ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම වැටුප් බිල ගෙවීමට සූදානම් | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම වැටුප් බිල ගෙවීමට සූදානම්

රජයේ සේවක, විශ්‍රාමික වැටුප් හා දීමනා ඉහළ දැමූ ආණ්ඩුව රුපියල් මිලියන හතළිස්දහසක

පනස් දහසක් වූ විශේෂ අවශ්‍යතා දීමනාව තවත් 40,000කට

රජයේ වියදමින් සියයට 25ක් වැටුප්වලට

මධ්‍යම රජයේ පළාත් සභාවල ආරක්ෂක හමුදා සහ පොලිසිය ඇතුළත්ව සමස්ත රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා දීමනා ගෙවීම් සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් දැරූ ඉහළම වියදම මේ වසරේ දැරීමට රජය සූදානම් වී තිබේ. රජයේ ආදායම අභිබවා රජයේ වියදම් ප්‍රමාණය කොතරම් ඉහළ ගියද ජනතාවගේ විශේෂයෙන් රාජ්‍ය සේවයේ ඉහළ කාර්යසාධනයක් ඇති කිරීමේ අරමුණින් රජය මේ විශාල බිල දැරීමට තීරණය කොට තිබේ. වසර 2015දී රජයේ ප්‍රතිපත්ති හා සමගාමීව රු. 10000/-ක දීමනාවක් රාජ්‍ය අංශය වෙත ලබා දෙන ලදි. ආරම්භයේදී මෙය අතුරු දීමනාවක් වශයෙන් රාජ්‍ය සේවයට හඳුන්වා දෙනු ලැබිණි. රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 03/2016 සහ රජය සතු සමාගම් වලට අදාළ වන කළමනාකරණ සේවා චක්‍ර ලේඛ අංක 02/2016 චක්‍රලේඛයන්ට අනුව 2016 / 2020 අතර කාල පරාසය තුළ අදියර 5ක් යටතේ මෙම රුපියල් 10000/- මූලික වැටුපට එකතු කරනු ලැබේ.

ඒ අනුව රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන වල සේවකයන්ට ද මේ දීමනාව වැඩිවේ.

මෙරට රාජ්‍ය සේවය විවිධ තනතුරු නාම 1811කින් හා වැටුප් කේත 38කින් සමන්විත වී ඇත. එම තනතුරු දීප ව්‍යාප්ත සේවා, ඒකාබද්ධ ‍සේවා, දෙපාර්තමේන්තු ගත සේවා සහ සමහර විශේෂිත වූ තනතුරු වලින් (නීතිපති වැනි) සමන්විත වේ. මෙම සේවා මට්ටම් ජ්‍යෙෂ්ඨ, තෘතීක, ද්විතීයික සහ ප්‍රාථමික ලෙස කාණ්ඩ කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව ලක්ෂ 14කට ආසන්න ‍වේ. එය සමස්ත රටේ ශ්‍රම බලකායෙන් 18%කට කිට්ටුය. මේ අන්දමට රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීම හරහා රජය බලාපොරොත්තු වනුයේ සෑම නිලධාරියකුටම පැහැදිලි උසස්වීම් ක්‍රමවේදයක්, විශ්‍රාම යෑමක්, ස්ථාන මාරුවීමක් ඇති කරමින් සේවා සැපයීමේදී ඉහළ ඵලදායිතාව, ගුණාත්මකභාව සහ කාර්යක්ෂමතාව ඇති කරලීමයි. ඒ අනුව වසර 2015 සිට මේ දක්වා රාජ්‍ය සේවක වැටුප් බිල වසරින් වසර ඉහළ ගොස් ඇත. වසර 2017 රාජ්‍ය සේවක වැටුප් හා බිල රු. බිලියන 630ක් වූ අතර වසර 2019 සඳහා රු. බිලියන 735ක් අවශ්‍ය වන බව මුදල් අමාත්‍යාංශය ගණන් බලා ඇත. මේ අන්දමට රාජ්‍ය සේවක වැටුප් බිල වැඩි කිරීමේදී මධ්‍ය රජයේ සේවකයන්ට රු. බිලියන 518ක් ද, පළාත් සභා සේවකයන්ට රු. බිලියන 172ක් ද අවශ්‍ය වේ. ඊට අමතරව විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කරන සේවකයන්ට රු. බිලියන 38ක්, රාජ්‍ය ව්‍යවසායන්ට රු. බිලියන 29ක්, ආබාධිත රණවිරුවන්ට අවශ්‍ය සත්කාර වලට රු. බිලියන 52ක් අවශ්‍ය යැයි ගණන් බලා ඇත.

වසර 2019 අය වැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කළේ රජයේ අය වැය ඔස්සේ දරනු ලබන රජයේ වියදම් වලින් 25%ක් රාජ්‍ය සේවක වැටුප් බිල වෙනුවෙන් වෙන් වන බවයි. ‍

මෙසේ අති විශාල මුදලක් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ඉහළ දැමීමට වෙන් කළ රජය රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් පිරිසගේ විශ්‍රාම වැටුප් විෂමතා දුරු කරමින් දීමනා වැඩි කිරීමට ද කටයුතු කොට තිබේ. ඒ අනුව මේ මාසයේ 01දා සිට මේ සියලු දීමනා වැඩි වී ඇත. ඒ පිළිබඳ අදහස් දක්වන මුදල් අමාත්‍යාංශය මෙසේද සඳහන් කර සිටී.

මේ අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීමේ තවත් පියවරක් මේ වන විට ක්‍රියාත්මකය. එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරි මස සිට ඉහළ නැංවීමට රජය පියවර ගත්තේය. ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රු. 23231 දක්වා ද සෙසු නිලයන්ගේ සලාක දීමනාව රු. 19350 දක්වා ද මේ වන විටත් ඉහළ නංවා ඇත. ඊට අමතරව මෙම මාසේ සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරේ. එසේම යුද, නාවික හා ගුවන් හමුදා සේවයේ සමාන නිලධාරීන්ගේ කමාන්ඩෝ දීමනාව රු. 1000 සිට රු. 5000 දක්වා අද සිට ඉහළ නැංවේ. මේ වෙනුවෙන් රජය වැය කරන මුදල රු. මිලියන 1175කි.

මීට අමතරව විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ අය වැය යෝජනාව ද මේ මාසයේ සිට ක්‍රියාත්මකය. ඒ අනුව 2015 දෙසැම්බර් 31ට පෙර විශ්‍රාම ගිය ලක්ෂ 5ක් පමණ වන සියලුම විශ්‍රාමිකයන්ට මේ යටතේ රුපියල් 2800 අවමයක සිට රුපියල් 20000 උපරිමය දක්වා විශ්‍රාම වැටුප ඉහළ නැංවේ. මීට අමතරව විශ්‍රාමිකයන් වෙනුවෙන් ගෙවනු ලබන රු. 3525 ජීවන වියදම් දීමනාව ‍එලෙසම තවදුරටත් ගෙවනු ලැබේ. මෙම විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල් රුපියල් මිලියන 12000කි.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රු. 2000 සිට 5000 දක්වා ඉහළ නැංවීමේ අය වැය යෝජනාව ක්‍රියාත්මකය. ඒ අනුව මෙතෙක් එම දීමනාවට හිමිකම් ලබා සිටි පුද්ගලයන් 32000ට අමතරව දීමනාව ලබාගැනීමේ අරමුණෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටි පුද්ගලයන් 40000ක් අතුළු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් 72000කට මෙම දීමනාව අද සිට හිමි වේ. ඒ වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රු. මිලියන 4350කි.

නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින 21000ක පමණ පිරිසකට රජය මඟින් දැනටමත් රු. 5000ක දීමනාවක් ලබාදෙනු ලබයි. තවත් විශාල පිරිසක් එම දීමනාව ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛනගතව සිටි අතර ඉන් තවත් 5000ක පිරිසකට එම දීමනාව ලබාදීම ද අද සිට සිදු කෙරේ. ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රු. මිලියන 1840කි.

රාජ්‍ය සේවයේ නියැළී සිට විශ්‍රාමිකයන්ගේ සිතට සතුට දනවන තීරණයක් රජය ගෙන තිබේ. ඒ ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම වැටුප් විෂමතා දුරු කොට වැඩි කළ විශ්‍රාම වැටුප් දීමනා විශ්‍රාමිකයන්ට ගෙවීමට තීරණය කිරීමය.

අප රටේ රාජ්‍ය සේවයේ නියැළී සිට සේවක පිරිස වයස්ගතව විශ්‍රාම ගනු ලැබූ මොහොතේ සාර්ථක සහ ප්‍රීතිමත් ජ්‍යෙෂ්ඨ පුරවැසි දිවියක් ගත කිරීමට සපයන ප්‍රබල අත්වැල විශ්‍රාම වැටුප් දීමනාව වේ.

මේ අයුරින් විශ්‍රාම වැටුප් වැඩි කොට එපමණක් නොව විශ්‍රාම වැටුප් විෂමතා දුරු කොට සහන සැලැසීමට රජය මෙවර 2019 අය වැයෙන් රුපියල් මිලියන 12000ක් වෙන් කොට ඇත.

මහා භාණ්ඩාගාරය විසින් රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් දීමනා ගෙවීමට විශ්‍රාම වැටුප් විෂමතා දුරු කිරීමට ක්‍රියා ක‍ළේ විශ්‍රාමික සේවක පිරිසගේ හඬට සානුකම්පිතව ඇහුන්කන් දීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා අප කළ විමසුමකදී සඳහන් කළේය. විශ්‍රාම වැටුප් විෂමතා ඇති වූ අයුරු හා එයට රජය ලබා දුන් විසඳුම පැහැදිලි කළ සෙනෙවිරත්න මහතා මෙසේද සඳහන් කර සිටියේය.

මෙම විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා හේතුවූයේ 2015 දෙසැම්බර් මස 31 දාට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් සහ 2015න් පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් යන දෙපිරිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දෙකක් යටතේ විශ්‍රාම ගැන්වීමෙන් ඇතිවී විෂමතාව හේතුවෙනි. වසර 2015 දෙසැම්බර් මස 31 වැනිදාට පෙර විශ්‍රාම ගිය අය සඳහා 05/2015 චක්‍රලේඛය ක්‍රියාත්මක විය. ඉන් පසු (2016 ජනවාරි 01 සිට ඉදිරියට) විශ්‍රාම යන්නන් සඳහා ක්‍රියාත්මක වනුයේ 03/2016 චක්‍ර ලේඛනයයි. 03/2016 යටතේ වන විශ්‍රාමිකයන් සඳහා 2020 දක්වා ක්‍රමානුකූලව වැටුප් සංශෝධන කෙරෙන අතර 2015 වැටුපට සාපේක්ෂව ‍එම සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් 2020දී 107%කින් වැඩි වනු ඇත.

මේ අනුව 2015.12.31 දිනට පෙර විශ්‍රාම ගිය කාර්යාල කාර්ය සහයක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 2800/-කින් පමණ ඉහළ යනු ඇත. කළමනාකරණ සහකාර පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයකුට රුපියල් 5200/-ක පමණ විශ්‍රාම වැටුප් වැඩිවීමක් හිමි වනු ඇත.

ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ විශ්‍රාම වැටුප රුපියල් 9200/-කින් පමණ ඉහළ යන අතර විශ්‍රාමික පළමු ශ්‍රේණියේ හෙද නිලධාරී වැටුප් රුපියල් 7100/-කින් පමණ ඉහළ යයි.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකුගේ විශ්‍රාම වැටුප රුපියල් 16000/-කින් පමණ ඉහළ යන අතර 2015.12.31 ට ප්‍රථම විශ්‍රාම ගනු ලැබූ අමාත්‍යාංශ ලේකම් වරයකුගේ වැටුප රුපියල් 20000/-කින් පමණ ඉහළ යනු ඇත.

විවිධ තනතුරුවල විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීමේ නියැඳිය පහත පරිදි වේ.

‍මෙම විශ්‍රාම වැටුප් සංශෝධනයත් සමඟ 05/2015 චක්‍රලේඛය යටතේ විශ්‍රාම ගිය සේවකයන් සඳහා වැටුප් විෂමතා ඉවත් වන තුරු ගෙවන ලද රුපියල් 3500 අන්තර් දීමනාව නව වැටුප් ව්‍යුහයට ඇතුළත් කරන අතර රුපියල් 3525 ජීවන වියදම් දීමනාව තවදුරටත් හිමි වේ.

රජයේ ආදායමින් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවක වැටුප් බිල හා විශ්‍රාමික දීමනා ගෙවීමට වැය වීම මූල්‍ය කළමනාකරණයට තරමක් අභියෝගාත්මක කාර්යයකි. එනමුත් රාජ්‍ය සේවක සුබසාධනය සහ රාජ්‍ය සේවා කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම අරමුණු කොට ගනිමින් රජය මෙම අභියෝගය භාර ගෙන තිබේ. එය ප්‍රීතිමත් ජ්‍යෙෂ්ඨ පුරවැසි දිවියක් ගත කිරීමට විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට සැලසෙන මහඟු අත්වැලකි.

රාජ්‍ය සේවක සහ විශ්‍රාමික වැටුප් හා දීමනා වැඩි කරන අතර සමාජ සුබසාධනය ඉලක්ක කොට රජය කරනු ලබන වියදම් ද වසර 2015 සිට වසරින් වසර ඉහළ ගියද රජයේ ආදායමද ඊට සමගාමීව වේගවත්ව වැඩි කරගැනීම රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වේ. රාජ්‍ය ආදායම අභිබවා රාජ්‍ය වියදම් වැඩි වුවද රටේ පොදු සංවර්ධනයට කරන විශාල මුදල් වෙන් කිරීම් ද රජය කර ඇත. ඒ අනුව රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන් පමණක් නොව සෙසු ජනතාවටද ඉහළ ජීවන මට්ටමක් ළඟා කර දීමට රජය කැපවී සිටී. මෙහිදී රට වැසි සියලු දෙනා තමන්ගෙන් රටට ලැබෙන දේට වඩා රටට තමන්ගෙන් ලබාදෙන දේ පිළිබඳව ගැඹුරින් කල්පනා කොට අවංකව ‍කැපවීමෙන් රටේ දියුණුවට පියවර ගත යුතුව තිබේ. විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අමතරව විශ්‍රාමිකයන් ලෙස දායකත්ව විශ්‍රාම ක්‍රමයකට අනාගතයේ අප පිවිසිය යුතු බව මේ මොහොතේ අවධාරණය කළ යුතුය.

Comments