කුසගින්නේ සිටින අයකුට ආහාර වේලක් දීමට හැකි නම් එය මහඟු පිනක් ලෙස අප සලකනවා. මා කරන රැකියාව මඟින් මට මේ දේ කිරීමට ලැබීම මහගු භාග්‍යයක් ලෙස හැඟෙනවා” යැයි පවසන්නේ කොළඹ බෝකුන්දර පදිංචි පී. වසන්ත පීරිස් මහතා ය.
කොළඹ නගරය සහ අවට උප-නගර රැසක් ආවරණය වන පරිදි යතුරුපැදියක නැඟී ඕනෑම අවන්හලකින් නිවෙසටම ආහාරපාන ගෙනැවිත් දෙන රැකියාවක නිරතව සිටින වසන්ත මහතා අපට හමු වූයේ නුගේගොඩ-පාගොඩ මාර්ගයේ අවන්හලක් ඉදිරිපිටදීය. ඔහු සිය යතුරු පැදියේම වාඩි වී හිඳිමින් තම අත්දැකීම් අප සමඟ පැවසූයේ මෙපරිද්දෙනි:
“මා මීට ඉහත රැකියා කිහිපයකම නිරත වූවා: වෙළෙඳාම් කළා, රියැදුරකු ලෙස කටයුතු කළා. ඒත් ඒවායෙන් එදිනෙදා වැඩ ටික වත් කරගන්න අවශ්‍ය හරිහමන් මුදලක් උපයාගන්න බැරි වුණා. අද මට මේ රස්සාවෙන් සෑහෙන මුදලක් අතට ලැබෙනවා. මම සෑහෙන්න ණය වෙලා හිටි කෙනෙක්. මේ රස්සාව නිසා ඒ ණය ටික ගෙවා දමන්න පවා හැකියාව ලැබුණා. ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක්.”
එදින තුළ තමාගේ සාර්ථකත්වය හෙළි කිරීමටද හෙතෙම අමතක නොකළේය.
“කොළඹ, නුගේගොඩ, දෙහිවල, වැල්ලවත්ත ඇතුළු ප්රදේශ කිහිපයකටම අද (09) මම කෑම ‘ඩිලිවරි’ කළා. මේ වන විට ඇණවුම් දහයක් විතර භාරදී අවසන්. තවම වේලාව සවස 3යි. මම රෑ 9 විතර වෙන කල් මෙහි නිරත වනවා.”
අප ඔහු සිටින ස්ථානයට ළඟා වන විටත් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදීම යතුරුපැදිවල නැඟී ආහාර ප්‍රවාහනය කරන තරුණ-තරුණියන් කිහිප දෙනකුම දැකගත හැකි විය.
කොළඹ නගරයේ මෙන්ම නුගේගොඩ, පිළියන්දල, බත්තරමුල්ල, කඩුවෙල, දෙහිවල, මොරටුව ඇතුළු ප‍්‍රදේශ රැසක අප සංචාරය කළ අතර, ඒ නගර සියල්ල ආවරණය වන පරිදි යතුරුපැදිකරුවන් මේ ආකාරයට ආහාර ප්‍රවාහනය කරන අන්දමත්, ඔවුන් ඉතා උනන්දුවෙන් එහි නිරත වන අන්දමත් අපට දක්නට ලැබිණි.
ජනතාවට මෙමඟින් අත් වන පහසුව හේතුවෙන් මේ ව්‍යාපෘතිය ඉතා වේගයෙන් කොළඹ නගරයේ මෙන් ම පිට පළාත්වලටද ප්‍රචලිත වෙමින් තිබේ.
මෙලෙස ආහාර ඇණවුම් නිවෙසටම ගෙන ඒමේ ක්‍රියාවලිය මෙහෙයවෙන්නේ අන්තර් ජාලය ඔස්සේය. මේ ව්‍යාපාරයට සම්බන්ධ ආයතන කිහිපයක්ම මේ වන විට කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ. ඔවුන්ගේ පරිගණක යෙදවුම් (ඇප්) සුහුරු ජංගම (ස්මාට්) දුරකතනයට සම්බන්ධ කරගැනීමෙන් අදාළ ඇණවුම භාරදෙනු ලබන අතර, ජීපීඑස් තාක්ෂණය මඟින් අදාළ නිවෙස වෙත එය ඉතා පහසුවෙන් රැගෙන යනු ලැබේ. දැනට අප සියලු දෙනාට හුරු-පුරුදු ක්‍රමයක් වන ජංගම දුරකතනය මඟින් කුලී රථ ගෙන්වා ගන්නා ආකාරයටම මෙය සිදු කෙරේ.
මේ අතර කොළඹ මහා නගර සභාවේ සෞඛ්‍ය ඒකකයේ නිලධාරියකු අප හා පැවසූයේ කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල මේ වන විට මේ ලෙස ආහාර බෙදීමේ නිරතව සිටින පුද්ගලයන් සංඛ්‍යාව හය දහසකට ආසන්න බවයි.
ඒ අනුව සරසවි ශිෂ්‍යයන්, බැංකු නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, විශ්‍රාමික හමුදා සාමාජිකයින්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, ගුරුවරුන් ඇතුළු සමාජ ස්තර ගණනාවක් නියෝජනය කරන පුද්ගලයන් මේ රැකියාවේ නිරතව සිටින අතර, ඔවුන් දෙනා මෙහි නියැළෙන්නේ අර්ධකාලීන රැකියාවක් ලෙසය. මොවුන් අතුරින් වැඩි දෙනකු සවස 5න් පසු තම සේවය ආරම්භ කරන බවද අපට දැකගන්නට ලැබිණි.
නුගේගොඩින් නික්මුණු අපි වැල්ලවත්ත ප්‍රදේශය කරා ගියෙමු. වැල්ලවත්ත ‘සැවෝයි’ සිනමා හල ඉදිරිපිට යතුරුපැදි දහයක් නවතා තිබූ අතර, ඒ ආසන්නයේ පිහිටි අවන්හල් දෙකක් බොහෝ කාර්යබහුල ස්වරූපයක් පෙන්නුම් කළේය.
අවන්හල් සේවකයන් නොයෙක් වර්ගයේ ආහාර ඇණවුම් පාර්සල් කර යතුරුපැදිකරුවන් අත තැබූ අතර, අප එහි පැමිණ විනාඩි විස්සක් වැනි කාලයක් ඇතුළත යතුරුපැදිකරුවෝ විසිරී ගියහ. ඒ ඔවුන්ගේ පිටේ එල්ලා තිබූ මල්ලට කෑම පාර්සල් දමාගනිමිනි.
මේ අතරතුර අවස්ථා කිහිපයකදීම ඔවුන් කිහිප දෙනකු සමඟ මේ සේවාව සම්බන්ධව කතාබහ කිරීමට අපට අවස්ථාව ලැබිණි.
ලෝරන්ස් ලීලාරත්න මහතා මහනුවර පදිංචිකරුවෙකි. (40)
“මෙය අත්දැකීම් රැසක් එක් කරන රැකියාවක්. විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමඟ විවිධ අත්දැකීම් ලැබෙනවා. බොහෝ වේලාවට ඉතා හොඳ ගතිපැවතුම් ඇති පුද්ගලයන් තමයි ආහාර ඇණවුම් කරන්නේ. අප නිවෙසට හෝ කාර්යාලයට ගිය විට ඔවුන් අපට ඉතා කරුණාවෙන් සලකනවා.
“ස්ථිර පදිංචිය නුවර වුණත් දැනට කොළඹට ආසන්නව කුලී නිවාසයක නැවතිලා මේ රැකියාවේ යෙදෙනවා. මීට කලින් රැකියා කිහිපයක්ම කළා. සාර්ථක වෙන්න බැරි වුණා. අද වන විට මේ රැකියාවෙන් සැලකිය යුතු මුදලක් උපයනවා. ටිකක් මහන්සි වුණොත් වැඩිපුර මුදලක් හොයාගන්න පුළුවන්.
“අප බොහෝ දෙනකු මේ කටයුත්ත ස්ථිර රැකියාවක් ලෙස සිදු කරනවා. ඒ වගේම මෙය අර්ධ-කාලීන රැකියාවක් ලෙස සිදු කරන කණ්ඩායමක්ද සිටිනවා. යතුරුපැදියේ නැඟී රථවාහන තදබදය අස්සේ කෙටි වේලාවකින් ආහාර ඇණවුම අදාළ ලිපිනයට ගෙන යෑම ලෙහෙසි-පහසු කාර්යයක් නොවෙයි. දහවල් කාලයට තිබෙන දැඩි අව් රශ්මිය මෙන් ම දූවිලි පිරිච්ච මාර්ග නිසා හරිම දුෂ්කරයි. රාත්‍රි කාලයේදීම නම් මේ තත්ත්වය වෙනස්. විශේෂයෙන් රාත්‍රි 8.30 පසු කොළඹ මෙන් ම කොළඹ නගරය අවටත් රථ-වාහන තදබදය අඩුයි. ඒ නිසා එතරම් අපහසු නැහැ.”
“අප සමඟ මේ රැකියාවේ තරුණ කාන්තාවන්ද යෙදී සිටිනවා. විශේෂයෙන් සරසවි අධ්‍යාපනය මෙන් ම වෙනත් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින තරුණියන්. ඒ අය අර්ධකාලීන රැකියාවක් ලෙස මෙය සිදු කරගෙන යනවා.
මහරගම පදිංචි ඩී.ඩබ්ලිව්. රොහාන් මහතා (30)
“මම මහරගම නගරය ආශ්‍රිතව සුළු සුළු ව්‍යාපාර රැසක් ම කළා. බොහෝ දවස්වල රුපියල් 15000 – 20000 අතර භාණ්ඩ අලෙවියක් සිදු කරනවා. ඒත් එයින් ලැබෙන්නේ රුපියල් 1000ක විතර ලාභයක්.
මම මේ රැකියාව ආරම්භ කරලා දැන් මාස හයක් වෙනවා. උදේ 8 - රාත්‍රි 11 වෙන කල් කරනවා. මට දවසකට රුපියල් 5000 – 7500/= දක්වා මුදලක් උපයාගැනීමට හැකි වී තිබෙනවා. මේ ගැන මට ගොඩක් සතුටුයි.
“අනික, අප එක් තැනක ඇණවුම් භාර ගත් පසු අදාළ ලිපිනයට එම ඇණවුම භාරදී යතුරුපැදිය නිදහස් තැනක නවත්වාගෙන පොතක් පත්තරයක් කියවනවා. මගේ ජංගම දුරකතනයට අන්තර්ජාලය මඟින් ඊළඟ ඇණවුම ලැබුණු විගස මා නැවතත් රැකියාවේ නිරත වෙනවා. ඒ නිසා මේ රැකියාව උනන්දුවෙන් කරගෙන යන්න පුළුවන්.
රථවාහන තදබදය තමයි අපට ටිකක් අමාරු. ඒ වගේ ම තද අව්ව වෙලාවට ටිකක් කරදරයි.
පොලිස් රථවාහන අංශයේ නිලධාරි මහත්වරුන්ගෙන් යම් යම් කරදර ඇති වෙනවා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ මේ රැකියාවේ නිරතව සිටින අය හට පොලීසිය විසින් විශේෂ හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසයි.
මේ රැකියාවේ විශේෂත්වයක් ලෙස මට හැඟී යන්නේ ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක රැකියාවේ නිරත වනවා සේ ම තමන්ට අසනීපයක් හෝ යම් අපහසුතාවක් ඇත් නම් කිසිදු බලපෑමකින් තොරව නිදහසේ සිටිය හැකිවීමයි.”
පොලොන්නරුව කැලුම් රසාංග (26) මහතා
“උදෑසන නවයට ආරම්භ කරන මගේ වගකීම මම රාත්‍රි නවය වන තුරු ඉතා සතුටින් සිදු කරනවා. වෙනත් රැකියාවල වගේ කිසිදු බලපෑමක් මේ රැකියාවේ නැති තරම්. ඉතා නිදහසේ සිදු කළ හැකි රස්සාවක්. විදේශ රටවල මේ රැකියාව ‘ෆුඩ් රයිඩර්’ (Food Rider) නමින් නම් කර තිබෙනවා. එලෙසම බොහෝ රටවල අගයන රස්සාවක් හැටියට මෙය සලකන්න පුළුවන්. මම මට අවශ්‍ය විදියට කාල වේලාවක් සකස් කරගත්තාට ඇත්තටම මෙය විසි හතර පැයේ ම සිදු කරන රැකියාවක්.
යම් මහන්සියක් ඇතත් ඉතා පහසුවෙන් දිනකට රුපියල් 4000 – 5000ක් මේ මඟින් උපයාගන්න පුළුවන්.
මම අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ව්‍යාපාර කිහිපයක් ම ආරම්භ කළා. පවතින ආර්ථික තත්ත්වය තුළ ඒවා කිසිවක් සාර්ථක වුණේ නැහැ. මගේම මෝටර් රථයක් කුලී රථ සේවාවේ යෙදෙව්වා. සාර්ථක වුණේ නැහැ. අද මම මේ රැකියාව ඉතා සතුටින් කරගෙන යනවා.”
මේ වනවිට මේ සේවාව උසස් මට්ටමින් ජනතාවට ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් යතුරු පැදි මඟින් ආහාර රැගෙන යන්නන් සඳහා කරුණු දහයක් ඇතුළත්ව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ඒ කරුණු මෙසේය:
1. යතුරුපැදි ධාවකයන් මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටිය යුතු අතර, ඔවුන්ගේ අත්වල හෝ සමේ රෝගයක් නොතිබිය යුතුය.
2. ධාවකයන් හොඳ පෞද්ගලික සනීපාරක්ෂක තත්ත්වයක් පවත්වාගත යුතු ය (උදා. දෑත් පිරිසුදුව තබාගැනීම, නිය කපා තිබීම)
3. ධාවකයන්, වැඩ කරන අතරතුර පිරිසිදු නිල ඇඳුම්/ ඇඳුම් ඇඳිය යුතුය.
4. ආහාර මගින් බෝවන රෝගයකින් පෙළෙන අයකු හෝ ආහාර විෂවීමකින් පෙළෙන අවස්ථාවක සිටින අයකු ආහාර ප්‍රවාහන කටයුතුවල නිරත නොවිය යුතුය.
5. යතුරු පැදිකරුවන් ආහාර රැගෙන යන අවස්ථාවලදී සහ පාරිභෝගිකයන්ට භාර දෙන අවස්ථාවලදී බුලත්විට, චුවින්ගම් සැපීම, දුම්පානය කිරීම, ආහාර ගැනීම හෝ යම් පානයක් පානය කිරීම වැනි කටයුතුවල නිරත නොවිය යුතුය.
6. ආහාර රැගෙන යන බෑග් ජලයට ඔරොත්තු දිය යුතු අතර, ආහාර ඇසුරුම් වායු රෝධක මැදිරියක නිසි ලෙස අසුරා වසාදැමීමට හැකි විය යුතුය.
7. බෑගය තුළ කිසිවිටෙක ආහාරවල කොටස්, ඉඳුල් ඉතිරි නොවිය යුතු ය.
8. පාරිභෝගිකයාගේ ආහාර අයිතමය හැර වෙනත් කිසිවක් රැගෙන යෑමට ආහාර බෙදාහැරීමේ බෑගය භාවිතා නොකළ යුතු ය (උදා: හෙල්මට්, යතුරු, ජර්සි ආදිය).
9. සෑම ආහාර භාර දීමකටම පසු, ආහාර බෙදා හැරීමේ බෑගය හොඳින් පිරිසිදු කළ යුතු ය.
10. ප්‍රවාහනය කරන අතරතුර යතුරුපැදි කරුවන්ගේ දෙපා තබා ඇති ස්ථානය ඉදිරිපිට ආහාර බෙදා හැරීමේ බෑගය තබා නොගත යුතුය.
ජනතාවට හැකි උපරිම සෞඛ්‍ය පහසුකම් සලසාදීම තම වගකීමක් මෙන් ම යුතුකමක් බවත්, මේ කරුණු දහය ලබා දුන්නේද එවැනි අරමුණකින් බවත් කොළඹ මහා නගර සභාවේ සෞඛ්‍ය ඒකකයේ සෞඛ්‍ය වෛද්‍ය සුභාෂ් මෙන්ඩිස් මහතා අප හා පැවසී:
“යතුරුපැදි මඟින් ආහාර ප්‍රවාහනය ඉතා ඉක්මනින් ජනප්‍රිය වී තිබෙනවා. එලෙසම එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයක් ද දකින්නට ලැබෙනවා.”
මේ රැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර සියල්ලට ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන ආකාරයක් දකින්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියට නව අංගයක් එක් වී ඇති අයුරු ද පෙන්වා දිය හැකි ය.
කාර්ය බහුලත්වය තුළ තම මවුපියන්ට අවශ්‍ය නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිව සිටි විධායක තලයේ නිලධාරීන්ට, ව්‍යාපාරිකයන්ට මෙන් ම දේශපාලනඥයන්ටද මේ සේවාව මඟින් සහනයක් උදා වී තිබේ. ක්ෂණික ආහාර, යුරෝපීය ආහාර, බේකරි ආහාර මෙන් ම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මාළු ඇඹුල් තියල්, කොස්, දෙල්, බතල වැනි දෑවලින් පිළියෙල කළ ආහාර වර්ගද මේ රැකියාවේ නිරත වූවන් නිවසටම ගෙනැවිත් දෙති. වර්තමානයේ රැකියාවක් සොයාගැනීම මෙන්ම ව්‍යාපාරයක් අඛණ්ඩව පවත්වාගෙන යෑම ද ලේසි-පහසු කාර්යයක් නොවේ. කිසිදා ඉල්ලුම අඩු නොවන මෙබඳු සිත්ගන්නාසුලු රැකියාවක් යතුරුපැදිකරුවන් හට හිමි වී ඇතතේ එවන් පසුබිමනය.
ඡායාරූප - ශාන් රඹුක්වැල්ල