ගෝත්‍රි­ක­යන් මහ­ත්ව­රුන් කරන මැති­ව­රණ නීතිය | Page 3 | සිළුමිණ

ගෝත්‍රි­ක­යන් මහ­ත්ව­රුන් කරන මැති­ව­රණ නීතිය

ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදි ජන­ර­ජ­යට නව ජනා­ධි­ප­ති­ව­ර­යකු පත් කර­ගැ­නී­මට සුදුසු කාලය දැන් එළඹ තිබේ. අප මේ පසු කර­මින් සිටින්නේ ඒ ජනා­ධි­ප­ති­ව­රණ උණු­සුම තදින්ම දැනෙන කාල වක­වා­නු­වකි. ඒ අනුව ජනා­ධි­ප­ති­ව­රුන්ගේ නාම­ලේ­ඛ­න­යට අලු­තින්ම එක් වන්නට සිටින අට වැනි ජනා­ධි­ප­ති­ව­රයා කවු­රුන්ද යන්න දැන­ගැ­නී­මට සියලු රට­වැ­සි­යන් සිටින්නේ මහත් උන­න්දු­ව­කිනි. ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සයේ දීර්ඝ­තම ඡන්ද පත්‍රි­කාව ඉදි­රි­පත් වන මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය තවත් විශේෂ වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන්, ප්‍රධාන ලාංඡන දෙකෙන් කිසිදු අපේ­ක්ෂ­ක­යකු තරග නොකි­රී­මයි.

මේ සියලු කරුණු පෙර­දැරි කර­ගෙන පැවැ­ත්වී­මට සූදා­න­මින් සිටින මෙවර ජන­ප­ති­ව­ර­ණය පසු­ගිය වස­ර­වල පැවති මැති­ව­රණ හා සැස­ඳී­මේදී ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­ය­ක­ටත් වඩා ඉතා සාම­කාමි මුහු­ණු­ව­රක් ගන්නා බවද පෙනී යයි. සාමා­න්‍ය­යෙන් මැති­ව­ර­ණ­ය­කට ආස­න්නම සති දෙක යනු මහත් කල­බ­ල­කාරි ස්වරූ­ප­යක් ගන්නා, ප්‍රචණ්ඩ ක්‍රියා බහු­ලව වාර්තා වන, පාර පුරා හන්දි ගානේ රොක් වෙමින් විවිධ අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­නය කරන, කොටින්ම කිව හොත් නිවෙසේ සිටින පස්-හය දෙනා අත­රද වාද-විවාද, තර්ක-විතර්ක පොදි­ගැ­හෙන කාල­යකි. එහෙත් පසු­ගිය මැති­ව­රණ හා සැස­ඳී­මේදී මෙවර ජන­ප­ති­ව­ර­ණය අති­ශය සාම­කා­මීව පැවැ­ත්වෙන බවක් පෙනී යයි. වෙනදා මැති­ව­ර­ණ­වල පැවති කල­බ­ල­කාරි බව, ප්‍රච­ණ්ඩ­කාරි බව, තර්ජන-ගර්ජන, මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් වැනි දෑ මෙවර ඇත්තේම නැති තරම්ය.

තර්ජන-ගර්ජන නෑ

1982 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පටන් මැති­ව­රණ ගණ­නා­ව­කට මුහුණ දුන් අප හැමදා ප්‍රාර්ථනා කළේ පිට­ර­ට­වල මෙන් ඉතා සාම­කා­මිව, ඉතා සුහ­ද­ශී­ලිව, මැති­ව­ර­ණ­යක් තිබෙ­න­වාද නැද්ද යන්න පවා නොදැ­නෙන තරමේ විනී­ත­ක­ම­කින් අපේ­ක්ෂ­ක­යන් තෝරා­ගන්නා කාල­යක් එළැ­ඹේවා කියාය. සිය­යට සිය­යක් ඒ තත්ත්වය නොති­බු­ණත්, මෙවර නම් එවන් සාම­කාමි ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට මුහුණ දීමට තරම් ශ්‍රී ලංකා­වාසි අපි සැම වාස­නා­වන්ත වී සිටිමු. පාර­වල් ගානේ බැනර්, පෝස්ටර්, කට­වුට්, හන්දි ගානේ පොලි­තීන් කොඩි වැල් සැර­සිලි දැන් ඇත්තේම නැති තරම්ය. තැන තැන පව­ත්වන පොකට් රැස්වීම් සහ “අර මැති­ව­රණ කාර්යා­ල­යට පහර දී ඇත, මේ වැති­ව­රණ කාර්යා­ල­යට පහර දී ඇත, අර අපේ­ක්ෂ­ක­යාගේ පෝස්ටර් ගිනි­බත් කර ඇත...” යනු­වෙන් ප්‍රවෘත්ති වාර්තා වන්නේම නැති තරම්ය.

ගෝත්‍රි­ක­යන් රැසක් මෙන් මෑතක් වන තුරුම ඡන්ද­යක් එන තුරු යකා නට­න්නට බලා සිටි ලංකා­වා­සීන් එක්ව­රම මෙත­රම් සාම­කාමි වූයේ කෙසේද? ඔවුන් හිතා-මතාම තමන් තුළම හික්මී­මක් ඇති කර­ග­ත්තාද? එසේත් නැති නම් අදාළ අපේ­ක්ෂ­ක­යන් විසින් පාල­නය කරනු ලැබු­වාද? ආදි ප්‍රශ්න මේ දෙස උපේ­ක්ෂා­වෙන් බලා සිටින කාට වුවත් මතු වන්නට පිළි­වන.

මැති­ව­රණ කොමි­සමේ කෙළින් වැඩ

මෙවන් සාම­කාමි මැති­ව­රණ සම­යක් ලංකා­වට දායාද කර­න්නට බලපෑ එකම කාර­ණාව වන්නේ පසු­ගිය මැති­ව­ර­ණ­ව­ලට සාපේ­ක්ෂව මෙවර මැති­ව­රණ නීතිය ඉතා දැඩිව ක්‍රියා­ත්මක කිරී­මයි. එහිදී මැති­ව­රණ කොමි­ෂන් සභා­වත්, එහි සභා­ප­ති­ව­රයා ප්‍රමුඛ නිල­ධා­රී­නුත් සිය රාජ­කා­රිය තිත­ටම ඉටු කර­මින් දැඩි ප්‍රති­ප­ත්ති­යක සිටින නිසා අප හැම­දාම ප්‍රාර්ථනා කළ ආකා­රයේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක අත්දැ­කීම් විඳ­ගැ­නී­මට මෙවර අපට හැකිව තිබේ. මේ සඳහා මැති­ව­රණ කොමි­සම ගත් ක්‍රියා­මාර්ග රැසක් බලපා තිබෙන බව පැහැ­දිලි වේ.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී පොලි­තීන් තහ­නම් කර තිබීම ඒ අතු­රින් ඉතා ප්‍රග­ත­ශීලි පිය­ව­රකි. පෙර මැති­ව­ර­ණ­ව­ලදී ලංකාව පුරා මැති­ව­රණ කාර්යාල 12,000ක් පමණ ස්ථාපිත කිරී­මට අව­ස්ථාව ලැබුණු අතර, ඒ සියල්ල පොලි­තීන් සැර­සිලි, කට­වුට්, බැනර්, පෝස්ට­ර්ව­ලින් වෙළා­ගත් විකා­ර­රූපි ස්වරූ­ප­ය­කින් යුතු විය. එහෙත් මෙවර මැති­ව­රණ කාර්යා­ල­වල එවැනි සැර­සිලි තහ­නම් කර තිබේ. මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­රයා සඳ­හන් කරන්නේ මැති­ව­රණ කාර්යා­ල­යක ප්‍රද­ර්ශ­නය කළ හැක්කේ අපේ­ක්ෂ­කයා ප්‍රව­ර්ධ­නය කරන, වර්ග අඩි 20ක පුව­රු­වක් පම­ණක් බවයි. එය නම, සල­කුණ, ඡායා­රූ­පය සහි­තව වර්ග අඩි 30ක ප්‍රමා­ණ­යට ප්‍රද­ර්ශ­නය කිරී­මට අව­සර ලැබේ. එමෙන්ම සෑම තැන­කම කොඩි කණු සිටු­වී­මද මෙවර තහ­නම් කර ඇත. අව­සර ලැබී ඇත්තේ එක් කාර්යා­ල­ය­කට වර්ග අඩි 15ක කොඩි කණු 3ක් පම­ණක් සිටු­වී­ම­ටය. මේ නීති­යත් සමඟ සිග­රට් කොට­යක් වීසි කළත් දැවී හළු වී යන පොලි­තීන් කාර්යාල නොවී­මෙන් කාර්යාල ගිනි තැබීම්ද මෙවර වාර්තා වූයේ නැත. පෝස්ටර් තහ­නම තදින්ම ක්‍රියා­ත්මක කිරීම මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දක්නට ලැබෙන තවත් ප්‍රග­ති­ශීලි තත්ත්ව­යකි. එබැ­වින් අත් වන­මින්, දත් විරි­ත්ත­මින් දස අතම ලයිට් කණු, ගස් ගල් මත්තේ බැබ‍ළෙන අපේ­ක්ෂක විප්‍ර­කාර මෙවර ඇත්තේම නැති තරම්ය.

පොලි­තීන් නෑ - කට­වුට් නෑ

තවත් නීති­යක් වන්නේ ඡන්ද පත්‍රිකා බෙදී­මට හෝ ගෙන් ගෙට ගොස් අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­නය කිරී­මේදී වාහන තිහ-හත­ළිහ යොදා­ග­නි­මින්, වාහ­න­වල ඡායා­රූප අල­වා­ගෙන, බෑන්ඩ්-ට්‍රම්පට් වාද­නය කර­මින්, රතිඤ්ඤා දල්ව­මින් දැවැන්ත පෙළ­පාළි යෑම තහ­නම් කර තිබී­මයි. එලෙස ගෙන් ගෙට යෑමට උප­රි­මව 11 දෙනකු පම­ණක් යොදා­ගැ­නී­මට මැති­ව­රණ කොමි­සම අව­සර දී තිබේ. ඊට වැඩි­යෙන් එක් අයකු පැමි­ණි­යත් එය සල­කන්නේ පෙළ­පා­ළි­යක් ලෙසිනි. එහිදී මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කළ බවට චෝදනා ගොනු කර, නීතිය ක්‍රියා­ත්මක කිරී­මට අව­සර ලැබී තිබේ.

ඡන්ද රැස්වී­මක් පැවැ­ත්වී­මේදී නිශ්චිත භූමි­යෙන් පිටත ශබ්ද විකාශ යන්ත්‍ර යෙදී­ම­ටත් සැර­සිලි කිරී­ම­ටත් මෙවර හැකි­යාව ලැබෙන්නේ නැත. පෙර මැති­ව­ර­ණ­ව­ලදී නම් කිලෝ­මී­ට­ර­යක් පමණ දුරට ඒක් රැස්වී­මක ගෝර­නා­ඩුව පැති­රෙන අතර එහිදී ශබ්ද දූෂණ, පරි­සර දූෂණ උප­රි­මව සිදු වූ බවද අපට සිහි­පත් කළ හැකිය.

තවත් වැද­ගත් කරු­ණක් වන්නේ මෙවර ආග­මික මධ්‍ය­ස්ථාන, පන්සල්, පල්ලි, කෝවිල් මුල් කොට­ග­නි­මින් මැති­ව­රණ ව්‍යාපාර දියත් කිරීම තහ­නම් කර තිබී­මයි. පෙර මැති­ව­ර­ණ­ව­ලදී ආග­මික ස්ථාන­වල ඡන්ද ප්‍රව­ර්ධන කට­යුතු සිදු කිරීම හේතු­වෙන් බොහෝ ගැටලු මතු වූ ආකා­රය අපට දැක­ගත හැකි විය. මේ නිසාම මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දිගින් දිග­ටම කියා සිටියේ මේ සියලු දේ තහ­නම් කරන බවත්, ඒවා උල්ලං­ඝ­නය කළ හොත් තදින්ම නීතිය ක්‍රියා­ත්මක කිරී­මට පසු­බට නොවන බවත්ය.

පාතා­ලෙන් ‘සපෝට්’ බෑ!

මේ සක­ල­විධ කරුණු සම­ඟින් මෙවර මැති­ව­ර­ණයේ දරුණු ගති පහව ගොස් ඇති බවක් දක්නට ලැබේ. කෙසේ වෙතත් ඡන්දය ප්‍රකා­ශ­යට පත් කිරී­මට බොහෝ කාල­ය­කට පෙර සිටම මැති­ව­රණ කොමි­ෂන් සභාව මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සාම­කා­මිව පැවැ­ත්වීම සඳහා අවශ්‍ය කට­යුතු සම්පා­ද­නය කර­මින් සිටි­යේය. එහිදී අවු­රුදු ගණ­නා­වක් මැති­ව­රණ කොම­සා­රිස් ලෙසත්, තවත් අවු­රුදු කිහි­ප­යක් මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා ලෙසත් ක්ෂේත්‍රයේ තෙම්ප­රාදු වී සිටින මහින්ද දේශ­ප්‍රිය මහතා නොබි­යව සිය නීති ප්‍රකාශ එළි­ද­ක්ව­මින් ජනා­ධි­ප­ති­ව­ර­ණය උප­රිම සාධා­ර­ණව, ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් තොරව පැවැ­ත්වී­මට උත්සාහ දර­මින් සිටින බවක් පෙනෙන්න තිබේ. එප­ම­ණක් නොව, මෙවර තරග වදින අපේ­ක්ෂ­ක­යන් සියලු දෙනාද මැති­ව­රණ කොමි­සම නිර්දේශ කළ සියලු දේට ඇහු­ම්කන් දෙමින්, ඒවා පිළි­ප­දි­මින් මැති­ව­රණ ව්‍යාපා­රය දියත් කිරී­මට එකඟ වීමද අප කාල­යක් අපේක්ෂා කළ මෙවන් සාම­කාමී මැති­ව­රණ කාල­සී­මා­වක් එළැ­ඹී­මට උප­කාරි වූ බව කිව යුතු­මය.

එමෙන්ම පෙර පැවති සෑම මැති­ව­ර­ණ­ය­ක­දීම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූයේ පාතා­ල­යට සම්බන්ධ වූවන් මැති­ව­ර­ණ­ව­ලට සහාය දීමට එක් එක් අපේ­ක්ෂ­ක­යන් විසින් සම්බන්ධ කර­ගනු ලැබීම නිසාය. සෑම මැති­ව­ර­ණ­ය­ක­දීම එක් මනුෂ්‍ය ඝාත­න­යක් හෝ කැපීම්-කෙටීම්, ගිනි තැබීම්, පහ­ර­දීම්, පැහැර ගැනීම් හෝ මොන යම් ආකා­ර­යක හෝ ප්‍රචණ්ඩ ක්‍රියා­වක් වාර්තා වූ මැති­ව­රණ ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කියූ අප අද සිටින්නේ ඉතා සාම­කාමි මැති­ව­රණ ව්‍යාපා­ර­යන් දිය­ත්වන සම­යක වීම සතු­ටට කරු­ණකි. එසේ හැසි­රුණු ගෝත්‍රි­ක­යන් මහ­ත්ව­රුන් කර­න්නට මැති­ව­රණ කොමි­සම හා ආර­ක්ෂක අංශද සිය දාය­ක­ත්වය උප­රි­ම­යෙන් සැප­යු­වේය. මහින්ද දේශ­ප්‍රිය මහතා 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී පැව­සුවේ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­න්නන්ට දණින් පහ­ළට වෙඩි තැබී­මට වුවද පසු­බට නොව­න්නැයි කියාය. එහිදී නීති උල්ලං­ඝ­නය වන අවස්ථා සොයා බල­න්නට පොලී­සිය පසු­බට වුව හොත් පොලිස් ලොක්කන් වග­කීම් බාර ගත යුතු බවට දේශ­ප්‍රිය මහතා කළ ප්‍රකා­ශ­යත් සමඟ පොලී­සි­යද මෙසේ තිතට තම රාජ­කා­රිය ඉටු කිරී­මට ඉදි­රි­පත්ව සිටියි.

මෙවර ඉදි­රි­පත්ව සිටින ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙ-තුන් දෙනාම පාතා­ලය හා මත්ද්‍රව්‍ය විවේ­ච­නය කර­මින් සිය ප්‍රති­පත්ති ප්‍රකා­ශන නිකුත් කර තිබී­මද මෙහි තවත් සුබ­වාදි පැති­ක­ඩක් නිරූ­ප­ණය කරයි. මක් නිසාද යත්: පෙර කියූ පරි­දිම කැපීම්-කෙටීම්, මිනී­මැ­රුම් සිය­ල්ලක්ම පාතාල ක්‍රියා හේතු­වෙන් සිදු වීමත් ඒවාට අපේ­ක්ෂ­ක­යන්ගේ සහාය ලැබී­මත් නිසා පෙර මැති­ව­ර­ණ­ව­ලදී අව­සන් කාලයේ ප්‍රච­ණ්ඩ­ත්වය උග්‍ර අතට පත්ව තිබුණු බැවිනි.

නීතිය අතට අරන් නෑ

කෙසේ වෙතත් එදා හිතු­ම­තේට බොහෝ දෙනා නීතිය අතට ගනිද්දී අද මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් පිළි­බඳ පැමි­ණිලි ඉදි­රි­පත් වනවා හැරුණු කොට නීතිය අතට ගැනී­මට කිසි­වකු පෙල­ඹෙන්නේ නැති තරම් මැති­ව­ර­ණය සාම­කා­මිය. විශේ­ෂ­ත්වය වන්නේ බොහෝ දෙනා වෙන­දාට වඩා මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් පිළි­බඳ පැමි­ණිලි කිරී­මට උන­න්දු­වක් දැක්වී­මයි. ඒ අනුව බ්‍රහ­ස්ප­තින්දා වන විට මැති­ව­රණ කොමි­ස­මට පැමි­ණිලි 2,138ක්, පැෆ්රල් වෙත 301ක්, කැෆේ වෙත 532ක් ආදි වශ­යෙන් පැමි­ණිලි ලැබී තිබිණි. එහෙත් ඒවා දරුණු ගණයේ නීති උල්ලං­ඝ­නය වීම් පිළි­බඳ පැමි­ණිලි නොවන බව දැන­ග­න්නට තිබේ. බොහෝ ඒවා රාජ්‍ය ආය­ත­න­වල සිදු වන නීති උල්ලං­ඝ­නය වීම්ය.

මේ ආකා­ර­යට සියලු අංශ පාල­නය කර­මින් මැති­ව­රණ කොමි­සම කට­යුතු කළද ඔවු­න්ටද පාල­නය කර­ගත නොහැකි වූයේ පෞද්ග­ලික මාධ්‍ය හැසි­රීම පම­ණකි. දේශ­ප්‍රිය මහතා පසු­ගි­යදා මාධ්‍ය සාක­ච්ඡා­වක් පව­ත්ව­මින් පවසා සිටියේ තනි හිමි­ක­රු­වන් වන පුව­ත්පත් හිමි­යන් සිය ධනය යොදා මුද්‍ර­ණය කරන පුව­ත්ප­ත­කින් එවැනි ප්‍රචාර සිදු කළද මහ­ජ­න­යාගේ සංඛ්‍යාත භාවිත කර­මින් ඉලෙ­ක්ට්‍රො­නික මධ්‍ය සිය මතය ප්‍රචා­රය කරන මැති­ව­රණ ව්‍යාපා­ර­යක යෙදී සිටීම විශාල වර­දක් බවයි. කැෆේ සංවි­ධා­න­යද කියා සිටියේ ඇතැම් ප්‍රධාන ජන­මාධ්‍ය මැති­ව­රණ කොමි­සමේ මාධ්‍ය උප­මාන සූක්ෂ්ම ලෙස උල්ලං­ඝ­නය කර­මින් සිටින බවයි. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 104 ආ (5), (අ), (ආ), (ඇ), (ඊ) අනු­ව්‍ය­ව­ස්ථාව යට‌තේ හඳුන්වා දී ඇති මේ මාධ්‍ය උප­මාන උල්ලං­ඝ­නය සධා­රණ මැති­ව­ර­ණ­ය­කට බාධා­වක් බව ඔවුහු පෙන්වා දෙති. ඔවුන් පව­සන්නේ ඇතැම් විද්යුත් මාධ්‍ය අසත්‍ය පුවත් වාර්තා­ක­ර­ණ­යට පවා පෙලඹී සිටින බවයි. එදා මැති­ව­රණ සමයේ ‘අලියා සිසිල් බීම’ දැන්වීම් පවා තහ­නම් කළ තත්ත්ව­යක් මත අද මෙලෙස මාධ්‍ය හැසි­රීම කන­ගා­ටු­වට කරු­ණකි.

ඉතින් මැති­ව­රණ කොමි­ෂන් සභාව නිකුත් කර ඇති උප­මාන 32 අනුව යමින් මාධ්‍ය ආය­තන සිය දේශ­පා­ලන වැඩ­ස­ට­හන්, ප්‍රවෘත්ති විකාශ පව­ත්ව­නවා නම් නිවැ­රදි, සම­තු­ලිත, අප­ක්ෂ­පාති තොර­තුරු මහ­ජ­න­තා­වට ලබා දෙමින් කළු ලකු­ණක් නැතිව මැති­ව­ර­ණය අව­සන් වන තෙක් කට­යුතු කිරී­මට හැකි­යාව ලැබෙනු ඇත.

මේ සියලු කරුණු අකු­ර­ටම ඉටු කිරී­මට මේ දෙස­ති­යේදී වත් කට­යුතු කරන්නේ නම් මැති­ව­රණ කොමි­ෂන් සභාව විසින් මෙවර තබන ලද පුරෝ­ගාමි පිය­වර ඉදිරි මැති­ව­ර­ණ­ව­ලදී මීටත් වඩා හොඳින් අත්ද­කි­මින් විශිෂ්ට මැති­ව­රණ ව්‍යාපා­ර­යක් සතු රටක් බවට පත් වීමට අපට හැකි­යාව ලැබෙනු නිර­නු­මා­නය.

Comments