ෂරියා විශ්වවිද්‍යාලයට රාජ්‍යතාන්ත්‍රික විමර්ශනයක් | සිළුමිණ

ෂරියා විශ්වවිද්‍යාලයට රාජ්‍යතාන්ත්‍රික විමර්ශනයක්

ෂරියා විශ්වවිද්‍යාලයට මුදල් ලැබුණු ආකාරය මෙන්ම ඉදිකිරීම් සම්බන්ධයෙන් බලවත් ගැටලු පවතින හෙයින්, සෞදි රජයද සම්බන්ධ කරගෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විමර්ශනයක් වහාම සිදු කළ යුතු බවත්, එහි පරීක්ෂණ අවසන් වන තෙක් හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස අධ්‍යාපන,මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශූ මාරසිංහ මහතා නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශය ඇතුළත් වාර්තාව හෙට දින (සඳුදා) කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ සති 6 ක් ඇතුළත ලබා දීමට නියමිතය.

සිළුමිණ කළ විමසීමකදී අදහස් දැක්වූ ආශු මාරසිංහ මහතා සඳහන් කළේ මෙම ආයතනය ඉදිකිරිම් සඳහා සෞදි අරාබියේ එක්තරා ආයතනයක් මුදල් ලබා දී ඇති බවත් එම මුදල් ලංකා බැංකුවේ ගිණුමකට බැර කර ඇති නමුත් නිත්‍යානුකූල ලෙස බැංකු කටයුතු සිදු නොවි ඇති බවයි. මේ නිසා මෙම ඉදිකිරිම් සඳහා මුදල් ලැබුණු ආකාරය සොයන්නට සෞදි රජය සමඟ එක්ව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විමර්ශනයක් සිදු කළ යුතුයැයි මෙම කමිටුව රජයට නිර්දේශ කර ඇත.

එසේම අනුමැතිය ලබා දුන් අක්කර 35ක් වෙනුවට අමතර අක්කර අටක භූමියක ඉදිකර ඇති නිත්‍යානුකූල නොවන ඉඳිකිරීම් සඳහා අනුමැතිය ලබා නොමැති බවත් හෙළි වි ඇත. මේ ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බැවින් මේ පිළිබඳව විමර්ශනය කළ යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙවැනි නීති විරෝධි කටයතු සිදුකළ පුද්ගලයින්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් පැමිණවිය යුතු බව අවධාරණය කර ඇත. එසේම මෙය නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමෙන් එම විශ්ව විද්‍යාලයද පහසුකම් සපිරි විශ්වවිද්‍යාලයක් කිරීමට ඇති හැකියාව ගැනද මන්ත්‍රිවරයා අවධාරණය කළේය

Comments