පාරම්පරික සහල් ගැන අලුතින් සිතමු | Page 2 | සිළුමිණ

පාරම්පරික සහල් ගැන අලුතින් සිතමු

පිළිකා වළ­ක්වන සුදු හීනැටි - කළු හීනැටි මසුරං සමඟ දික් වී...

දිය­වැ­ඩි­යාව හා අධික රුධිර පීඩ­න­යට සුදු හීනැටි හා මසුරං වී...

ලොකයේ යකඩ වැඩිම සහල් හැදෙන රට හෘද­යා­බාධ අඩු කරන්න කළු හීනැටි...

අපේ රට පෙරදිග මුතු ඇටය යැයි අතීතයේ සිට හැඳින්වූයේ නිකම්ම නොවේ. ඒ අනුව මෙරට සුවිශේෂත්වය ලොව අන් රටවල් හඳුනාගෙන තිබුණේ අනාදිමත් කාලයක සිට ය. පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි අපේ රට යටත් කරගෙන සිටියත් අපේ රටේ සශ්‍රීකත්වයට ඔවුන්ට හානි කිරීමට අපහසු විය.

ඒ තත්ත්ව යටතේ කෘෂි විද්‍යා ක්ෂේත්‍රයේ අලුත් ම පර්යේෂණ අනුව ලොව ඉහළම යකඩ ප්‍රතිශතයක් ඇති වී ප්‍ර‍භේද වැවෙන්නේ අපේ රටේ බව අලුත් පර්යේෂණ අනුව හෙළිවී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා පවසන පරිදි අපේ රටේ ඇති පාරම්පරික දේශීය වී වර්ග වන කලු බාල වී, පච්ච පෙරුමාල් වී හා රතු හීනැටිවල ලොව වැඩිම යකඩ ප්‍රතිශතය තිබේ. ඊට අමතරව අපේ ර‍ෙට් වවන තවත් පාරම්පරික හා දේශීය වී ප්‍රභේද වන දහනල, රත්හැල්, සුදු හීනැටි හා කළු හීනැටි යන වී වර්ගවල ද ඉහළම යකඩ ප්‍රතිශතයක් අඩංගු බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත.

අද අපේ රටේ සාම්ප්‍රදායික දේශ‍ීය වී වර්ග ප්‍රභේදවල සහල්වල බෝ නොවන රෝග වළක්වන ගුණ රැසක් ද තිබේ. මේ නිසා සුදු හාල් පිටරට හාල් කා හැදෙන දියවැඩියාව මේ පාරම්පරික දේශීය සහල් කෑවාට හැදෙන්නේ නැත. එපමණක් නොව ශරීරයේ ඇති ඉදිමුම් කාරක ගතිය සුව කිරීමට මසුරං හා දික් වී මගින් පුළුවන් බව ද ආචාර්ය ප්‍රේමකුමාර කළ පර්යේෂණ අනුව හෙළිවී තිබේ.

ලංකාවේ රක්තහීනතාවයට පිළියමක් ලෙස ද මේ පාරම්පරික සහල් යොදා ගත හැකි ය. අද ලෝකයේ ප්‍රවණතාව අනුව ශාක ආශ්‍රිත ආහාරවලට ලොකු ඉල්ලුමක් ඇත‍.

පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ හා ශ්‍රවණාබාධ වැනි බෝ නොවන රෝගවලින් අද ලෝකයේ ඒ අය ඒ රෝගවලින් වළක්වා ගැනීමට සුදුසුම දෙයක් ලෙස මේ අපේ පාරම්පරික හා සාම්ප්‍රදායික සහල් වර්ග හඳුන්වා දීමට පුළුවන. ලංකාවේ සිදුවන හදිසි මරණ වලින් සියයට 82 ක් සිදුවන්නේ බෝ නොවන රෝගවලිනි. ඒ අනුව අපි මේ පාරම්පරික සහල් පරිභෝජනයට ජනතාව යොමු කිරීමේ කටයුතු සංවිධානය කළ යුතු ය.

පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පුරාවිද්‍යාඥයන් පවසන පරිදි සහල් භාවිතය මුලින් ම සිදුකර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් ය. දේශීය වෛද්‍ය පර්යේෂණායතනය කළ පර්යේෂණ අනුව දියවැඩියාවට, ඉදිමීම් රෝග සඳහා මේ පාරම්පරික සහල් උචිත බව හෙළිවී තිබේ. එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ ද අපේ ශරීරයේ බෝ නොවන රෝග වැළැක්වීමට ඉතා උචිත ය.‍

යම් අයකුට දියවැඩියාව හැදෙන්නේ ඉවක් බවක් නැතිව සීනි, සුදු පිටි මිශ්‍ර ආහාර ගැනීම හේතු කොටගෙන ය. සරලව කීවොත් කට පරිස්සම් කර නොගැනීම නිසා ය.

කාර්මික පර්යේෂණ ආයතනය මගින් අපේ පාරම්පරික සහල් විශේෂ 23 ක ගුණ පිළිබඳව පර්යේෂණ කර ඇත. මේ අනුව සුදු හීනැටිවලින් හා ‘මසුරං’ වී වලින් දියවැඩියාව හා අධික රුධිර පීඩනයට ඖෂධ නිපදවීමේ කටයුතු පවා දැන් අරඹා තිබේ.

පිෂ්ඨය ජීර්ණය කරන ආමාශය තුළ තිබෙන ප්‍රධාන එන්සයිමය ඇල්ෆා ඇමයිලෝස් ය. එම එන්සයිමයේ ක්‍රියාකාරිත්වයට පාරම්පරික සහල්වල ඇති බලපෑම පිළිබඳව කාර්මික තාක්ෂණ ආයතනය පරීක්ෂණ සිදු කර ඇත.‍

කාර්මික තාක්ෂණ ආයතනය මගින් මේ පාරම්පරික සහල් පිළිබඳව කළ පර්යේෂණ හා එම සහල්වල ගුණ පිළිබඳව අලුත් ග්‍රන්ථයක් පවා නිර්මාණය කර ඇත. එය ඕනෑම අයකුට මිලදී ගැනීමට පහසුකම් සලසා තිබේ. දියවැඩියාව වැඩිපුර තිබෙන අයට රතු හීනැටි ගොඩ හීනැටි දික්වී හා මසුරං කියන සහල් වර්ග ඉතා උචිත ය. ඉන් එන්සයිම් ක්‍රියාකාරිත්වය අවම කර ලේවලට සීනි එක් කිරීම අඩු කරනු ලැබේ.

ඒ අනුව දියවැඩියා රෝගය තිබෙන අය මේ ස‍ාම්ප්‍රදායික සහල් වලට යොමු විය යුතුය. කෙසේ වුවත් ඒ සඳහා දැනට ඇති ඉල්ලුම සපිරීමට ගොවි මහත්වරුන්ට නොහැකි වීම කනගාටුදායක ය. දියවැඩියාව තිබෙන අයට පිෂ්ඨය හොඳ නැත. පිෂ්ඨය ජීර්ණය වී ග්ලූකෝස් බවට පත්වී ඉතා ඉක්මණින් ශරීරයට අවශෝෂණය කර ගැනීමේ ප්‍රවණතාව ඇත. යම් විධියකින් ඇල්ෆා ඇමයිලෝස් එන්සයිමය පාලනය කිරීමට පුළුවන් නම් පිෂ්ඨය ජීර්ණය කිරීම අඩු කරගත හැකිවේ. මෙහිදී දෙස් විදෙස් වෛද්‍යවරුන් වැඩිපුර පර්යේෂණ කරන්නේ මේ අපේ ශරීරයේ ඇල්ෆා ඇමයිලෝස් එන්සයිමය ක්‍රියාකාරිත්වය අඩු කර ගැනීමට සුදුසු ඖෂධයක් නිපදවා ගැනීමටයි.

අපි කළ පර්යේෂණ අනුව අපේ ර‍ෙට් සාම්ප්‍රදායික සහල්වලින් මේ ඇල්ෆා ඇමයිලෝස් එන්සයිමයේ ක්‍රියාකාරිත්වය වළක්වා ගැනීමේ හැකියාව ඇත. අප කළ පර්යේෂණ අනුව දියවැඩියාව සමනය කිරීමට මේ සහල් වර්ග අතුරින් ‘මසුරං’ සහල්වලට පුදුම හැකියාවක් තිබේ. මීට අමතරව පාරම්පරික රතු සහල්වල මේ දියවැඩියාව වැළැක්වීමට ඉතා උචිත බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. විශේෂයෙන් අමතක වීමේ රෝගය වැළක්වීමට පාරම්පරික රතු සහල්වල පුදුම ගුණයක් ඇති බව පර්යේෂණ මගින් විද්‍යානුකූලව ඔප්පු කර ඇත.

ඇමෙරිකාවේ ආකන්ශා විශ්වවිද්‍යාලයේත් පකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාල කිහිපයකත් කළ පර්යේෂණ අනුව අපේ සුදු හීනැටි , කළු හීනැටි, මසුරං හා දික් වී වල අපට වැලඳෙන සියලු පිළිකා වැළැක්විමේ ගුණයක් ඇති බව හෙළිවී තිබේ. එම සහල්වල නිවුඩ්ඩේ නිස්සාරක යොදාගෙන ඉහත සරසවිවල මෙම පර්යේෂණ සිදුකර ඇත‍. ඒ අනුව හෙළිවී ඇත්තේ පෙනහලු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා, සමේ පිළිකා, පියයුරු පිළිකා වැළැක්වීමට මේ සහල් වර්ග අනුභවය ඉතා සුදුසු බවයි.

අපේ රටේ ජනතාව වැඩියෙන් ම අනුභව කරන බත් මගින් මේ ඖෂධීය ගුණ ශරීරයට එකතුවීම ඒ රෝග වැළැක්වීමට ඉතා උචිත ය. පිට රටවලින් මේ අපේ පාරම්පරික වී හා සහල්වලට ලොකු ඉල්ලුමක් තිබේ. දැනටමත් කාර්මික තාක්ෂණ ආයතනය වැනි ආයතන මේ අපේ පාරම්පරික සහල් පිළිබඳව කළ පර්යේෂණවල ප්‍රතිඵල පර්යේෂණ වාර්තා ලෙස නිකුත් කර ඇත. ඒ වාර්තා පරිශීලනය කිරීම නිසා මේ පාරම්පරික සහල්වලට ලොව විවිධ රටවල ජනතාව ලොකු උනන්දුවක් දක්වති. අද අප කළ යුත්තේ ඒ ඉල්ලුම සපිරීමට අපේ ගොවි මහත්වරු උනන්දු කරවීමයි. එය අපේ රටටත් ගොවි ජනතාවටත් විදේශ විනිමය ලැබෙන ව්‍යාපෘති‍යක් ලෙස දියුණු කළ හැකි බව ද කිව යුතු ය.

නමුත් අද රජය මේ ගොවි ජනතාවට අවශ්‍ය සහනයක් ලබාදී නොතිබීම කනගාටුදායක ය.

අපේ පාරම්පරික දේශීය වී වවන ගොවි ජනතාව පවසන පරිදි ඒ අයට පොහොර සහනාධාර නැත. වගා පාලු වන්දි නැත. කෘෂි රක්ෂණයට දායක වීමට ද ඔවුනට අවස්ථාව නැත. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය හා රජය අපේ පාරම්පරික ‍භෝග පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.

මේ අනුව අපේ රටත් ජනතාවත් ඔවුන්ගේ සුබ සෙතත් සුරකින වැඩසටහනක් ලෙස මේ පාරම්පරික සහල් හා වී ජනප්‍රිය කරවීම කළ යුතුව ඇත.

රටට හා අපේ ගොවි ජනතාව විශාල විදේශ විනිමයක් ලබාගත හැකි මේ වැඩපිළිවෙළට රජය දැඩි අවධානය යොමු කළ යුතුව ඇත.

එමෙන් ම දැනට අප සතුව ඇති පාරම්පරික දේශීය වී වර්ග සුරැකීමට ද කටයුතු කිරීම අපේ කෘෂි ජෛව විවිධත්වය සුරැකීම අතින් ඉතා වැදගත්වේ.

පාරම්පරික ගොවීන් විවිධ ගැටලු හා බාධක මැද සිතේ ධෛර්යය ඇතිව මේ පාරම්පරික දේශීය වී වගාකොට හැකි අයුරින් ර‍ටේ ඉල්ලීම් සපිරීම පිළිබඳව ඔවුන්ට ප්‍රශංසා කළ යුතු ය.

ඒ අනුව මේ පාරම්පරික වී තවදුරටත් ව්‍යාප්ත කිරීමට රජයේත් කෘෂි නිලධාරීන්ගේත් මේ ගොවිතැනට හිතැති සැමගේත් පූර්ණ සහාය ඒ ගොවි පරපුරට ලැබිය යුතු බව අපි අවධාරණය කරමු.

කොළඹ විශ්ව විද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය
කාර්මික තාක්ෂණ ආය­ත­නයේ
හිටපු අධ්‍යක්ෂ ජන­රාල්
ආචාර්ය සිරි­මල් ප්‍රේම­කු­මාර

Comments