ජීවිතේ පර­දු­වට තබා සල්ලා­ල­යෙ­කු­ගෙන් මල් කැකු­ළක් බේරා ගත් තහංචි වැවේ පුංචි වීරයා | සිළුමිණ

ජීවිතේ පර­දු­වට තබා සල්ලා­ල­යෙ­කු­ගෙන් මල් කැකු­ළක් බේරා ගත් තහංචි වැවේ පුංචි වීරයා

 

නිවා­ඩුව අව­සන් වී නව පාසල් වාරය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහි­ප­යක් පමණි. දෙසැ­ම්බ­රයේ නිවා­ඩුව දරු­වන් කාටත් රස­වත් අත්දැ­කී­මක් වන්නේ ඔවුන්ට ගමේ යහළු යෙහෙ­ළි­යන් සමඟ කෙළි දෙළෙන් ගත කර­න්නට සැල­කිය යුතු කාල­යක් ලැබෙන නිසාය. ඉකුත් දාහත් වැනි දා සන්ධ්‍යාවේ තංගල්ලේ කදු­රු­පො­කුණේ තහං­චි­වැව පුංචි දිය­ණි­යක් සිය නිවසේ සිට අසල ඇති ඥාති­ව­රි­යගේ නිවෙ­සට යන්නට පිටත් වුවාය. ඒ නිවසේ ඇයගේ වය­සේම දරු­වෙක් සිටි­යේය. ඔවුන් එක් වී සෙල්ලම් කිරී­මට සැල­සුම් කර තිබිණි.

 

දැරි­යගේ නිවසේ සිට එම ඥාති නිවෙ­සට ඇත්තේ කෙටි දුරකි. තහංචි වැවේ සිටි­යත් ඇයගේ මේ සොඳුරු ගම­නට තහංචි දම­න්නට තරම් ප්‍රශ්න­යක් ඒ ගමේ අයට නොති­බිණි. ඒ නිසා කිසිදු බිය­කින් සැක­ය­කින් තොරව ඇය සැහැ­ල්ලු­වෙන් ගමන පිටත් වූවාය. එහෙත් සිදු වුයේ කිසි­වෙකු නොසිතු දෙයකි. සැඟ වී සිටි මිනි­සෙකු කුඩා දැරි­යගේ ඇඟට කඩා පැන්නේය. මේ තිරි­සන් මිනිසා කුඩා දැරිය තදින් ග්‍රහ­ණ­යට ගෙන පාර අයි­නට ඇද­ගෙන ගියේය. උගෙන් මිදෙ­න්නට ඇය තදින් කෑ ගැසු­වාය.

“අම්මේ අම්මේ... අනේ අම්මේ...අයියෝ” මේ මර­හඬ අම්මාට හෝ නිවසේ අයට ඇසුණේ නැත. එහෙත් ඒ මොහොතේ තවත් දරුවෝ දෙදෙ­නෙක් පාරේ ගමන් කර­මින් සිටි­යහ. ඔවුන් යමින් සිටියේ අසල ඇති කඩය වෙතය. දැරි­යගේ මර­හඬේ දෝංකා­රය මේ කුඩා කොලු පැට­වුන් දෙදෙ­නාට ඇසිණි. දරු දෙදෙනා එක­ලාව නැව­තු­ණහ. යන ගමන තබා වහාම ආපිට හැරු­ණාහ. දුටු දෙයින් ඔවුහු වික්ෂිප්ත වූහ. බිහි­සුණු දැකු­මක් ඔවුන් අබි­යස දිග­හැ­රෙ­මින් ඇත.

කුඩා දැරි­යක ඇද­ගෙන රුකු­ල­කට යන්නට තනන සල්ලා­ල­යෙකි. දැරිය දිවි පර­දු­වට තබා ඒ තිරි­ස­නා­ගෙන් බේරෙ­න්නට වෙර දර­මින් හිඳී. තව මොහො­ත­කින් මේ මල් කැකු­ළි­යගේ ජීවි­තය විනාශ වෙයි. බොහෝ විට ඇයට යළිත් මෙලොව එළිය දකි­න්නට මේ තිරි­සනා ඉඩ නොත­බනු ඇත.

දාහ­තර විය නොඉක්ම වූ මේ දරු­පැ­ටව් දෙදෙනා තව එක් තප්ප­ර­ය­ක්වත් වැය නොක­ළහ. වියරු වැටී සිටි සල්ලා­ලයා වෙත කෑ ගස­මින් දිව ගියහ.

“අත ඇර­පන් ඔය නංගිව...” සල්ලා­ල­යාට ඒ හඬ ඇසෙන්නේ නැත. කොලු­පැ­ටියා මේ තිරි­ස­නාගේ ඇඟට පැන්නේය. හැකි වේග­යෙන් ඌට පහර එල්ල කර­න්නට විය. කෑ ගස­මින් සූර­න්නට විය. විය­රු­වෙන් සිටි සල්ලා­ලයා මේ කුඩා දරු­වාට පහ­රක් ගසා තල්ලු කළේය. කොලු පැටියා බිම වැටිණි. ඔහුගේ දෑත් සීරිණි. යළිත් මේ තිරි­සනා තමන් වෙත හැරෙ­න්නට පෙර කොලු පැටියා බිම තිබූ ගල් කීප­යක් ගෙන නැගිට්ටේ ය. ඉල්ක­කය ගෙන හැකි උප­රිම වේග­යෙන් ගල් පහ­රක් මේ සල්ලාල තිරි­සනා වෙත එල්ල කළේය. ක්‍රීඩා­වට හුරු කොලු පැටි­යාගේ ඉල­ක්කය වැර­දුණේ නැත. දෙවෙනි ගල් පහර වදින විට තිරි­ස­නාට තරු විසි විණි. තිරි­සන් සල්ලා­ලයා ඇඳි­වත හද­මින් දිව යන්නට විය. දිව යන එකා පසු­පස ගොස් තවත් ගල් පහ­ර­වල් කීප­යක් එල්ල කළ කොලු පැටියා නැවත කුඩා දැරිය සිටි තැනට දිව ආවේය. ඇය සිටියේ මුව පැටි­යෙකු සේ ගැහෙ­මිනි. ඇඳුම් ඉරී තිබිණි.

සල්ලා­ල­යාගේ ග්‍රහ­ණ­යෙන් මුදා­ගත් දැරිය ද කැඳ­වා­ගෙන කොලු­පැ­ටියා දැරි­යගේ මිත්ත­නිය සොයා­ගෙන ගියේය. දැරිය මිත්ත­නිය බදා­ගෙන ඉකි ගස­මින් හඬ හඬා සියලු තොර­තුරු කීවාය.

“උඹලා බුදු වෙන්න ඕන මයෙ පුතේ...” මිත්ත­නිය හඬ­මින්ම කීවාය. මිත්ත­ණිය දැරි­යත්, මේ කොලු පැටි­යාත් සමඟ කෙළින්ම පැමි­ණියේ තංගල්ල පොලි­සි­ය­ටය. ඒ එන විට මේ කිසි­වෙකු සිදු වුයේ කුම­ක්දැයි පැහැ­දි­ලිව කීමට තරම් තිදෙ­නා­ගෙන් එකෙ­කු­ගේ­වත් මනස නිර­වුල්ව නොති­බිණි.

“ දැරි­යගේ වයස අවු­රුදු දහ­යයි. එයා පොලි­සී­යට එන­කොට එයාගේ නාසය උඩ රතු­පාට ගුලි­යක් වගේ තිබුණා. නාසය තුවාල වෙලා ලේ එනවා. කටත් තුවාල වෙලා. ඒ පුතාගේ වයස අවු­රුදු පහ­ළො­වයි. එයාගේ ඇස්ව­ලින් කඳුළු බේරෙ­නවා. කුඩා දැරි­යගේ ආච්චි අම්මා හොඳ­ටම කල­බල වෙලා හිටියේ. මේ කාගෙ­න්වත් වුණේ මොකක්ද කියලා ටිකක් වෙලා යන තුරු දැන ගන්න බැරි වුණා. මොකද ඔවුන් සියල්ල සිටියේ යම් කම්ප­න­ය­කින් වගේ. සන්සුන් වෙන්න හැරලා ඔවු­න්ගෙන් සිද්ධිය දැන­ගත්තා. ඇත්ත­ටම මේ කොල්ලා ගැන ආඩ­ම්බ­රයි. මේ පුතා නොසි­ටින්න අර කුඩා දැරි­යට ලොකු කර­ද­ර­යක් වෙන්න තිබුණා. ඔහු ඉක්ම­නින් තැනට සුදුසු ආකා­ර­යට ක්‍රියා­ත්මක වුණ නිසා තමයි ඒ දැරිය අප­රා­ධ­ය­තින් බේරුණේ කියලා අප විශ්වාස කර­නවා.” පොලි­සිය අප සමඟ කීවේය.

තංගල්ල පොලි­සියේ නිල­ධා­රීන් දැරිය රෝහල් ගත කිරී­මට කට­යුතු කළහ. ලබා දුන් තොර­තුරු මත කුඩා දැරිය අත­ව­ර­යට ලක් කිරී­මට උත්සාහ කළ පුද්ග­ලයා ද අත්අ­ඩං­ගු­වට ගත්තේය. පොලිස් නිල­ධා­රීන් සැක­ක­රුගේ නිව­සට යන විට ඔහු නිව­සින් ද පැන ගොස්ය. පසුව කළ මෙහෙ­යු­මක දී සල්ලා­ලයා පොලිස් අත්අ­ඩං­ගු­වට පත් විය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රුගේ මව පවසා තිබුණේ මේ තැනැත්තා මාන­සික රෝගී තත්ත්ව­ය­කින් පෙළෙන බවය.

“පුතාට බය හිතුණෙ නැද් ද?. මේ මිනිහා අතේ තියෙන දේකින් ඇන්නා නම්...” අපි ඇසු­වෙමු.

“ නෑ... මට මගේ නංගිව මතක් වුණා... එච්ච­රයි.” කොලු­පැ­ටියා අත්ලෙන් කඳුළු පිස දම­මින් කීවේය. ඔහු ළයට තුරුලු කර­ගෙන සිප සන­ස­න්නට සිතිණි. මේ වීර දරු­පැ­ටියා හඳු­න්නෙ­ත්තිගේ ඉසුරු නිම්සර ය. මේ දරුවා නිසා දිවි ගල­වා­ගත් දිය­ණිය දැන් සුව­පත් වෙමින් සිටී. ඇය ලද මාන­සික පීඩාව සම­හන් වෙන්නට තව කලක් ගත­වනු ඇත. අප­රා­ධ­කාර සැක­කරු මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­රයේ ය. දැන් ඉසුරු නිම්සර පුතාට මේ කාල­කණ්ණි සැක කරුගේ පාර්ශ­ව­යෙන් තර්ජ­නය.

“සැකක­රුගේ සොහො­යු­රි­යක් ඉසුරු පුතාට තර්ජ­නය කරලා තිබුණා. නමුත් පොලි­සි­යෙන් ඔවුන් කැඳවා මේ දරු­වාට තර්ජ­නය නොක­රන ලෙසත් ඔවුන්ගේ සොයුරා කර­න්නට ගිය වැරැද්දේ බර­ප­ත­ළ­ක­මත් තේරුම් කර දුන්නා. පොලිස් ස්ථානා­ධි­පති ලාල් චන්ද්‍ර­සිරි මහ­ත්තයා මේ වීර ක්‍රියාව කළ පුතුව ඇග­යී­මට ලක් කළා. ඇත්ත­ටම අද සමා­ජ­යට මේ දරුවා විශාල ආද­ර්ශ­යක්. මේ වැනි දරුවෝ තමයි අද අපේ සමා­ජ­යට අවශ්‍ය වන්නේ.

මෙහිදී පො.කො හේරත්(92814),පො.කො.(73055) පො. කො. වැට­කේ­දෙ­ණිය(40928) යන මහ­ත්ව­රුන්ගේ සහාය අපට ලැබුණා. සැක­කරු අල්ලා ගැනීමේ වැට­ලීම කිරීම සඳහා පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍ර­සිරි මහතා සහ අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­තුමා උප­දෙස් ලබා දුන්නා. ” තංගල්ල පොලි­සීයේ ළමා හා කාන්තා කාර්යාං­ශ­යයේ ප්‍රධානි උප පොලිස් පරී­ක්ෂක හසිනි දිනුෂා මහ­ත්මිය කීවාය. කටේ කිරි­සු­වඳ නොගිය ළදැ­රි­ය­ක­ට­වත් තනි මඟ යා නොහැකි අශිෂ්ට වට­පි­ටා­වක රටේ දරු­වන්ගේ ඉර­ණම විස­ඳෙන්නේ එසේය.

එහෙත් වංචාව, දූෂ­ණය, හොර­කම, පර­පී­ඩ­නය දැන දැන මුනි­වත රකින පෞරුෂ විහීන නිගණ්ඨ සමා­ජ­යක ඉසුරු නිම්සර වැනි දරු­පැ­ටව් ද බිහි වන්නේය. උන් දුටු තැන අශි­ෂ්ට­ක­මට එරෙහි වෙති. ඊට එරෙ­හිව සිය දිරි පම­ණින් සටන් කරති. හඬ නඟති. මේ දරු­පැ­ටව් වීර­යන් වනවා නොව කොඳු විහීන වැඩි­හි­ටි­යන්ට ආදර්ශ සප­යති. සම­ජ­යක් ගමන් කළ යුතු දිශා­න­තිය කියා දෙති. මේ කොලු පැටියා සමාජ ආකල්ප වෙනස් විය යුතු ආකා­රය පෙන්වා දී ඇත.

එහෙත් දැන් ඔහුට තර්ජන එල්ල වී ඇතැයි පොලි­සි­යෙන්ම කිය­වෙන්නේ නම් අපට තංගල්ල කදු­රු­පො­කුණ තහං­චි­වැව මිනි­සුන්ට කිව යුතු දෙයක් ඇත. පිට කොන්දක් සහිත එක් පිරි­මි­යෙකු හෝ ඔය ගමේ සිටි­නවා නම් මේ දරු පැටි­යාගේ එක් රෝම කූප­ය­කට හෝ අන­තු­රක් වන්නට ඉඩක් නැත. දැන් රටම බලා සිටින්නේ තහං­චි­වැව අවට ඔබේ හැසි­රීම දෙසය.

 

Comments