා. අලුත් ක්‍රම­යට අනුව වාහ­නයේ අංකය විත­රයි ඇතු­ළත් කළ යුතු වන්නේ. එවිට මෘදු­කාං­ගය විසින් රක්ෂණ බල­පත්‍ර, දුම් සහ­තික වැනි ඒ වාහ­න­යට අදාළ සිය­ලුම තොර­තුරු ලබා දෙනවා. එයින් තව­දු­ර­ටත් කාලය ඉතිරි කර­නවා. ඒ වගේ­මයි මෙය ඇප් එකක් විදි­හට හඳුන්වා දෙනවා. එවිට ජංගම දුර­ක­ත­න­යට ඇප් එක දාගෙන එයින් වාහන ආදා­යම් බල­පත්‍ර අලුත් කර ගන්න පුළු­වන්.” යනු­වෙන් උප­දේ­ශක උදය කස්තු­රි­රත්න පැව­සීය. එය නිවසේ පරි­ග­ණක නොමැති ත්‍රිරෝද රථ රිය­දු­රන් වැනි වාහන හිමි­යන්ට සුබ පණි­වි­ඩ­යක් වනු ඇත.

ERL මඟින් වාහන ආදා­යම් බල­ප­ත්‍රය ලබා­ගෙන තාව­කා­ලික පිට­ප­තක් ළඟ තබා ගැනී­මට පෙර ඔහුව පොලිස් නිල­ධා­රීන්ගේ පරී­ක්ෂා­වට ලක් වූවා යැයි අපි සිතමු. එවැනි අව­ස්ථා­වක 1919 ට කෙටි පණි­වි­ඩ­යක් යැවී­මෙන් වාහන ආදා­යම් බල­ප­ත්‍රය ලබා­ගත් බවට තහ­වුරු කෙරෙනු ඇත. මෙසේ තහ­වුරු කිරීම සඳහා රිය­දු­රුට ලැබෙන කෙටි පණි­වි­ඩය, පොලිස් නිල­ධා­රීන් පිළි­ගැ­නී­මට තරම් කාරු­ණික විය යුතුය. යම් හෙය­කින් ‍පොලිස් නිල­ධා­රීන් මේ පිළි­බ­ඳව දැනු­වත් වී නොසි­ටියේ නම් අප­හ­සු­තා­වට පත් වන්නේ වාහන හිමි­යාය.

“අපේ රටේ තව­මත් දකින්න ලැබෙන්නේ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ව­ලට ගිහින් වාහන ආදා­යම් බල­පත්‍ර අලුත් කිරීමේ ක්‍රම­යට යොමු වුණ පිරිස. ඒත් දැන් ඒ අය­වත් රස්ති­යාදු නොකර විනාඩි ගණ­න­කින් අව­ශ්‍ය­තාව ඉෂ්ට කර දීමට අපිට හැකි වී තිබෙ­නවා. ඒ, රථ­වා­හන ගැන සිය­ලුම විස්තර පරි­ග­ණ­ක­ගත කර තිබෙන නිසාය. රක්ෂණ සමා­ග­ම්වල තොර­තුරු, දුම් පරී­ක්ෂණ තොර­තුරු සිය­ල්ලම මෝටර් රථ වාහන බල­පත්‍ර දෙපා­ර්ත­මේ­න්තුව සමඟ සම්බන්ධ වී තිබෙ­නවා. පරි­ග­ණ­ක­ගත කළ තොර­තුරු ජාල­යක් හැටි­යට ක්‍රියා­ත්මක වන නිසා 2020 සිට කොළඹ වාහන හිමි­ය­කුට ත්‍රිකු­ණා­ම­ල­යෙන් වාහන ආදා­යම් බල­ප­ත්‍රය ලබා ගැනී­මට හැකි­යාව ලැබෙ­නවා.” යනු­වෙන් තව­දු­ර­ටත් විස්තර කළේ ශ්‍රී ලංකා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ නියෝ­ජි­තා­ය­ත­නයේ උප­දේ­ශක උදය කස්තු­රි­ර­ත්නය.

නව යුග­යක උදා­වක් සමඟ ඩිජි­ට­ල්ක­ර­ණ­යට පිවි­සීම ජාතික ප්‍රති­ප­ත්ති­යක් වී තිබෙන මොහො­තක රථ­වා­හන ආදා­යම් බල­ප­ත්‍රය නිවසේ සිට ලබා­ගත හැකි ආකා­ර­යට පහ­සු­කම් සලසා දීම ඉතා­මත් ප්‍රයෝ­ජ­න­වත් කාර්ය­යකි. එහෙත් එය සමා­ජ­ගත කිරීම ද අනි­වා­ර්ය­යෙන් සිදු විය යුතුය.

 

Comments