ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය 2019 - 21 | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය 2019 - 21

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති ආගාධයෙන් ගොඩ ගැනීම නිලවරණයකින් පත්වන නිලධාරින්ට ලෙහෙසි පහසු කරුණක් නොවුණ ද එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් තරග වදින ජයන්ත ධර්මදාස සහ මොහාන් - ෂම්මි සිල්වා ප්‍රධාන පාර්ශ්ව දෙක සිය ඡන්ද ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කළේ දෙපිරිස විසින් ප්‍රතිවාදීන්ට එරෙහිව මඩතලි විසිකරමින් සටනට පිවිසීම විශේෂත්වයකි. ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් නිලවරණයට ඉදිරිපත් විය හැකි අපේක්‍ෂකයන් 25 දෙනා නම් කිරීමෙන් පසුව පාර්ශ්ව දෙකම මාධ්‍ය හමු පවත්වමින් ඡන්ද ව්‍යාපාර කටයුතු ආරම්භ කළහ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවසරය මත ක්‍රිකට් නිලවරණය ලබන මස 21 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්ද 143 ක් පමණ ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් සංගම්වලින් ප්‍රකාශ කිරීමට නියමිතය. මේ වන විට ප්‍රධාන තනතුරු 7 ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ හැකියාව ලැබී තිබේ.

තිලංග සුමතිපාල එකී නිලවරණයට ඉදිරිපත් නොවුණද එකී පාර්ශ්වයෙන් නිලවරණයට තරග කරන මොහාන් සිල්වා සහ ෂම්මි සිල්වා යන පර්ශ්වය විසින් පෙන්වා දෙන්නේ ජයන්ත ධර්මදාසට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය හැකි වාතාවරණයක් නොමැති බවයි.

‘ජයන්ත ධර්මදාස ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන්නෙ කොහොමද කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඔහු වැස්සකටවත් දුවපු කෙනෙක් නෙමෙයි. නිලවරණ කමිටුව ඔහුට අවසරය දීපු එක ගැන අපට පුදුමයි.’ එළැඹෙන නිලවරණයේ දී ප්‍රධාන තනතුරු කිහිපයකටම නාමයෝජනා බ‍ාර දී ඇති ෂම්මි සිල්වා පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වර්තමානයේ උදාවී ඇති තත්ත්වයට හිටපු පරිපාලනය වගකිව යුතු බවත් තමන් මෙවර ක්‍රිකට් නිලවරණයෙන් ජය ගන්නා බව සියයට සියයක්ම විශ්වාස බවත් ජයන්ත ධර්මදාස පවසයි.

‘‘අපේ රටේ ක්‍රිකට් විනාශ කළේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒක හැමෝම දන්නවා. මට ක්‍රීඩා සමාජ නියෝජිතයන්, හිටපු ක්‍රීඩකයන් සහ වත්මන් ක්‍රීඩකයන් කරපු ඉල්ලීම නිසා තමයි මම නිලවරණයට ඉදිරිපත් වෙන්නෙ. අපි ඇවිල්ලා මාස තුනෙන් ක්‍රිකට් හදලා පෙන්වනවා. ඒකට අපි ළඟ සැලැස්මක් තියෙනවා. කොහොමත් මගේ ජයග්‍රහණය සියයට සියයක් ම විශ්වාසයි.’’ ධර්මදාස පවසයි.

තිලංග සුමතිපාල පසුගිය ක්‍රිකට් නිලවරණයේ දී ජයග්‍රහණය කළේ තමාගේ ඡන්ද සංඛ්‍යාව නිසා බවත් එහෙත් ඔහු තමන් උපසභාපතිවරයා වශයෙන් කියූ දෑ පිළිනොගත් නිසා අතරමග දී ඉල්ලා අස්වූ බවත් පවසයි.

ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දෙන සියලූ දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඡන්දය ඉල්ලලා ජය ගත නොහැකි බවත් ඒ නිසා අපිට කකුල් මාට්ටු දාන්න හදන බවත් මොහාන් ද සිල්වා පවසයි. හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමන්ගේ කණ්ඩායමට මේ වන විට ඡන්ද 100 කට වැඩි සංඛ්‍යාවක් තිබෙන බවයි.

මෙවර ක්‍රිකට් නිලවරණයේ දී ජයන්ත ධර්මදාස සභාපති ධුරයට තරග වදින අතර ඔහුගේ ලේකම්වරයා වශයෙන් නිශාන්ත රණතුංග සහ බන්ධුල දිසානායක නාමයෝජනා බාර දී තිබේ. ජයන්ත ධර්මදාසගේ පාර්ශ්වයේ උපසභාපතිවරු වශයෙන් කේ. මතිවානන්, අර්ජුන රණතුංග සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග වැදීමට නියමිතය.

තිලංග සුමතිපාල වෙනුවට ඉදිරිපත්ව ඇති මොහාන් ද සිල්වාගේ පාර්ශ්වයේ සභාපති තනතුරු සඳහා ඔහු සමඟ ෂම්මි සිල්වාද නාමයෝජනා බාර දී තිබේ. එම පාර්ශ්වයේ ලේකම් තනතුර සඳහා මොහාන් සිල්වා සහ ෂම්මි සිල්වා ඉදිරිපත්ව ඇති අතර උප සභාපතිවරු වශයෙන් තරග කිරීමට රවීන් වික්‍රමරත්න සහ මොහාන් ද සිල්වා ඉදිරිපත්ව සිටිති.

නිලවරණය කල්යාම සම්බන්ධයෙන් නිලවරණයට තරග කරන පාර්ශ්ව දෙකේම අසතුට ප්‍රකාශ වී ඇති අතර එහි දී මොහාන් සිල්වා පාර්ශ්වයෙන් තරග කරන ෂම්මි සිල්වා ‘‘අපිට ඇමැතිතුමා ලියුමක් එව්වා නීතිපති උපදෙස් මත ගැසට් එකක් හදන්න ඕන නිසා කල්දාලා කියලා. ඇත්තටම ඕක හදන්න පැයකට වඩා යන්නෙ නැහැ. සුමාන දෙකක් අවශ්‍යත් නැහැ. සංශෝධනයකට පැයකට වැඩි යන්නෙ නැහැ. හැබැයි අයි.සී.සී.යෙන් අපිව තහනම් කළොත් ගරු හරීන් ඇමැතිතුමා වගකීම ගන්න ඕන. නැතිනම් ඒකත් අපේ පිට දමයි. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශ මත නිලවරණය කල්දමා තිබේ.

ඉස්සෙල්ලා හිටපු ඇමැතිතුමාත් නිලවරණය කල් දැමූ බවත් දැන් ඇමැතිතුමාත් හොරුන්ගෙන් උපදෙස් නොගෙන වැඩ කරන ලෙසත් ෂම්මි සිල්වා පවසයි. එමෙන්ම අයි.සී.සී.යෙන් ලැබෙන්න තියෙන ඩොලර් මිලියන නවයක මුදලක නිලවරණය පැවැත්වීමට කල්ගියහොත් නොලැබී යන තත්ත්වයක්ද උද්ගතවී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

බොහෝ දෙනා අපේක්‍ෂාවෙන් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) නිලවරණය, ක්‍රීඩා නීතියට ගෙන එන ලද නව රෙගුලාසිවලට අදාළ තාක්ෂණික දෝෂයක් නිසා නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පෙබරවාරි මස 21 වැනි දින දක්වා කල්දැමීමට තීරණය කර ඇත.

මෙම නිලවරණය ආරම්භයේ දී පෙබරවාරි මස 07 වැනි දින පැවැත්වීමට තීරණය කර තිබුනත් ඊට අදාළව නෛතික බාධක කිහිපයක්ම පැනනැඟුණු අතර ඒ අතරින් එල්ල වූ නවතම බාධකය නිසා එය තවත් සති දෙකක කාලයකින් අනතුරුව පැවැත්වීමට තීරණයක් ගෙන ඇත.

මීට පෙර සිටි බලධාරීන් නිලවරණ විධිවිධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය වසරේ මැයි මස 21 වැනි දින අභියාචනාධිකරණය විසින් ඔවුන්ව තහනම් කිරීමට නියෝගයක් නිකුත් කෙරුණු අතර එතැන් පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාවට නැංවුණේ බලයලත් අධිකාරියක් යටතේ ය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේ පාලනය යටතේය.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් තහනම් නියෝගය හරහා හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හට පැවැති ක්‍රීඩා නීතිය කඩිනමින් සංශෝධනය කරමින් ස්වාධීන නිලවරණ කමිටුවක් පත්කිරීමට නියෝග කෙරුණු අතර ඒ අතරතුර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙබරවාරි මස 09 වැනි දිනට පෙර නව නිලධාරි මණ්ඩලය පත්කරගන්නා ලෙස ද නියෝගයක් නිකුත් විය.

 

නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ආරම්භයේ දී මේ සඳහා තාවකාලික කමිටුවක් පත්කර රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණි හට ක්‍රිකට් පරිපාලනයේ වගකීම් බාරදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඇති දූෂණය මුලිනුපුටා දැමීමේ අදහසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඔවුන් ලබා දුන් කාල පරාසය තවදුරටත් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එය දැඩිව ප්‍රතික්‍ෂේප කරමින් සිදු වූ දූෂණ සහ වංචා සඳහා පොදු සමා කාලයක් පමණක් ලබා දුන්නේය.

 

කෙසේ නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ බලධාරින් සහ ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා නැවතත් ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එහි සාමාජිකයන් සමඟ එකඟතාවයකට පැමිණ තිබුණි.

ඒ අනුව නිලවරණය සඳහා තරග කිරීමට කණ්ඩායම් දෙකකින් සුපුරුදු මුහුණු කිහිපයක් නැවතත් ඉදිරිපත්වූ අතර හිටපු සභාපති තිලංග සුමතිපාල සිය දේශපාලන කටයුතු හේතුවෙන් මෙවර නිලවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කළේය.

“ස්වාධීනව කටයුතු කළ නිලවරණ කමිටුව විධායක කමිටුවට තරග කරන අපේ නාමයෝජනා 7ට අනුමැතිය ලබා දීලා තියෙනවා. අපේ කණ්ඩායමේ නායකයා විදිහට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් උපදෙස්වලට අනුව නිලවරණය පවත්වන්නට එකඟ වීම සම්බන්ධයෙන් මම ගරු ක්‍රීඩා අමාත්‍යවරයාට ස්තූතිවන්ත වෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා ඡන්දය පවත්වන අවස්ථාවේ දී සාමාජිකයන් අපට ඡන්දය ලබා දෙයි කියලා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරග වදින මොහාන් ද සිල්වා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.

“මෙවර අපට නිලවරණය ජයග්‍රහණය කරන්න ප්‍රබල කණ්ඩායමක් ඉන්නවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි මෙවර නිලවරණය ජයග්‍රහණය කරනවා. අපේ එකම අරමුණ නැවතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළටම ඔසවා තබන එක. අපේ පරිපාලනය යටතේ දූෂණ, වංචා, මුදලට තරග පාවා දීම් වැනි කටයුතුවලට ඉඩක් නැහැ.”

අනෙක් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරග වදින ජයන්ත ධර්මදාස මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.

ඒ අනුව පැවැත්වෙන නිලවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන අතර එහි ජයග්‍රහණය තහවුරු කරගැනීමට නම් ඔවුන් එහි දී සාමාජික ඡන්ද 140කින් ප්‍රමාණවත් ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුය.

කණ්ඩායම් දෙකෙන්ම අතීතයේ දී යම් යම් අත්වැරදීම් සිදුව ඇතත් ඔවුන් ඡන්ද ලබා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදුකර ඇත. ඒ අනුව මෙවර නිලවරණය කවුරුන් ජයග්‍රහණය කරනු ඇත්දැයි තවමත් නිශ්චිත ලෙස අනුමාන කළ නොහැක. නමුත් පෙනෙන අන්දමට මෙවර නිලවරණයේ අවසන් තීරණය ‘පාවෙන ඡන්ද’ මත බොහෝ දුරට තීරණය වෙනු ඇත.

මොහාන් ද සිල්වා වැඩි දුරටත් පවසන්නේ,

“ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දෙන පිරිසක් ඉන්නවා. ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ක්‍රිකට් පරිපාලනයට එන්න බෑ. ක්‍රීඩා සමාජ පදනමක් නෑ. පස්සෙ දොරෙන් එන්න තමයි බලන්නේ”

“අපිට කවදා ඡන්දය තිබුණත් කමක් නෑ. අපි ඡන්දෙට ඉදිරිපත් වෙනවා. මමත් මේ රටට දෙයක් කරපු කෙනෙක්. දැනටමත් අපි දිනලා ඉවරයි. අපිට ඡන්ද 100 කට වඩා තියෙනවා”

“අපි තිලංග සුමතිපාලගේ ගෝලයො කියලා තමයි මෙහෙම කරන්නේ. එහෙම දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා නම් දේශපාලනයෙන් කරන්න”

තමන්ගේ පාලන කාලය සම්බන්ධයෙන් එල්ල වන මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් මොහාන් මෙසේ අදහස් දක්වයි.

“කාටවත් කියන්න බෑ අපි හොරු කියලා. එහෙම කියන්නේ කොහොමද?”

“අපේ පාලන කාලය තමයි ක්‍රිකට් පාලනයේ සාර්ථකම කාලය. අපිට හැකි වුණා ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය ඩොලර් මිලියන 52 කට අළෙවි කරන්න. ඒක තමයි මේ දක්වා ඉහළම මිල”

“අපි 2016 පාලනයට එන විට ක්‍රිකට් ආයතනය බිලියන හතරක් ණය වෙලයි තිබුණේ. අපට පළමු වසරේදීම ඒ ණය පියවලා ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න පුළුවන් වුණා. 2017 වසර අවසන් වන විට බිලියනක ශුද්ධ ලාභයක් ලබන්න පුළුවන් වුණා”

“අවුරුදු දෙකක සිට පරීක්‍ෂණ කරනවා. අපිට නම් මේ දක්වා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා එල්ල වෙලා නෑ. ශ්‍රී ලංකාවේ තමයි මේ ඔක්කොම. වෙනත් රටවල්වලත් මේවා වෙනවා. කොහොමද වැඩියෙන් දූෂණ තියෙන රට ශ්‍රී ලංකාව කියන්නේ”

“මම පත්වූ වහාම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් අහනවා එහෙම දෙයක් කිව්වද කියලා. අපේ රටේම අය කියන ඒවා ගැන මට ගොඩක් කනගාටුයි”

හිටපු භාණ්ඩාගාරික ෂම්මි සිල්වා

“හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාට කියන්නේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා වගේ ක්‍රිකට් ඇමැතිවරයා වෙන්න එපා. ක්‍රීඩා ඇමැතිවරයා වෙන්න. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන තීරණයක් ගත්තොත් එහි වගකීම හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ගතයුතුයි”

“අපේ රටේ ඇමැතිවරු මාරුවෙන විදියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මාරුවෙන්නේ නෑ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වන විටත් ඩොලර් මිලියන නවයක් රඳවාගෙන තියෙනවා”

ජයන්ත ධර්මදාසගේ නාමයෝජනාව ස්ථිර වීම පිළිබඳ ෂම්මි සිල්වා පැවසුවේ,

“ජයන්ත ධර්මදාස මහත්මයා ක්‍රිකට් ගහලා නෑ ඒක මුළු ලංකාව දන්නවා. ඒ මහත්මයටත් නිලවරණයට ඉදිරිපත් වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ මහත්මයා පනතේ කෑල්ලක් අල්ලාගෙන තමයි මේ අවස්ථාව ලබාගෙන තියෙන්නේ. අපි ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කරනවා”

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුරට තරග වදින මොහාන් ද සිල්වා පාර්ශ්වය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණුව උදෙසා සිවු අවුරුදු සැලසුමක් ඉදිරිපත් කරයි. තමන් ඇතුළු කණ්ඩායම ක්‍රිකට් පරිපාලනයේ සිටි කාලයේ දී රුපියල් බිලියන දෙකක ශුද්ධ ලාභයක් පෙන්වා ක්‍රිකට් ක්‍රීඩාවේ හා ආයතනයේ දියුණුවට කළ මෙහෙය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව පැවැසීය.

“ අපේ කණ්ඩායම බලයේ සිටිය දී විශාල වැඩ කොටසක් කරගෙන ගියා. අප එනවිට ක්‍රිකට් ආයතනය බිලියන 2ක් පමණ ණයවී තිබුණා. අප ඒ සියලු ණය ගෙවා තවත් බිලියන දෙකක ශුද්ධ ලාභයක් ඇති කළා. අද ඒ මුදල් තියෙනවාද? දන්නේ නෑ.

අප සැලසුම් කරලා තිබුණු ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැවැත්වීමෙන් විශාල පාඩුවක් සිදුවුණා. විදෙස් ක්‍රීඩකයන් 45ක් ශ්‍රී ලංකාවට ගෙන්වන්න අප සැලසුම් කර තිබුණා. වසර 20කට වඩා පරිපාලන පළපුරුදු ඇති මා තනතුරු ගන්න කාගේවත් පසුපස යන්නේ නෑ. අපට සාමාජිකයන් විශ්වාසයි. ඔවුන් දන්නවා අප ක්‍රිකට් දියුණුවට කළ දේ. අපේ නියත ජයග්‍රහණය දැක අනෙක් පාර්ශ්ව අවලාද නගනවා. එසේ නොකර තරගයට එන ලෙස අප නොබියව ඉල්ලා සිටිනවා“ මොහාන් ද සිල්වා වැඩිදුරටත් පවසයි.

“ අපගේ පාලන කාලයේ විනයක් ඇතිව වැඩ කළා. විනය නීති කැඩූ අනූෂ සමරනායක ක්‍රිකට් ආයනයෙන් ඉවත් කළේ අපි. ක්‍රිකට් කණ්ඩායම තුලත් අප යම් විනයක් ඇති කළා. ලෝක කුසලාන තරගාවලියට නිවැරදි සැලසුම් සකස් කර තිබිය දී ක්‍රිකට් නිලවරණය හිටපු ඇමැතිවරයා කල් දැම්මා. වැරදි වැඩ කරන අය ඉන්නවානම් දඬුවම් කළ යුතුයි. අපගේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව තුල පිරිසුදු බවක් තිබුණා. දැන් ක්‍රිකට් කඩා වැටිලා. මේකට වග කිවයුතු අය කිහිප දෙනකුම ඉන්නවා” මොහාන් සිල්වා පවසයි.

මෙවර ක්‍රීඩා සමාජවලින් විශාල සහයෝගයක් තමන් ඇතුළු කණ්ඩායමට ලැබී ඇති බවත් ජයග්‍රහණයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩා සමාජවල අයිතීන් ආරක්ෂා කරන බව ෂම්මි සිල්වා පවසයි.

 

Comments